lan englan tam

විශේෂාංග

මොරටුවෙන් උපන් සංගීත ප‍්‍රවීණයෝ

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොරටුව යනු පුරෝගාමින් ගේ නගරයයි. ගහට ගහක් මොරටුවේදී හමුවෙතැයි ද කතාවක් තිබේ. එසේම කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් ද, සංගීත නිර්මාණ ශිල්පීන්ද, නළු නිළියන් ද, කවියන් ද, චිත්‍ර ශිල්පීන් ද, ලේඛකයන්, සිනමාකරුවන් ද, ගීත රචකයන් ද, මාධ්‍යවේදීන් ද එකට හමුවෙන්නේ ද මොරටුවේ දීය. මොරටු ඉතිහාසය ගැන සොයා බැලීමේදී එය දුටු ගැමුණු යුගය දක්වා පැරණි ඉතිහාසයකින් යුක්ත බවත් “මොරටුව” යන නම මුල් වරට ග්‍රන්ථයක සඳහන් වී ඇත්තේ ක්‍රි.ව. 1348 පමණ පස් වැනි පැරකුම්බා රජු දතිගම්පුර රජ කරමින් සිටි සමයේ ලියැවුණේ යයි සැලකෙන  “තිසර සන්දේශයේ” බව “ඓතිහාසික මොරටුව” ගැන 1973 වසරේ ග්‍රන්ථයක් ලියූ ජයසුමන ධර්මබන්දු සඳහන් කර ඇත. ලේඛකයකු වූ ඔහු මොරටු නගර සභාවේ සභාපතිවරයකුව සිට මේ වන විට ජීවිතයෙන් සමුගෙන ඇත.

1910 දී පමණ “මොරටුව” නම් ග්‍රන්ථයේ මොරටුව ගැන තොරතුරු පළ වී ඇති අතර එහි මෙසේ සඳහන් වී තිබුණි. “මොරටුව ග්‍රාමයේ කම්කරු ජනයාගෙන් සමන්විතවනවා මෙන්ම ඔවුන්ගේ ප්‍රවේණි භූමි බාග මොරටුමුල්ල යැයි දැනට ව්‍යවහාර වෙන ප්‍රදේශය හාත්පසම පිහිටි හෙයින් ද කෝට්ටේ මහා වාසල කල තොටගමුවට ගිය ප්‍රසිද්ධ මාර්ගය පිහිටි හෙයින් ද “මොරටු එළිය” යැයි පුරාණ ව්‍යවහාර කළේ මේ මොරටුමුල්ලටම වෙන්නට බැරි නැත.
මොරටුව පසුබිම් කොට ලියන මේ ලිපියට පසුබිම් වෙන්නේ මොරටුව ග්‍රාමයේ ඉපදී හැදී වැඩුණ සංගීත ලෝකයේ පෙරළි කළ සුවිශේෂ පිරිසක් ගැනය.
මොරටුව පුරවරයෙන් බිහි වූ සංගීත ශිල්පීන් අතර මුල් ස්ථානයේ වැජඹුණු වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොහොත් පසුව අමරදේව උපත ලැබුවේ මොරටුව කොරළවැල්ලේය. ඔහුගේ පියා ජිනෝරිස් වඩු බාසුන්නැහේ ලි වලින් වයලීන තැනීමෙහි ද වයලීන වාදනය කිරීමෙහි ද දක්ෂයෙකි. තම පියා ඉතා සියුම් ලෙසත්, සූර ලෙසත් වයලීනය සුසර (Tune) කරන ආකාරය දෙස කුඩා ඇල්බට් බලා සිටි බව          “අමරදේව මහා ගාන්ධර්ව විබුධයාණෝ” කෘතියේ සඳහන් වෙයි. එසේම සංගීතවේදීන් සිය වයලීන අලුත්වැඩියා කරනු පිණිස රැගෙන ආවේද ජිනෝරිස්ගේ වඩු මඩුවටය. මොරටු පුරවරයේ සංගීත ගුරුවරුන් බහුලව භාවිතා කළ වාද්‍ය භාණ්ඩයක් වී ඇත්තේ ද වයලීනයයි. අනික වයලීනය ඕනෑම තැනකට රැගෙන යෑමට ද ඉතා පහසු වාද්‍ය භාණ්ඩයකි. ඕනෑම දිනක වයලීන කිහිපයක් අලුත්වැඩියා කිරීම සඳහා නිවසේ තිබුණි. මෙය කුඩා ඇල්බට්ගේ වැඩි අවධානයක් වයලීනයට යොමුවන්නට හේතුවක් වන්නට ඇත. වයලිනය සංගීතයේ මව (Mother of Music) ලෙස සැලකෙන වාද්‍ය භාණ්ඩයක් බව ඇල්බට් තේරුම් ගත්තේය. තම පුතාගේ උපන් දිනයක දී පියා ඔහුට තෑගි කළේ වයලීනයකි.

