lan englan tam

විශේෂාංග

පරචිත්ත ඥානය විදාරණය කළ ‘‘බැද්දේ කුලවමිය’’

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘‘පරචිත්ත ඥානය’’ යනුවෙන් හැඳින්වෙන්නේ අනුන්ගේ සිත දැකීමේ, කියවීමේ හැකියාව යි. මෙම හැකියාව තිබූ ලොව පසිඳුම පුද්ගලයා වූයේ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ හැරුණ කොට විවිධ ඍෂිවරුන් ද, දියුණු ආධ්‍යාත්මික බලයකින් හෙබි පුද්ගලයන් ද මෙම හැකියාවෙන් යුක්ත වුවන් බව අප අසා ඇත. එහෙත් මෙය ප්‍රබන්ධකරුවා/කාරිය වෙත ද ඇතැයි පැවසුවහොත් ඔබ විශ්මයට පත්වනු ඇත. විශ්මයට පත් නොවන්න! සැබවින් ම ප්‍රබන්ධකරුවා/කාරිය යනු අන් අයකුගේ හෝ පිරිසකගේ සිත් කියවන්නෙකි; කියවන්නියකි.

 

මෙය අපට වඩාත් පසක් කළ ප්‍රබන්ධකාරියක් ලෙස රූපා ශ්‍රියානී ඒකනායක නම් වූ සාහිත්‍යයවේදිනිය හැඳින්විය හැකි ය. ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද ඇගේ ‘‘සිටුවර පුවත’’ නම් වූ සාහිත්‍යය නිර්මාණයේ පණ්ඩුල ගේ සිත මතු නොව එහි අන්තර්ගත බොහෝ චරිතයන් ගේ සිත් කියවන්නට ඇය අපූරු සමත්කමක් දක්වන්නී ය. ඇගේ අභිනව සාහිත්‍යය කෘතිය වන ‘‘බැද්දේ කුලවමිය’’ තුළින් ද එහි ප්‍රධාන චරිතය වන තේමිය සහ චංචලාගේ: විශේෂයෙන් ම තේමියගේ සිත කියවන්නට ඇය වෙසෙස් සමත්කමක් දක්වන්නී ය.

මෙම කෘතිය පුරා ම දිවෙන්නේ තමා ගේ මවගේ දෙවන සැමියා (සුළු පියා) මතු නොව සිය බිරිඳ පිළිබඳව ද දැඩි සැකයකින් පසුවන, හිතට හොරා සිය ජිවිතය පවත්වාගෙන යන ගුප්ත චරිතයක් වටා ය. ඒ ගුප්ත චරිතය නම් තේමිය යි. පණ්ඩුලගේ චරිතය තරමට ම ප්‍රබල නොවූව ද බහුතරයක් සාහිත්‍යය කෘතීන්හි අනුභූතිය අභිභවා යන සහ එකී සාහිත්‍යය කෘතින් අභියෝගයට ලක් කළ හැකි කෘතියක් ලෙස ‘‘බැද්දේ කුලවමිය’’ හැඳින්විය හැකි ය.

එමෙන් ම මෙම සාහිත්‍යය නිර්මාණය නවමු ආකෘතියකින් සමන්විත වන බව ද සිහිපත් කළ යුතු ය. එනම් මෙම කෘතිය පුරා ම එහි අන්තර්ගත චරිතයෝ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය තුළින් සිය චරිතය සහ ඔවුනොවුන් ගේ අත්දැකීම් නිරූපණය කරති; විවරණය කරති. එක් එක් පරිච්ඡ්දය හරහා පාඨකයාට කතාව ඉදිරිපත් කරන්නේ අදාළ චරිතය විසින් ම ය. මෙබඳු ආකෘතියක් සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ මින් පෙර දක්නට නොලැබුණ බව මගේ විශ්වාසය යි.

මෙහි ප්‍රධාන චරිතයෝ වන තේමිය, චංචලා දේවී, එඩ්වින්, කුමාරි මැණිකේ සහ ෂෙරින් හරහා සමාජයේ වෙසෙන මිනිසුන්ගේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන්නට කතුවරිය සමත් වන්නී ය.

