lan englan tam

C Chatඑක

රාතිකාගේ ආදරණීය වෙඩි උණ්ඩ!

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇයකොළඹජාතිකරෝහලේඇඳක්මතවැතිරසිටියාය. බිඳුණුපාදයේවේදනාවටනොදෙවෙනිවේදනාවකින්ඇගේයෞවනහදවතපෑරෙමින්තිබිණි. රෝහලෙන්රෝහලටමාරුවෙමින්ගෙවුණුදිගුකාලපරිච්‍ඡේදය, සුවයලැබීමපිළිබඳඅපේක්ෂාවපවාඇගෙන්උදුරාගෙනතිබිණි. හාත්පසින්ඇසුණේතමන්ටභීෂණයරැගෙනආසතුරුපිලදෙඩූ ‘සිංහල’ බසය. ඇයඒබසෙහිවචනයක්හෝනොදැනසිටියාය.

වචනයකින් හෝ දුක තුනී කරගන්නට තම මව් බස වූ ‘දෙමළ’ දන්නා කෙනෙක් ළඟ පාතක සිටියේ නැත. තමන්ගේය කියා කාත් කව්රුවත් නැති ලෝකයක හුදෙකලා වූ ඇය තම සිතුවිලි කුඩා කොපි පොතක සිය බසින් කවියට නැගුවාය.

‘‘සිංහල කතා කරන අය අතරෙ මේ තරම් හොඳ මිනිස්සු ඉන්නව කියල එදා මට හීනෙකින් වත් හිතුණෙ නෑ.’’ එයින් සත් වසරකට පසු, රාතිකා පත්මනාදන් පැහැදිලි සිංහල බසින් එසේ පැවසුවේ සැහැල්ලු ලෙස සිනාසෙමිනි.

ළමා වියේ සිට බොහෝ දුක්ඛදායක හා බිහිසුනු අත්දැකීම් රැසකට මුහුණ පෑ ඇය, තවත් අභියෝගාත්මක සහ අහඹු සිදුවීම් දාමයක් ඔස්සේ අද සිටින තැනට පැමිණ සිටින්නීය. වරක් ‘වෙන්වීම’ අරමුණු කරගත් සන්නද්ධ අරගලය දෙසට ඇදී ගිය ඇය, අද සිංහල-දෙමළ ජනවර්ග දෙක අතර සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් තමන්ටම අනන්‍ය වූ මාවතක පිය නගන තරුණ ක්‍රියාකාරිණියකි.

”ඇයි අපි මරාගන්නේ? වෙන්වෙලා ජීවත්වෙන්නේ? එහෙම නෙවෙයි, අපි සමාදානෙන් ජීවත්වෙන්න  ඕනේ. හැමදෙනාම හැමදෙනාටම උදව් වෙන්න  ඕනේ. ආදරය මහා පුදුමාකාර දෙයක්” යැයි 24 හැවිරිදි ඇය පවසන්නීය. යුද්ධය තුළම ඉපිදී, යුද්ධය පැවති කාලය පුරාම කුරිරු අත්දැකීම්වලට මුහුණ දුන් ඇය, මිනිසුන් අතර සමඟියත් සංහිඳියාවත් ඇති කිරීම වෙනුවෙන් සිය ජීවිතය යොදවන බව සපථ කරන්නීය.

යුද ගිනි මැද- ළමා විය

”එදා දුක් විඳපු විධියට හරි පුදුමයි අද අපි ජීවත්වෙලා ඉන්න එක. යුද්දෙදි අපි කොච්චර පීඩා වින්දාද කියලා ටික දෙනෙක් විතරක් නෙමෙයි, හැමෝම ඇත්තටම දැනගන්න  ඕනේ ” ඇය දිගු කතාවකට මුල පුරමින් කීවාය.

රාතිකා පද්මනාදන් ඉපදුණේ කිළිනොච්චියේ දි, දමිළ මවකට හා පියෙකුට දාවය. යුද්ධයේ එක් බිහිසුනු මොහොතක ඇගේ මව හා පියාගේ ජීවිත ඇගෙන් උදුරාගැනිණි. ඇයට ඉතිරි වූයේ වැඩිමහල් සොයුරියත් බාල සොයුරියන් දෙදෙනාත් පමණි.

”වයස අවුරුදු 06 වෙනකොටම මට මගේ දෙමාපියෝ අහිමි වුණා. මම තනිවෙලා පුංචි අනාථයෙක් වුණා. මම විතරක් නෙවෙයි, මා වටේ හිටපු අනෙක් පුංචි යාලූවො හැම දෙනාමත්, ඒ වගේ අනාථයෝ. අපි බයෙන් සැකෙන් හිටියෙ. ඒ බිය සැක දෙකම මම ලොකු වෙනකොට වෛරයක් බවට පෙරළුණා. මේක තමයි එදා මම පුංචි අවදියේදි මගේ ලෝකය මට තිළිණ කළේ.” යැයි ඇය කියයි.