භාරතයේ දී අමරදේවයන් (ඇල්බට්) සංගීතය හදාරා ලංකාවට පැමිණ ගුවන් විදුලියෙන් ගීතයක් ඉදිරිපත් කළේය. 1949 ඔහු වසරේ ලංකා ගුවන් විදුලියෙන් වයලීන වාදනක් ද එකල ජනප්‍රියව තිබූ හින්දි චිත්‍රපට ගීතයකට සිංහල වචන යොදා ගායනයක් කළ බව තමාගේ දින පොතක ලියා තිබෙන බව ඉරිදා ලංකාදීප පාඨකයෙක් අපට කීය. දැනට අසූ අට වැනි වියේ පසුවන, බදුල්ලේ හිටපු නගරාධිපතිවරයකු වන ඌව පරණගම පදිංචි පර්සි කරුණාතිලක මහතා පවසන ආකාරයට 1948 වසරේ “අන්මෝල් සාඩි” චිත්‍රපටයේ සුරේන්ද්‍ර ගැයූ “ඕ යාද් අර් රහිතේ” ගීතයට “ඕ මා ප්‍රේම රාණි ඇයි ඇයි දෝ මා හැර ගියේ” සිංහල වචන යොදා ගයා ඇත.

1 2


මොරටු පුරයෙන් බිහි වූ ගායන ශිල්පියකු හා වාද්‍ය ශිල්පියකු වූ සී.එල්. ෆොන්සේකා මොරටු සංගීත ක්ෂේත්‍රයේ ඉතිහාසය ගැන අගනා ලිපියක් ලියා ඇත. ඔහු කියන ආකාරයට හතළිහ දසකයේ මොරටුවේ ප්‍රචලිතව තිබූ “සංගීත සාජ්ජ” සඳහා වයලීනය, ෆුට් බැලෝ සර්පිනාව, ඉංග්ලිෂ් මැන්ඩලීනයත්, තබ්ලාවත් බහුලව භාවිතාවී ඇත. සර්පිනාවෙන් අබිලීනු මාස්ටර් (සංගීත අධ්‍යක්ෂ වික්ටර් දළුගමගේ පියා), විල්ප්‍රඞ් ජේ. පීරිස්, එඩී මාස්ටර් කැෂිමියර් වින්සන් ප්‍රනාන්දු, ටිඩිමන් මැන්දිස්, මාෂල් මාස්ටර් සහ චාල්ස් ප්‍රදිනාන්දු ද, වයලීනයෙන් ඇල්බට් පෙරේරා (අමරදේව) හා එඞ්සන් ප්‍රනාන්දු ද, ඉංගිලිෂ් මැන්ඩලීනයෙන් හෙන්රි ජේ. ප්‍රනාන්දු, සහ මැෂියර් ප්‍රනාන්දු ද තබ්ලාවෙන් ටෙනිසන් ප්‍රනාන්දු සහ සවරියෙල් ප්‍රනාන්දු ද එක්ව තියටර්, විවිධ ප්‍රසංග සංගීත සාජ්ජ හෙවත් “බජව්” වලට සම්බන්ධ වී ඇත.

ගීත කෝකිලාවිය වූ රුක්මණී දේවි මොරටුවේ ලුනාවේ පදිංචිව සිටියදී කුඩා කාලයේම ගායනය පුරුදු කර ඇත්තේ ජූලියස් ආතර් ද සිල්වා බව පැවසේ. කුමන මත භේද තිබුණත් මෙය සත්‍යක් බව සී.එල්. ෆොන්සේකාගේ ලේඛනයේ සඳහන් වී ඇත.

මොරටුවේ නම රැන්දූ ජනප්‍රිය චිත්‍රපට නළුවකු හා ගායකයකු වූ මොරිස් ජෝසෆ් ද සිල්වා හෙවත් ප්‍රෙඩී සිල්වා එතෙක් “විකට රජා”ව සිටි එඩී ජයමාන්නගෙන් පසු බිහි වූ ජනප්‍රිය විකට රජාය. කුඩා කල වැඩිහිටියන් “ප්‍රෙඩී” යයි ඇමතු පවුලේ එකම දරුවා තම නම කලා ලෝකයේ අමරණීය කොට ජීවිතයෙන් සමු ගත්තේය.

මොරටුවේ මොරටුමුල්ලේ උපන් ප්‍රෙඩී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් හා මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. ඉගෙනීමට වඩා මොහු අනුකරණ ප්‍රිය කළේය. ගුරුවරුන්, බොරුකකුල්කාරයන්, රබන් කාරයන්, සාරවිටකාරයන්, බෙහෙත් තෙල් වෙළෙන්දන් දෙස විමසිල්ලෙන් බලා සිට ඒවා අනුකරණය කරමින් විකට ගීත ගයමින් ඔහු රඟපෑවේය. මේ නිසා ගමේ ජනප්‍රිය ගායකයා ඔහු විය. ප්‍රෙඩිගේ හොඳම යාළුවා වී ඇත්තේ පසුකලෙක නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ රෝයි ද සිල්වාය. මොරටු පුත්‍රයෙකු වූ රෝයි, ප්‍රෙඩී මෙන්ම පික්චර් පිස්සෝ වූහ. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මේ දෙදෙනා කළ මගෝඩි වැඩ ගැන රෝයි මෑතක දී ප්‍රෙඩීගේ ගුණ සමරුවකදී මෙසේ විස්තර කළේය.