තේමිය

මොහු සැකය නමැති පිළිකාවෙන් වේදනා විඳින, උගුරට හොරා බෙහෙත් බොන පන්නයේ පුද්ගලයෙකි. ඔහු එක් එක් අවස්ථාවන්හි දී සියල්ල තම වාසියට හරවා ගන්නේ සත්‍යය සහ යථාර්ථය මෙය යැයි දැන දැන ම ය. හෙතෙම එම පිළිවෙත වඩාත් භාවිතාවට ගන්නේ ඔහු ගේ පැරණි පෙම්වතිය වන ෂෙරීන් සමග යහන්ගතවීමට අවකාශ සලසාගනු පිණිස ය. තේමිය තමන්ගේ සුළු පියා පිළිබඳ දැඩි සැකයකින් පසුවන්නෙකි. පසු කලක දී හෙතෙම සිය බිරිඳ තමන්ගේ සුළු පියා සමග අනිසි සම්බන්දයක් ඇත්දැයි යන සැකයෙන් පවා රෝගාතුර වන්නේ ය.

චංචලා දේවි

මැය අපූරු චරිතයකි. ඇය ගමේ හැදුණු වැඩුණු, කුඩා කල පියා සිය මව හැරගිය පසු මව යටතේ දුකසේ හැදී වැඩෙන්නියකි. එමෙන් ම ඇය විවෘත හදවතක් ඇත්තියක් වන්නී ය. ඇගේ සිතට නැගෙන සිතුවිලි වචන බවට හරවා වාතලයට මුදා හරින්නේ කිසිඳු වගවිභාගයකින් තොරව ය; ඉන් මතුවට ඇතිවන ඵල විපාකය පිළිබඳ අබටැක් තරම් හෝ නොසිතමින් ය. මෙය ඇගේ වාසියට මෙන් ම අවාසියට ද බලපෑ වාර අනන්ත ය; අප්‍රමාණ ය. සමස්තයක් ලෙස ගත් විට ඇය සිය ජීවිතය ජයගන්නේ ද ඒ නිසාවෙනි. එහෙත් ඇය කිසිවකට ආශා නොකරන්නී ය; අවසන් මොහොතේ ඇය සිය සැමියා මතු නොව තමා වෙත ලද සියලු වස්තුව, දේපළ පවා අත්හැර දමන්නී ය.

එඩ්වින්

තේමියගේ සුළු පියා වන මොහු සිය ධනය, බලය උපයෝගි කොට ගනිමින් නිවසේ වෙසෙන සිය බිරිය සහ ඇගේ පළමු කසාදයේ පුතු වන තේමිය තම ග්‍රහණයට නතුකරගෙන සිටින දැඩි මතවාදියෙකි. ඔහු සිතන්නේ සියල්ල සිදුවිය යුත්තේ ඔහුගේ මතයට අනුව පමණක් ය යනුවෙනි. තේමිය හිතුවක්කාර වන්නේ ද එඩ්වින්ගේ මෙම ඒකාධිපතිත්වය හේතුවෙනි. එහෙත් අවසානයේ ඔහු සිය අනියම් බිරිය ඉදිරියේ බොහෝ යටහත් පහත් ලෙස දිවි ගෙවන්නකු බව හෙළිවන අතර ඔහු ඉන් මුදවාගන්නට යම් හෝ දායකත්වයක් සපයන්නේ සිය ලේලිය වන චංචලා දේවිය යි.

කුමාරි මැණිකේ

තේමියගේ මව වන ඇය සිය ස්වාමිපුරුෂයාගේ මරණයෙන් ඉක්බිති ඔහුගේ හාම්පුතා වූ එඩ්වින් සමග විවාහ වන්නේ අන් සරණක් නොමැති හෙයිනි. ඇය සමස්ත ස්ත්‍රීන් අත්විඳින්නා වූ සාම්ප්‍රදායික දුක් කම්කටුලු සියල්ල අත්විඳින්නී ය. හෙතෙම ගිරයට හසු වුණ පුක් ගෙඩියක් වැනි ය. එක් අතකින් සැමියා මිය ගිය පසු ඇගේ ජිවිතය බාරගත් එඩ්වින් ය; අනෙක් පසින් ඇගේ පළමු කසාදයේ දරුවා ය; එකම දරුවා ය. ඈ මේ සියලු දුක් විඳින්නේ ඒ දරුවා වෙනුවෙනි.