ළමා විය පුරාම ඇය දුටුවේ යුද්ධයේ කුරිරු බවයි. ඒ දිනවල ගෙවූ ජීවිතය කිසි කලෙක ඇයට අමතක නොවේ.

”අපි දැක්කේ අපේ ගමට බෝම්බ වැටෙන හැටි, ඒ බෝම්බ නිසා මිනිස්සු මැරෙන හැටි,  තැන තැන වැටිලා කෑගහන අය, මළකඳන්.. දවස් ගණන් එක දිගට ඇහෙන වෙඩි සද්දේ, බෝම්බ සද්දේ, ගෑනු අයගේ-පොඩි දරුවන්ගේ ළතෝනි හඩ … කෑමක් බීමක් නැතිව බංකරවල අපි දවස් ගණන් ගෙව්වා. ඉස්කෝලේ යන්න බැරිව ගියා. මේ අතරෙ එල්ටීටීඊ සංවිධානයෙන් අපිව රැස්කරලා දේශනා පැවැත්වුවා. එල්ටීටීඊ අය්යලා අක්කලා කථාකරපු විදියට, බෝම්බ වැදිලා තුවාල වෙච්ච අයට, මැරුණු අයට සලකපු විදියට එයාලා ගැන ලොකු ගෞරවයක්, ආදරයක් අපිට ඇති වුණා.”

ඇගේ යෞවන සිත ඒ ආදරය වෙත ඇදී ගියේය. ඊළඟට ඇය සිටියේ ගිනි අවියක් අතැතිව යුද පෙරමුණෙහිය. එහෙත් කල් ගතවෙද්දී එය කෙතරම් දුෂ්කර තීරණයක්දැයි ඇයට පසක් විය. ඇය සන්නද්ධ බලඇණියෙන් රහසිගතව පලා ගියාය. එහෙත් බිහිසුනු යුද්ධයේ කුරිරු ඉරණමෙන් පලා යෑමට ඇයට හැකි වූයේ නැත.

”2009 අවසන් සටන්වලදි අපි ලොකු දුකක් වින්දා. ඒ කාලය අපිට දරාගන්න හරිම අමාරු වුණා. බෝම්බ වරුසාවලින්, උණ්ඩ වරුසාවලින්, ගිනි වරුසාවලින් නොමැරී බේරුණාට අවසන් සටන් වලදි මගේ කකුලක් කැඩුණා. මුල්ලිවයික්කාල් ඉදලා කඳවුරෙන් කඳවුරට, ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරුකරලා අන්තිමේදි කොළඹ මහරෝහලට එව්වා. ඒ ගමනෙන් තමයි මගේ ජීවිතේ වෙනස් වුණේ” රාතිකා පැවසුවාය.

”මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ” නමින් එළි දුටු ඇගේ කෘතිය

‘සතුරු අගනුවරදී’ ජීවිතය හමුවීම

”ඇත්තටම මම මැරිලා ගියානම් හොඳයි කියලා හිතුණ වාර ගණන නිමක් නෑ. අනෙක් ලෙඞ්ඩු බලන්න ගෙවල්වල අය එනකොට මාව බලන්න එන්න කවුරුත් නැහැ. මට ඇවිදින්නත් බැහැ. අඩුම තරමේ මගෙ කකුල රිදෙනවාද කියලා මට තේරෙන භාෂාවකින් මගෙන් අහන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මං හරියට අසරණවෙලා, ජීවිතේ එපාවෙලා හිටියේ.”

ඒත් ටික දවසක් ගියාට පස්සේ, ඩොක්ටර් විමලා ආන්ටි , රාජි ආන්ටි , මේනහා අක්කා, උපාලි චන්ද්‍රසිරි අංකල් රංජිත් දිසානායක අංකල් , ගාමිණි අජිත් අංකල් කියන මේ කට්ටිය තමයි මට ළංවෙලා මගේ දුකසැප සොයලා මට උදව් කළේ. මගේම අම්ම තාත්තා මට නැතිවුණාට, එහෙම අඩුපාඩුවක් වෙන්න ඉඩ නොදී මගේ අධ්‍යාපනය කරගෙන ඉස්සරහට යන්න මට මේ හැමෝම දෙනා උදව් කළා. මම කොළඹට ආවට පස්සේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවුණා. නමුත් ඒ හැම වෙලාවකම මේ කට්ටිය මගේ ළඟම හිටියා. මාව තනි කළේ නැහැ. මම අද ඉන්න තැන මට සකස් කර ගන්න පුළුවන් වුණේ මේ විශේෂිත පිරිස නිසයි කියලා මට මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න  ඕන වුණා.’’