“ප්‍රෙඩි ඒ කාලේ ගමේ බජව් වල සින්දු කියලා කීයක් හරි හොයාගෙන මාත් එක්ක ගැලරියේ ඉඳලා පික්චර් බැලුවා. සල්ලි නැති කාලයට අපි කොරවක් පැටව් අරගෙන පෙට්ටියක දාගෙන “කුකුල් පැටව්” කිය කියා උන් විකුණලා සල්ලි අරන් පික්චර් බලන්න ගියා. කොරවක් පැටව් හරියට පුංචි කුකුල් පැටව් වගේමයි. සතියකින් දෙකකින් අපි ඒ පැත්තේ යන කොට අපිව අල්ල ගන්න උන් මිල දී ගත්තු අය බලන් හිටියා. මම ඒ කාලේ ගායකයෙක් වගේම ගිටාර් වාදකයෙක්. ප්‍රෙඩී ප්‍රසංග වේදිකා ගීත ගයනකොට මමත් ගායනයට එක්වෙලා ගිටාර් ගහනවා.”

ප්‍රෙඩීගේ පුංචි අම්මාගේ පුතෙක් වන සී.එල්. ෆොන්සේකා ඒ කාලෙ ගායකයෙක්, වාදකයෙක් ලෙස ප්‍රසිද්ධයි. දිනක් ඔහු ප්‍රෙඩීට අපූරු යෝජනාවක් ගෙනාවේය.

“ප්‍රෙඩී අද සර් ජෝන්ගෙ කඳවල වත්තේ බජව්වක් තියෙනවා. මාත් එක්ක යමු. ඔයාගෙ අර “රොක් ඇන්ඞ් රෝල්” සින්දුව කියලා ඩාන්ස් එකකුත් පෙන්නමු. සර් ජෝන් ඕවට බොහෝම කැමතියි.

ප්‍රෙඩීත් සිහින මැව්වේ සර් ජෝන්ගෙ වත්තට යාමටය. මේ 1955 වසරය. අගමැතිත් ඔහුය. සර් ජෝන්ගේ උපන් දිනය වෙනුවෙන් එදා පැවති සාදයේ දි ප්‍රෙඩී එහි පැමිණ සිටි කාන්තාවක් සමග “රොක් ඇන්ඞ් රෝල්” නැටුමකුත් සමග ගීතයකුත් ගැයුවේය. සර් ජෝන් සතුටින් බලා සිට නැටුම ඉවර වූ පසු ප්‍රෙඩී ළඟට කැඳවිය.

“උඹ යකෙක්නෙ. උඹේ ඇඟේ ස්ප්‍රින් හයි කරලාද?”
ප්‍රෙඩී සිනාසුණා මිස කතා කළේ නැත.

“හෙට උදෙන්ම රේඩියෝ එකට පලයං. උඹට අනාගතයක් තියෙන්නෙ එතැන. ප්‍රෙඩිට කී සර් ජෝන් තම පුද්ගලික ලේකම් ආනන්ද තිස්ස ද අල්විස් කැඳවා කිසිවක් කීවේය.

පසු දා ප්‍රෙඩී ගුවන් විදුලියට යන විට එහි සේවකයෙක් වෙළෙඳසේවා අධ්‍යක්ෂ ලිවී විජේමාන්න වෙත යොමු කළේය.

“ඕ, යං මෑන්, තමා ද? සර් ජෝන් අගමැති එව්ව මිනිහා?”

“ඔව් සර්”

ලිවී විජේමාන්න ප්‍රෙඩීට කාරුණිකව උදව් කළේය. වෙළෙඳ සේවා සංගීත අධ්‍යක්ෂ පී.එල්.ඒ. සෝමපාල ප්‍රෙඩීට හැකි ඉක්මනට සින්දු දෙකක් ලියාගෙන එන්නැයි උපදෙස් දුන්නේය. ප්‍රෙඩී මිටින් හළ කුරුල්ලෙකු මෙන් ගීත රචක සිරිල් ඒ. සීලවිමල සොයා ඔහුගේ මරදානේ සිංදු කාමරය බලා දිව්වේය. සිරිල් ප්‍රෙඩීගේ ඉල්ලීම ඉටු කරමින් ගීතයක් ලියා දුන්නේය.