ෂෙරින්

මෙවැනි චරිත එකල සමාජයේ මතු නොව වත්මන් සමාජයේ වුව වෙසෙන්නී ය. ඇය ස්වාධීන අදහස් දරන්නියකි. සිය ජිවිතය ඉතා සැහැල්ලුවෙන් ගෙවා දමන්නියකි. තේමිය සමග සබඳතාවක් තිබුණ ද ඇය ඔහු සමග විවාහ දිවියට නොඑලඹෙන්නී ය. එහෙත් අවශ්‍යය ඕනැම මොහොතක තේමිය සමග ලිංගික සතුට බෙදා හදා ගන්නට කැපවී සිටින්නී ය. බාහිර සමාජය ඇය නරක ගැහැනියක ලෙස සැලකුව ද ඇය නොවේ එය තඹයකට මායිම් කරන්නේ. ඇය වඩාත් රුචිකත්වයක් දක්වන්නේ නිවහල්, නිදහස් දිවි පෙවෙතකට ය. පති කුලය, කන්‍යාභාවය, පතිවත යනාදී සාම්ප්‍රදායික මතිමතාන්තර කිසිවක් ඇය නොසලකන්නී ය.

විශ්වාසනීය චරිත ගොඩනැගීම

කතුවරිය මෙම නිර්මාණය හරහා සමාජයේ විවිධ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයන් ඉස්මතු කරන්නේ ඒ සියලු චරිතාභ්‍යන්තරයට කිඳා බසිමිනි; ඒ සෑම චරිතයක් ම තමන් ම බවට පරිවර්තනය කරමිනි. එසේ නොවන්නට ඇයට මෙම චරිතවල මතුපිට පමණක් නොව අභ්‍යන්තර ස්වරූපය පිළිබිඹු කරන්නට නොහැකි වන්නී ය. එක් එක් නිමේශයන්හි දී ඒ ඒ චරිතයෝ ඇය ම නොවේදැයි සිතන තරමට එම චරිතවල හැසිරීම් රටා පාඨකයාගේ හද මනස ඇද බැඳ ගන්නේ ය. චරිතාංග නළුවකු හෝ නිළියක කිසියම් චරිතයක් නිරූපණය කරද්දී එකී නළුවා හෝ නිළිය නොපෙනී චරිතය ම පමණක් ප්‍රේක්ෂකයා ඉදිරියේ දිස්වන මෙහොතක මෙන් කෘතියේ චරිත ප්‍රබන්ධ චරිත නොව සැබවින් ම තමන් ඉදිරියේ සිටින පුද්ගලයන් බවට, තමන් දන්නා කියන පුද්ගලයන් බවට, තමන් අකමැති පුද්ගලයන් බවට, තමන් කැමති පුද්ගලයන් බවට, තමන්ගේ අනුකම්පාවට පාත්‍ර වන පුද්ගලයන් බවට, තමන් පිළිකුල් කරන පුද්ගලයන් බවට පත්වන්නේ නිරායාසයෙනි. එය ඒ එක් එක් චරිතයන්ගේ හැසිරීම මතු නොව දෙබස් ඛණ්ඩ හරහා ද ප්‍රත්‍යක්ෂ කෙරේ. කතුවරිය මෙම චරිත හැසිරවීමේ දී තමා එම චරිතවලට ආරුඪ වී ඇති සෙයක් දක්නට ඇත. සැබැවින් ම මෙය ප්‍රබන්ධකරුවා/කාරිය සතු විය යුතු විශිෂ්ට ගුණාංගයකි; දක්ෂතාවකි.