ඒ අතරින් එක්කෙනෙක් ඇයට සුවිශේෂ විය. ඒ උපාලි චන්ද්‍රසිරි ය. ඔහු රාතිකා කොළඹ මහරෝහලේ නේවාසිකව සිටින විටදී අහම්බෙන් හමුවුණු, රාතිකාගේම වයසැති දියණික සිටින සිංහල පියෙකි. රාතිකා දැන් ‘තාත්තා ‘ කියන්නේ ඔහුටය.

ඇයට ලෝකයට කියන්නට බොහෝ දේ තිබිණි. යුද පිටියක ඉපිද, එහිම හැදී වැඩුණු දැරියක ලෙස ඇය ඇසූ-දුටු-විඳි අපමණ අත්දැකීම් ඇගේ හිස බර කරමින් තිබිණි. රාතිකා ඒ සියල්ල සෙමෙන් සෙමෙන් ගොනු කළාය. එහි ප්‍ර්‍තිපලය, ”මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ” නමින් එළි දුටු ඇගේ කෘතියයි. පරිච්ඡේද 21කින් යුත් එම කෘතිය ත්‍රෛභාෂික එකකි.

කුරිරු බව සහ ආදරය අතර..

‘‘මේ පොතෙන් මට දෙපැත්තක් ගැන කියන්න උවමනා වුණා. එකක්, යුද්දෙට මුහුණ දීපු මිනිස්සු විඳපු දුක. අනෙක, මම කලක් සතුරන් කියල හිතා හිටි පිරිසකගේ ආදරය ඇසුරෙන් මට හම්බවුණු අලූත් ජීවිතය.’’ ඇය පවසයි.

‘‘යුද්දෙට මූහුණ දුන්න මිනිස්සු කොච්චර මානසික පීඩාවකින්ද හිටියේ කියලා හැමදෙනාම දැනගන්න  ඕනේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ බෝම්බ වැටුණා, මිනිස්සු තුවාල වුණා, මැරුණා කියලා විතරයි. නෑ…. අපිට හිතාගන්නවත් බැහැ මේ යුද්දෙ අස්සේ අපි පණපිටින් ජීවත් වුණාද කියලා. දැනටත් පොඩි සද්දෙකටත් මාව හොඳටම ගැස්සෙනවා. සමහර වෙලාවට මම මාව ම හොල්ලලා බලනවා ජීවත්වෙනවද කියලා.’’

”ඒ වගේම තමයි, වර්තමානයේදි මම අන් ජාතීන් පිරිසක් ඇසුරේ අත්විඳින සැබෑ ආදරය, එකිනෙකා තේරුම්ගැනීම ඔස්සේ ගොඩනැගුණු දෙයක්. ඒක අනිත් අයට වටහලා දෙන එක ගොඩක් වටිනවා. මට  ඕනේ ආයෙමත් මේ රටේ කවුරුවත්ම අවි ආයුධ අතට නොගන්න. අයෙමත් යුද්ද නොකරන්න. අයෙමත් මිනිස්සු නොමැරෙන්න. විශේෂයෙන්ම ළමයින්ට නිදහසේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන හැමකෙනාම සතුටින් ජීවත්වෙනවා දකින්න.” රාතිකා බලාපොරොත්තුවේ දෑස් දල්වමින් කීවාය.

ඇගේ පොතේ කවිද තිබේ. ඒ, ඇය කාත් කව්රුවත් නැතිව රෝහල් ඇඳ මත සිටිද්දී කුරුටු ගෑ ඒවාය. ලිවීම, දුක් විඳි හදවතකට කෙතරම් අගනා ප්‍රතිකාරයක්දැයි ඇය අපට පහදා දෙයි.

‘‘ලියන්න පටන්ගත්ත දවස්වල හරිම අමාරුයි. හිතේ තියෙන වචන ලියනකොට මට හරියට ඇඬෙනවා. පීඩනය දරාගන්න බැරිව මුළු ඇඟම වෙව්ලනවා. කෙනෙක් ඉදිරියේ මට කථාකරන්න බැහැ. ඒත් මේ විදියට ෆොයම්ස් ලියන්න ලියන්න මට හරිම ආසාවක් ඇති වුණා. ඒවගේම මාව සන්සුන් වුණා, ඉදිරියට යන්න පුළුවන් කියන ශක්තියක් මට දැනුණා. දැන් සභාවක් ඉදිරියේ මට හොඳට කථාකරන්න පුළුවන්, සිංහලෙන්. ’’

 

මෙලනි මානෙල් පෙරේරා

 

Back to top
Go to bottom
logo

Popular News