“මමයි මොට්ටපාල
දොට්ට දැම්ම පාසලෙන්
හෝ හෝ පාසලෙන් හා හා පාසලෙන්
වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
අපේ ටීචර් මට මේ නම දැම්මේ”

මේ ගීතයත් සමගම එක රැයකින් මම ජනප්‍රිය ගායකයෙක් වුණා. ඒ කාලයේ (1957) මම මිලිමීටර් 16 ප්‍රමාණයෙන් නිපද වූ කෙටි චිත්‍රපටයක රඟපෑවා. මොරටුවේ ඉඩමේ ලේඩි එව්ලින් ද සොයිසා මාවතේ දකුණු අත පැත්තට පැරණි ගෙයක් තිබුණා. ඒ ගේ තාමත් එහෙමම තියෙනවා. එහි පදිංචි වෙලා හිටියේ “ලංකාදීප” පත්‍රයේ ලොක්කා ඩී.බී. ධනපාල මහත්තයා. ඒ මහත්තයාගේ පුතා නිහාල්සිංහ එතකොට ආනන්දයේ ඉගෙන ගන්නවා. එයා කෙටි චිත්‍රපටයක් කළා “තරුණ විය” කියලා. මේකට සම්බන්ධ වුණෙත් මොරටු පුරවරයේ අය. ඇලන්සන් මෙන්ඩිස්, රංජිත් මෙන්ඩිස් හා සුනන්ද මහේන්ද්‍ර ද මැල්. (පසුව මහාචාර්ය). මම මුලින්ම රඟපෑවේ ඒ චිත්‍රපටයේ. මම මුල් කාලේ ගයපු “බාර් බාර් බාර් එකට ගිහිල්ලා” ගීතය ලියලා දුන්නෙ ඇලන්සන් මෙන්ඩිස්” ප්‍රෙඩී මිය යාමට පෙර අතීතය අපට මතක් කරමින් කීවේ එසේය.

ප්‍රෙඩී ගැයූ “පරවියා වගේ රාජ මාලිගේ”, “ගල්කිස්සේ මුහුදු වෙරළේ”, “පාන්කිරිත්තා” “ආරොන් මාමා”, “අමුතු ඇඳුම්”, “හඳ මාමා”, “කුණ්ඩුමනී”, “පරණ කෝට්”, “අලුත් කලාවක්”, “තේ කූඩය” “ගිනි බෝල” වගේ චිත්‍රපට ගීතත් ජනප්‍රිය විය. ප්‍රෙඩීගේ තවත් ලක්ෂණයක් වූයේ මළ ගෙවල්වල යාමට තිබූ අකමැත්තය.

“මහත්මයා මම මළ ගෙවල් වල ගියාම ඔක්කෝම හිනා වෙනවා. මොන රටේ ද කනගාටුදායක අවස්ථාවක “හක හක” ගාලා හිනාවෙන්නෙ. මේක අරුම පුදුම රටක්නේ. ඒ නිසා යන ඕනෑ අවශ්‍යම මළ ගෙදරකට යන්නෙ මහ රෑ සෙනඟ අඩු වෙලාවක.” වරක් ප්‍රෙඩී අපට කීවේය. ඔහු 2001 වසරේ ජීවිතයෙන් සමු ගත්තේය.

ප්‍රෙඩී ගැන ලියන විට ඔහුගේ සුමිතුරු එකල ගීත රචකයකු හා ගායකයකුව හා නාට්‍ය රචකයකුව සිටි ඇලන්සන් මෙන්ඩිස් අමතක කළ නොහැක. 1950 වසරේ තිරගත වූ “හදිසි විනිශ්චය” චිත්‍රපටයේ රුක්මනී දේවි සමග ගී ගැයුවේය. “ප්‍රේම රාජා මාගේ”, සංසාර සැපා නාස්තිවේ” මනුලෝකේ මනු ලෝකේ නම් ඔහු ඒ ඒ පසුබිම ගී ගැයුවේ රුක්මණී සමග රඟපෑ හර්බට් එම්. සෙනෙවිරත්න වෙනුවෙනි. ඇලන්සන් අසූව දසකයේ මිය ගියේය. මොරටුවේ කල්දෙමුල්ලේ උපන් තිලක් ද මැල් ජනප්‍රිය ගායකයෙකි. එසේම මොරටුවේ පමණක් නොව මුළු රටේම නම රැන්දූ “පුන් සඳ පායා පුන් සඳ දිලෙන්නා” ගීතය රචනා කළේ තිලක්ගේ සීයා වූ ජෙරී ද මැල්ය.

“අපේ සීයා ජෙරී ද මැල් ඉස්සර මොරටුවේ සිට කොටුවට කෝච්චියෙන් එන තුරු යාළුවෝත් එක්ක සින්දු කියනවලු. සීයාගේ ගජ යාළුවා සී.එල්. ෆොන්සේකයි. දුම්රියේ යාළුවෝ සෙට් එකයි සීයා ලියපු මේ ගීතය ගයනවලු. මේ ගීතය ඉක්මනින් ජනප්‍රිය වුණා.”