ගැහැනිය ඉදිරියේ ලිලිපුට්ටකු වන පිරිමියා

සැකයේ ආරම්භයෙන් ම ඇරඹෙන ‘‘බැද්දේ කුලවමිය’’ එයම සිය ජිවිතයේ සියලු සුඛ දු:කයන්ට පාදක කරගන්නා අන්දම තේමියගේ චරිතය හරහා කදිමට විද්‍යාමාන කොට ඇත. එමෙන් ම පුරුෂයා මහා බලවන්තයකු යැයි තමන් ම කියාගන්නා පුරුෂයා එක් නිමේශයක දී කාන්තාව ඉදිරියේ ලිලිපුට්කු වන ආකාරයත් කතුවරිය මැනවින් පිළිබිඹු කොට ඇත. එඩ්වින් සහ කුමාරි මැණිකේ අතර හටගත් ගැටුමක දී ඇය එඩ්වින්ගේ සියලු බලපරාක්‍රමයන් ඍණ බිංදුව දක්වා පහත හෙළන අන්දම බලන්න.

‘‘මගෙන් ළමයෙක් හදාගන්ඩ ඔයාට කවදාවත් ඕනැ වුණේ නෑ.. තේමිය මත්තෙම නැහුණ මිසක්..’’

‘‘ඔයාට ළමයි නැ කියල දොස්තරනෙ කිව්වෙ..? මං ද කිව්වෙ..?’’
පිටුව 37

මේ මහා බලවන්ත පිරිමියා පරාජය බාරගත නොහී අවසන මෙසේ පවසයි.

‘‘ඒකම ඒ විදියට පිළිගත්ත මිසක් අඩුගානෙ වෙන දොස්තර කෙනෙක් හරි වෙද මහත්තයෙක් හරි බලන්න යන්න ඔයාට ඕනැ වුණේ නෑ.. දොස්තර කිවුව එක ඔයා බාරගත්තෙ බොහොම ආසාවෙන්.. දොස්තර ඒක කියනකොට ඔයාගෙ ඇස් දෙකට නැඟුණු සතුට මට තාම හොඳට මතකයි.... ඒව මතක නෑ වගේ හැසිරෙන්න එපා කුමාරි... මට ඒව හොඳට මතකයි...’’
පිටුව එම

මෙහි දී කුමාරි මැණිකේ සමස්ත පිරිමින්ගේ ම ආධිපත්‍යය බිඳ හෙළන අතර කාන්තාවක වශයෙන් ඇයට අනාගතයේ මුහුණ පාන්නට වන ව්‍යසනයකින් අත්මිදුණා ය යන: එනම් සිය දෙවන සැමියාගෙන් දරුවකු ලදොත් පළමු විවාහයේ දරුවාට අවැඩක් වේ ය යන සිතුවිල්ල හේතු කොටගෙන ලද ස්වයංතෘප්තිය ද පිළිබිඹු වන්නේ ය.

තම වාසිය පතා යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම

තේමිය ඇතැම් අවස්ථාවන්හි දී බොහෝ සෙයින් පසුගාමී ය. යථාර්ථය පසක් කරගත්ත ද තමන්ගේ මතය වෙනස් කිරීමට ඇති නොකැමැත්ත හේතු කොට ගෙන ම යථාර්ථයෙන් පළා යාමට හෝ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමට පෙළඹේ. ඔහු හිතුවක්කාර ලෙස නිවසින් පිටව ගොස් හුදෙකලා දිවියක් ගතකිරීමට තැත් කළ ද සමස්ත සමාජය ම වෙළා සිටින සමාජ, ආර්ථික ප්‍රශ්න මගහැර යන්නට ඔහු අසමත් වේ. සිය සුළු පියා කෙරෙහි වෛරයෙන් පසුවන තේමිය හුදෙකලා සමයේ ජීවත්වීම සඳහා සුළු පියාගේ මුදල් භාවිතා කිරීමේ දී ඔහු යථාර්ථය පසක් කරගත්ත ද ඒ මොහොතේ ම එය ප්‍රතික්ෂේප කරයි. එබඳු අවස්ථාවන්හි දී තේමියගේ සිතට නැගෙන සිතුවිලි ඉදිරිපත් කරන කතුවරිය එවා කෙතරම් තාත්වික ලෙස ඉස්මතු කරන්නේ ද යත් තේමිය යනු අන් කවරකුවත් නොව තමා ම නේද යන්න පාඨකයාට හැඟේ.