“පුන් සඳ පායා මොරටුව දිලෙන්නා
මොරටුව නම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා
මොරටු කෙල්ලෝ ඩාන්ස් කරන්නා”

පසු කාලෙක තිලක් ද මැල් මේ ගීතයට කොටසක් අලුතින් ප්‍රබන්ධය කොට මොරටු පුත්‍රයන් වන සුනිල් පෙරේරා, පියල් පෙරේරා (ජිප්සීස්) හා සමන් ද සිල්වා ලවා ගයා තැටි ගත කොට ඇත. මේ ගීයේ කොටසකි.

“පුන් සඳ පායා කිව්වම රටම දන්නවා
අපේ මොරටු පුරේ ගීයට මුළු රටම නටනවා
මැල් පරපුරේ නම රැකිලා 
සුමියුරු පද වැල් ගොතලා
ජෙරී ද මෙල් තමයි හැදුවේ “පුන්සඳ පායා”
“අවුරුදු 50ක් ගැයූ ගී ගුවනේ රැව් දෙති
අපේ නිහාල් නෙල්සන් බයිලා ලොවේ සක්විති
සමන්, පෝල්, කිංස්ටනුයි,
ධනපාලයි, සෝමසිරියි,
සුනිල්, පියල් ජිප්සීස් මොරටුවේ උරුමයයි”

“ජිප්සීස්” කියූ සැණින් අපට “ලුණු දෙහි” පාවෙන පිරිසියක්”, ගී තුළින් ගී ලොවේ විප්ලවයක් කළ සුනිල් පෙරේරා හා පියල් පෙරේරා මොරටුවේ උස්වත්තේ උපන් කලාකරුවන් දෙදෙනෙකි.

මොරටුවේ සුදුවැල්ලේ උපන් ක්‍රිස්ටෝපර් පෝල් තම සංගීත ජීවිතයේ 60 වැනි සංවත්සරය සමරයි. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ඔහු සී.ටී. ප්‍රනාන්දුගේ ගීත ගයමින් පාසල් විවිධ ප්‍රසංගය වර්ණවත් කළේය. ඉන් පසු ඔහු සුනිල් සාන්තගේ ගෝලයෙක් විය.

“මට ගුවන් විදුලියේ ගීතයක් ගයන්න ලොකු ආසාවක් ඇති වුණා. සරු ගී පරීක්ෂණයෙන් සමත් වෙලා අලුත් විදිහක ගීතයක් ගුවන් විදුලියෙන් කියන්න හිත හිතා ඉන්න අතරේ මම මඩකළපුවට ගියා. මුහුදු වෙරළේ ඇවිද ඇවිද ඉන්න කොට මම දැක්කා මුතු බෙල්ලෝ ගොඩක් වෙරළේ පාවෙනවා. මම මේ අත්දැකීම එවක මොරටුවේ ගීත රචකයකුව සිටි බැසිල් එම්. පෙරේරාට කිව්වා. ඔහු ලියපු ගීතය සංගීතවත් කළේ මොරටුවේ මෙන්ඩිස් ලේක්හි පදිංචිව සිටි මර්වින් පෙරේරා.

“බෙල්ලෝ මුතු බෙල්ලෝ
අපි ගෝනි ගානේ වික්කා
නංගී පොඩි මල්ලී
අඩුගානේ දෙන්න එනවා”

ඒ කාලේ මම එල්විස් ප්‍රෙස්ලිගේ ගීත වලට කැමතියි. මගේ ප්‍රියතම ගීතයක් තිබුණා ..''wooden heart....'' කියලා. ඒ ගීතයට බැසිල් එම්. සිල්වා මේ විදිහට වචන දැම්මා

“පෙම් ලෝකේ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාලා ගොතා
පලඳන්න, ගෙලේ දාලා”

ඒ කාලෙ බටහිර තනු වලට සිංහල ගීත කිව්ව මුල්ම ගායකයා මම. මා ගැයූ ගීත අතර “හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා. මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා” ගීතයට තවමත් ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා. මේ ගීතය ලිව්වෙ ගුණරත්න අබේසේකර, සංගීතවත් කළේ පි.එල්.ඒ. සෝමපාල.

ප්‍රසිද්ධ ගායකයන් වීමට පෙර ක්‍රිස්ටෝපර්, ප්‍රෙඩී හා රෝයි ද සිලවා යන මිතුරන් තිදෙනා ගීත ගයන්න අවස්ථාව ලබා ගන්න මඟුල් ගෙවල් වලට ගොස් ඇත. එකල බොහෝ මගුල් උත්සව පැවැත්වූයේ මොරටු නගර සභා ශාලාවේදීය.

“අපි තුන්දෙනාම ඒ කාලෙ දඩබ්බරයි. කිසිම හැඳුනුම්කමක් නැතිව අපි මගුල් ගෙවල් වලට ගිහින් කාල බීලා එනවා. මනමාලයාගේ පැත්ත හිතන්නේ අපි මනමාලිගේ පැත්තෙ හිතවත්තු කියා. මනමාලිගෙ පැත්තෙ හිතන්නේ මනමාලයාගෙ පැත්තෙ ආරාධිතයෝ කියලා. අහුවුණා නම් ගුටි කාලාම මැරෙනවා.” අතීත සිද්ධියක් මතක් කරමින් ක්‍රිස්ටෝපර් කීවේය. ක්‍රිස්ටෝපර්, ප්‍රෙඩී, රෝයි හා සෝමපාල ධර්මප්‍රිය (චිත්‍රපට නළු) සමග 1956 දී Marry Makers sport club කියලා සමාජයක් ඇති කළා.

මොරටුවේ රාවතාවත්තේ උපන් නිහාල් නෙල්සන් අද ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්. ඔහු තම ගායන ජීවිතයේ 53 වසර සම්පූර්ණ කරමින් එල්.පී. තැටි 14ක් ද සී.ඩි. 112ක් ද නිකුත් කර වාර්තාවක් තබා ඇත. නිහාල්ගේ මව ඉංග්‍රීසි ගුරුවරියක් වූවත් නිහාල් අධ්‍යාපනයට වඩා සංගීතයට සිත යොමු කර ඇත.

“මම මොරටු විද්‍යාලයට යන කාලේ ඉඳලම ගීත ලියලා තනුවකුත් හදාගෙන ගායනා කරනවා. ඒ කාලෙ සාහිත්‍ය සමිතියේ මම කිව්වේ සුනිල් ශාන්තගෙ ගීත. එදා මගුල් ගෙවල් වල සාද වල ගී කිව්වේ රුක්මණී, බෙග් වගේ අය. එක මගුල් ගෙදරකදි මට සින්දුවක් කියන්න අවස්ථාව ලැබුණා. එදා මම කිව්වේ “ලස්සනට පිපුණ මල්” කියන ගීතය. සංගීතය මෙහෙයවපු ඒ.ජේ. කරීම් (ගායක) මට ප්‍රශංසා කරලා නුවර ලේක් ක්ලබ් එකේ සින්දු කියන්න ගත්තා. ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් එතැන දි උදව් කළා. මගේ ජීවිතයේ ලස්සනම දවස මගේ ගීතයක් මුල්වරට ගුවන් විදුලියේ ප්‍රචාරය වූ දවස. වසර 1963. මාසය මාර්තු, දිනය 31. වෙලාව දහවල් 1.20යි මම කිව්ව “ලස්සනට පිපුණ වන මල්” ගීතය රචනා කළේ සරත් මුණසිංහ (අද මීගහවෙල සුමන ශාන්ත හිමි) ගීතය වාදනය කිරීමට පෙර කරුණාරත්න අබේසේකර නිවේදකයා මා ගැන මෙහෙම කිව්වා. මේ සේරම දින පොතක ලියලා තියෙනවා කටපාඩම්. මතකය හොඳයි.

“ඔන්න මම අද අලුත් ගායකයෙක් අලුත් සින්දුවක් සමග ඉදිරිපත් කරන්න සූදානම්. මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. සාමාන්‍යයෙන් මල් වෙඩි ලස්සනට පත්තුවෙලා උඩ ගිහිල්ලා නිවිලා යනවා. නමුත් මම අද පත්තු කරන මල් වෙඩිල්ල සදාකාලිකවම අනාගතේ බැබළෙන බව සතුටින් කියමින් ගීය ඉදිරිපත් කරනවා. මේ ගායකයා නිහාල් නෙල්සන්.”

නිහාල් චිත්‍රපට 30ක ගීත ගයා ඇත. ඒ අතර තමා උපන් මොරටුවේ ඉපිද, තමා උගත් මොරටු විද්‍යාලයේම ඉගෙන ගත් ආචාර්ය අමරදේවයන් සංගීතවත් කළ “වාලම්පූරි” චිත්‍රපටයේ ගීතයක් ගැයීමට ලැබීම සතුටක් කොට සලකයි. ඔහු ගැයූ ගීත දහසක් අතර “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ“ ගීතය ප්‍රසංග වේදිකාවේත් ඉතා ජනප්‍රිය වී ඇත.

“මේ ගීතය අහල හුඟ දෙනෙක් ගව මස් කෑම නැවැත්තුවා. මට ඒක ලොකු සතුටක්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රසිද්ධියේම කිව්වා, “මම ගව මස් කෑම නතර කළේ නිහාල් නෙල්සන්ගෙ මේ ගීතය නිසා” කියලා. මට වෙන සම්මානයක් කුමටද?