‘‘මා ජිනපාලගේ ගමේ පැලපදියම් නොවී ඒ ගමට ආසන්න කුඩා ටවුමේ ඇති නිවසක පදිංචියට ඒම ගැන අම්මා නම් සිටියේ සතුටිනි. ගමට වී ජිනපාල වැනි මිනිසකු ඇසුරු කිරීමට පටන්ගත් කල මා ද එවැන්නෙකු වේ යැයි අම්මා බිය වන්නට ඇත. අම්මා මේ සඳහා වියදම් කළේ එඩ්වින්ගෙන් ලබාගත් මුදල් බව මා දැන සිටිය ද ඒ අප්‍රියකර සිතුවිල්ල හිතෙන් පිසදා හරිනු මිස වෙන කුමක් කරම් ද? මෙවැනි කටයුතුවලට මුදල් අවශ්‍ය වේ. මා ළඟ තැන්පත් ධනයක් නොවූයෙන් අකමැත්තෙන් වුව ද අම්මාට ඉඩ දිමට සිදුවිය. එහෙත් මේ පිළිබඳව තනිවම සිතන විට අපමණ ලජ්ජාවකින් මම පෙළුණෙමි’’
පිටු 60, 61

තමා කටයුතු කරන්නේ සවිඥානිකව යැයි ඔහු කෙතරම් තර්ක කළ ද ඒ සියල්ල අවිඥානික සිතුවිලි බව පසක් කරගන්නේ සැබැ ලෙසින් ම සවිඥානික වූ මොහොතේ ය. ඒ උපකාරක පන්තියක ඉගැන්වීම අරඹා මුදල් උපයන විටදී ය.

‘‘මාගේ ප්‍රතිපත්ති මා විසින් ම ඛේදනීය ලෙස පාවා දෙමින් මම ඒ ආරාධනාව භාරගතිමි. බොහෝ දිලිඳු දෙමාපියන්ගේ කඳුළු හා දහදිය සෙමෙන් සෙමන් මාගේ සාක්කු තුළට ද රිංගන්නට පටන් ගත්තේ මටත් නොදැනුවත්ව ම ය.’’
පිටුව 75

වෛද්‍ය විභාගය සමත් වූ තේමිය අභිබවා ගමේ පාසලේ ඉගෙනගෙන, අධ්‍යාපනය අතරමගදී නතර කළ, එහෙත් සමාජ ඥානයෙන් පෝෂිත වූ චංචලා දේවි තේමියට අභියෝග කරන්නේ, තේමියට යථාර්ථය වටහා දෙන්නේ දැන උගත්, බුද්ධිමත් තරුණියක ලෙසිනි.

‘‘සර්ට එපා වෙලා දමල ගහල ආපු දොස්තර කම මේ මිනිස්සු ඈවරයි... දෑවරයි.. කිය කිය වෙන්දේසි කරනව... සර් ව විකුණ විකුණ දැන් ඉතින් ටියුෂන් කඩකාරයො සල්ලි හම්බ කරන්ඩ නේද මේ හදන්නෙ? ... සර් මේවට කැමති වුණු එක තමයි අදහන්ඩ බැරි පුදුමෙ...’’
පිටුව 76

මෙම අවස්ථාවේ තේමිය පත්වන අසීරුතාව කතුවරිය වචනවලට පෙරළන ආකාරය දෙස අවධානය යොමු කරමු.

‘‘චංචලා කතා කළා නොව කන් බිහිරි කරවන මහා හඬකින් මා අබියස කෑගැසුවා යැයි මට සිතිණි. ඇගේ ඒ කට හඬ අබියස මා ගුළි වී, ඇඹරී යන්නාක් මෙන් මට දැනිණි. මා කරා පියවි සිහිය එළඹෙන විට මා දෙස පුදුමයෙන් බලා සිටියේ චංචලා නොව ජිනපාල ය. කටුක සත්‍යය පොදියක් කොට මාගේ දෙපාමුල තැබූ චංචලා එතැනින් පලා ගොස් සිටියා ය.’’
පිටුව එම