නිහාල්ට සමගාමීව ගී ගැයූ, “තණ නිල්ල දිගේ” ගීය ගැයූ සමන් ද සිල්වා ද, නොහඬන් ලඳුණේ සුභා කියා, ඉවසා අසන්න හිතවත, පුන් සඳෙන්, ගී ගැයූ පුන්සිරි සොයිසා ද, නුපුරුදු ඔබ දුටු පළමු දිනේ, මගේ දරු පැටව් අහසට දෑස දිගු කරන්, රෝද තුනේ මාළිගාව, ගීත ගැයූ අසංග ප්‍රියමන්ත පීරිස් ද, පාන් මාමා පාන්දරින් පාන් ගේනවා ඇතුළු ගීත ගැයූ පෝල් ප්‍රනාන්දු ද ධනපාල උඩවත්ත, එච්.ආර්. සොයිසා, මොරටු පුරවරයෙන් උපන් පුතුන්ය.

“සීත රෑ වසන්තේ”, “හද පුද හසුනේ”, “අඹමල් රේණුවක්” ගීත ගැයූ මල්කාන්ති පීරිස් (නන්දසිරි) මොරටු පුරවරයේ කොරළවැල්ලේ උපන් ගායිකාවකි. ඇගේ සොහොයුරියන් වූ නිරංජලා, නිර්මලා සකුන්තලා හා සොහොයුරු මනෝජ් පීරිස් ද සංගීත කලාවේ නියැළෙති. මල්කාන්තිගේ පියා වූ හැරිසන් පීරිස් ඉංග්‍රිසි බසින් ලියූ කෘතහස්ත ලේඛකයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. කවියෙකි. ඔහු “කැතලික් මැසෙන්ජර්” පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකි. මොරටුව කල්දෙමුල්ල උපන් දමයන්ති ජයසූරිය ගුවන් විදුලියේ ළමා මණ්ඩපයෙන් දොරට වැඩි ගායිකාවකි. චිත්‍රපට ගණනාවක ගී ගැයූ ඇය “සප්ත කන්‍යා” චිත්‍රපටයේ “උන්මාද වූ ප්‍රේමාදරේ” ගීතය සඳහා 1994 ජනාධිපති චිත්‍රපට උළෙලේදී වසරේ විශිෂ්ට පසුබිම් ගායිකාවට හිමි ජනාධිපති සම්මානය දිනාගත්තාය.

3

මොරටුවේ ප්‍රථම පෙරදිග සංගීත කණ්ඩායම

මොරටුවේ කොරළවැල්ලේ උපන් ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂවරයකු සංගීත ස්වර රචකයකු ලෙස ප්‍රකටය. ඔහු ගුවන් විදුලියේ 31 වසරක සේවයෙන් විශ්‍රාම ගන්නා විට එහි සංගීත අංශයේ පාලකවරයාව සිටියේය. පුන්සිරි ද සොයිසා ගැයූ “නොහඬන් ළඳුනේ”, “සුභා කියා” “එගොඩත් මෙගොඩත්” “ගංඟා ඇළ දොළ ගලා” ගීත වලත් අමරා රණතුංග ගැයූ “අමරාදේවි” දයාරත්න රණතුංග ගැයූ “මල්පිපිලා”, විල්බට් ඇන්තනි ගැයු “ගම හැරදා සිදාදියට” යන ගිත වල මියුරු තනු නිර්මාපකයා ඔහුය. සංගීත අධ්‍යක්ෂ වික්ටර් දළුගම ද මොරටු පුත්‍රයෙකි. වික්ටර්ගේ පියා වූ අබිලිනු මාස්ටර් ද 40 දසකයේ සංගීත සාජ්ජ වලට නැතිවම බැරි ප්‍රකට සර්පිනා වාදකයෙකි.

“පිබිදෙව්, පිබිදෙව්
පිබිදෙව්, පිබිදෙව්
අලුයම සිරි නරඹා”

මොරටුවෙන් බිහි වූ මේ ජනප්‍රිය ගීතය රචනා කළේ මොරටුව ඉඩම, ලේඩි එච්ලින් ද සොයිසා මාවතේ පදිංචිව සිට නැසී ගිය ජේසන් ද සිල්වාය. ඒ ගීය ගායනය කළේ අර්ඞ්ලි සිල්වාය. ජේසන්ගේ පියා ඉඩමේ බලායන්ගේ කැරෝල් කණ්ඩායම මුල්වරට ඇරඹූ පුරෝගාමියාය. ජේසන් රචනා කළ ගී අතර අර්ඞ්ලි සිල්වා කොලොම්බියා තැටියකට ගැයූ “කමලා කමලා” ගීතයත්, සී.එල්. ෆොන්සේකා හා චාන්දනී හෙට්ටිආරච්චි ගැයූ “සොමි පානදුර නදියේ මේ ගීතයත් කැපී පෙනෙයි.

“බයිලා” කී සැණින් මොරටුව අපේ මතකයට එයි. බයිලා වගේම “වාද බයිලාවට” ද මොරටු පුරවරය ප්‍රසිද්ධය. මොරටුවේ ලක්ෂපතියේ පර්සි රාජපක්ෂ සමස්ත ලංකා වාද බයිලා සංගමයේ සභාපතිය. ඔහු කියන ආකාරයට තම පියා වූ ලක්ෂපතියේ සුවනේරිස් අප්පුහාමි හෙවත් බාර සැමී ඔහු රඟ පෑ නාට්‍ය චරිතක් ඇසුරින් මේ නම ලැබී ඇත. මොරටුවේ දක්ෂ නාඩගම් නළුවකු ලෙස ප්‍රසිද්ධව සිටියේලු. ඒ ආභාසය පුතා ලැබූවත් ඔහුගේ සිත ගියේ වාද බයිලාවටය. තම සහෝදරයා වූ වික්ටර් නිසා බයිලාවට හිත ගිය පර්සිට බයිලා ලියා දී ඇත්තේ කල්දෙමුල්ල කරුණාදාසය.

ටී.ඩී. ගුණතිලක, ෂෙල්ටන් සිල්වා. බැසිල් හෙන්රි, ඒසිරි ප්‍රනාන්දු, බයිලා හෙන්රි වගේ ගායකයන් එකල ජනප්‍රිය වූහ.

මොරටු පුරවරට සම්බන්ධ තවත් ජනප්‍රිය ගායකයෙකි වින්සන්ට් ද පෝල් පීරිස්. “සිරිපාදේ සමනළ කන්ද පෙනේ” “බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ” ගීත තුළින් 50 දසකයේ ජනප්‍රිය වූ ඔහු මෙරට නිපද වූ ප්‍රථම මිලි මීටර් 16 වර්ණ වෘතාන්ත චිත්‍රපටය වූ “ගම්බද සුන්දරී” ප්‍රධාන චරිතය (පෝල්) රඟපාමින් එහි ගීත ගායනා කළ අතර “පොඩි පුතා” චිත්‍රපටයේ ද රඟපාමින් ගීත ගායනයට දායක විය.

1953 වසරේ බිහි වූ මේරි මේකර්ස් කණ්ඩායමෙන් චන්ද්‍රා දේවාදිත්‍ය, සෝමසිරි ප්‍රනාන්දු, ඔස්ටින් ප්‍රනාන්දු, තිලක් විජේදාස, නිශ්ශංක විමලසූරිය, වික්ටර් දළුගම, ජිනදාස සිල්වා, එල්ස්වරන් අල්විස්, ඇනස්ලි චාල්ස්, ජිනදාස සිල්වා, සංචාරක ගීත ගැයීමට එක් වී ඇත.

මොරටුවෙන් ප්‍රථම ගායක කණ්ඩායම ලෙස ජේ. බ්‍රදර්ස් ද, ලොස් ෆෙලිමින්කෝස්, ලාබම්බාස්, මෙන්ඩිස් ෆෝසම්, වින්ස්ලෝ ඩික්ස්, පින්ක් ඇන්ඞ් පර්පල්, සුපර් පින්ක් ඇන්ඞ් පර්පල්, ක්‍රිස්ටල් සෙට්, ජිප්සීස් යන සංගීත කණ්ඩායම් බිහි වූ බව සී.එල්. ෆොන්සේකා පවසා ඇත. 1973 දී ශානක පෙරේරාගේ නායකත්වයෙන් ලාංකිකා පෙරේරා ඇතුළු සාමාජිකයන් මොරටුවෙන් හා ඉන් පිටතට ද සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන බව ඔහු පවසා ඇත.

මේ හැර සිරිලාල් මේදිස්, කිංස්ලි ප්‍රනාන්දු, තිලක් පෙරේරා ටී සුමිත් පෙරේරා, ලෝරන්ස් ප්‍රනාන්දු, චන්ද්‍රා දේවදිත්‍ය, බර්ටි ඩික්සන්, ප්‍රියා පීරිස්, හේමසිරි හල්පිට, චන්ද්‍රලාල් ෆොන්සේකා, ලකී දේවා, මානෙල් ජෝශප්, සෝමසිරි ප්‍රනාන්දු, සැම්සන් සිල්වා, අනුර මහානාම, චමල් මෙන්ඩිස්, සංගීතයෙන් මොරටුව පුබුදු කළ මොරටු දූ පුතුන්ය. 1994 වසරේ මොරටුව කලා එකමුතුව බිහි විය.

මොරටු පුරවරයෙන් බිහි වූ ගායක ගායිකාවන් සැවෙම ගැන වෙනමම පොතක් ලිවීමට තරම් දේ ඇතත් මෙවැනි ලිපියකින් එය කිරීමට අපහසුය. කෙසේ වෙතත් මොරටුවේ ජ්‍යෙෂ්ඨ පුරවසියන්ගෙන්ද මාධ්‍යවේදි සිරි කහවලගේ දත්ත ගබ ඩාවෙන් ද දැනගත් කරුණු අනුව ලියූ මේ ලිපියේ අඩුපාඩු තිබෙන්න පුලුවන්. යම් නමක් නොමැති නම් අත පසුව, ඇත්නම් ඔවුන් කමත්වා.

සටහන ඒඩී රංඩිත් කුමාර - උපුටාගැනීම ලංකාදීප

Face Book Setup 01

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News