සැකයෙන් ලද පරාජය

සමස්ත කෘතිය පුරා ම තේමිය මෙබඳු මායාවන්වල පැටලී සිටින්නෙකි; දැන දැනම පැටලෙන්නෙකි; වාසිය පතා පැටලෙන්නෙකි; සැකය නිසා පැටලෙන්නෙකි. එහි කූටප්‍රාප්තිය එලඹෙන්නේ තේමිය නොමැති මොහොතක චංචලා රාත්‍රි දුහුළු ඇඳමකින් සැරසී එඩ්වින්ගේ කාමරයට ගොස් නොසිතූ මොහොතක තේමිය පැමිණි හෙයින් ආපසු ඔවුන්ගේ කාමරයට පැමිණි පසු ඇතිවන සිද්ධියෙනි.

එහි දී කතුවරිය සිය ලේඛන කුසලතාව මැනවින් භාවිත කොට ගනිමින් චංචලා කෙරෙහි පාඨකයාගේ සිතේ වුව ද ඇති කරවන්නේ කුහුලකි; අප්‍රසන්නතාවකි. තම සැමියා නිවසේ නැති මොහොතේ: රාත්‍රියක, සිය නග්න සිරුර විවනිවිද පෙනෙන රාත්‍රි දුහුල් ඇඳුමකින් සැරසී, සල්ලාලයකු ලෙස පරසිදු සිය සැමියාගේ පියාගේ කාමරයට යාම, තේමිය පැමිණ බව දැනගත් වහාම යළි ඔවුන්ගේ කාමරයට පැමිණීම, එය වරදක් යැයි සැමියා පවසද්දී සැමියා විහිළුවකට ලක්වෙන ආකාරයෙන් හැසිරීම යනාදි සියලු කරුණු ග්‍රහණය කරගන්නා සම්මත සමාජ බැම්මෙන් බැඳි සිටින පාඨකයා ද චංචලා කෙරෙහි සැක සහිත සිතුවිලි පහල කරගැනීම අරුමයක් නොවේ.

එහෙත් චංචලා එසේ සිය මාමණ්ඩියගේ කාමරයට යන්නේ සිය නැන්දම්මා සමග බවත්, ඒ මොහොතේ මාමණ්ඩිය එම කාමරයේ නොමැති බවත් තේමිය දැනගන්නා විට සියල්ල සිදු වී හමාර ය; තේමිය සිහ හැඟීම් සියල්ල මුදා හැර හමාර ය; ඔහුට සිය මුවින් පිට කළ කිසිඳු වචනයක් ආපසු ඇදගැනීමට නොහැකිය; ඒ මොහෙතේ සිදු වූ ශාරිරික වෙනස්කම් කිසිවක් යළි සකසා ගැනීමට නොහැකි ය. තේමියට මතු නොව පාඨකයා ද ඊට සුළු මොහොතකට පෙර චංචලා පිළිබඳ දැරූ සිතුවිලි සියල්ල ඝනීභුත වන්නේ ය; පාඨකයා ද අතරමං වන්නේ ය; ලජ්ජාවට පත්වන්නේ ය.

175 වන පිටුවේ සිට 180 වන පිටුව දක්වා මෙම සිදුවීම දිගහැරේ. එම කාල සීමාව තේමියගේ පරාජිතම කාල සිමාව ලෙස සඳහන් කළ ද එය වරදක් නෙවේ යැයි හැඟුනෙමි. එහෙත් ඔහු නොවේ මතු දිනකවත් තම මන:කල්පිත අදහස්වලින් දුරස් වන්නේ; ඔහු නොවේ සිය සැක සංකා දුරු කරගන්නේ.

කායික තෘප්තිය අභිභවු මානසික තෘප්තිය

නිසි අධ්‍යාපනයක් නොලද, එහෙත් අත්දැකිම්වලින් සිය ජිවිතය ජයගන්නා චංචලා දේවිය, මුදල් පසුපස පමණක් නොව කාම සම්පත්තිය පසුපස හඹා ගිය එඩ්වින් ඔවුනොවුන්ගේ මානසික සහනය, සොයා ගිය බව පසක්වන්නේ එඩ්වින්ගේ මරණ මංචකයේ ය. එඩ්වින් ඊට පෙර දිනක එය මෙසේ විදාරණය කරයි.

‘‘චංචලා හොඳට මතක තියාගන්න... මිනිස්සුන්ට එක එක වෙලාවට ආවේග එනව..... මිනිහෙකුට හැම තිස්සෙම ගෑනියෙක්ගෙ ඇඟේ පහස විතරක් නෙමෙයි ඕනැ කරන්නෙ... ඒව මං අහුරුපිටින් විඳපු මිනිහෙක්.... ඒව කලකට පස්සෙ එපා වෙනව.... මිනිහෙක් වියපත් වෙනකොට ඕනෑ වෙන්නෙ තමන්ගෙ හිතට කතා කරන ගෑනියෙක් මිසක් අපි ඉස්සරහ නිරුවතින් දඟලන ගෑනු ශරීරයක් නෙමෙයි...’’
පිටුව 229

එමෙන් ම කිසිවකු තමා අගය නොකළ මොහොතේ එඩ්වින් විසින් චංචලා ගේ දක්ෂතා හැඳින, එය අගය කරමින් ඇය නිසි තැනට ඔසවා තැබීම පිළිබඳ ඇගේ ඇගයීම චංචලා මෙසේ ඉදිරිපත් කරයි.

‘‘... එහෙත් මා ගේ මුළු ජිවිත කාලය තුළ ම මේ මහ පොළොව මත මා වැදගත් කොට සැලකූ, මා විශ්වාස කළ, මාගේ හැකියාවන් උලුප්පා මතුකර ගත් එක ම ප්‍රාණියා එඩ්වින් ලොකු ලියනආරච්චි නොවන්නේ ද? ...’’
පිටුව 262

අගය කළ යුත්තා නොහැඳින කටයුතු කිරිමේ ඵල විපාකය, සැකය නමැති විෂබීජය සිතේ තැන්පත් කළ පුද්ගලයකුගේ ජීවිත පැවැත්ම, තමා නිවැරදි නම් පවුලේ සාමාජක සාමාජිකාවන්ගෙන් හෝ බාහිර සමාජයෙන් එල්ලවන හිරිහැර බාධක ඉවසා සිටීමේ ගුණය සහ ඉන් ලබන ජයග්‍රහණය සහ කිසිවකු නොදැනුවත්කමකින් හෝ කළ වැරැද්දක් හේතුවෙන් මුළු ජීවිත කාලයම පසුතැවිලි වීම ආදී මිනිස් ජීවිත හා සබැඳි විවිධ මානයන් මෙම කෘතිය තුළින් කදිමට විශද කොට ඇත.

කතුවරිගේ ඉක්මන්කම නිසාදෝ සිදු වු වැරදීමක් ද මේ මොහොතේ සිහිපත් කරන්නේ ඉදිරි නිර්මාණවල දී එය නිවැරදි කරගනීවි යන විශ්වාසය පෙරදැරි කරගනිමිනි.

කෘතියේ 269 වන පිටුවේ 8 වන ඡේදයේ මෙබඳු දෙබසක් යෙදේ.

‘‘භානුමතීට මාස්පතා දුන්නෙ ප්‍රින්ටින් ප්‍රෙස් එකෙයි පොත් සාප්පුවෙයි ආදායම නේද? ...’’

යම් කිසි ආයතනයක ආදායම කිසිවකුට නොගෙවන අතර ගෙවන්නේ නම් ඒ ලාබය පමණි. මන්ද ආදායම වෙනත් පුද්ගලයකුට ලබා දුන්නේ නම් අදාළ ආයතනය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වනු ඇත. වෙළෙඳාමේ දි එදිනෙදා පරිභෝජනයට ගන්නේ ලාබය මිස ආදායම නොවේ. ඇතැම් විට මෙය චංචලා දේවිය ගේ නොදැනුවත්කම මත පවසන අදහසක් ද යන්න පැහැදිලි නැත.

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

-lankadaily-

Face Book Setup 01

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News