lan englan tam

පුවත්

උද්දික මානවක වගේ මම රටකින් එහා ඉගිලෙන්නට නොසිතමි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නළුවකු වූ උද්දික ප්‍රේමරත්න පසුගියදා තමන් හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හදිසියේ ඉල්ලා අස් විය.

එසේම එයට හේතුව ලෙස ඔහු විදේශගත වීමට නියමිත බව විවිධ ආරංචි කෙරෙන් පැවසේ. මේ පිළිබඳව සාහිත්‍යධරයකු සහ ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තකයෙකු වන චූලානන්ද සමරනායක පළ කළ ෆේස්බුක් සටහනකි මේ.

 
"උද්දික ප්‍රේමරත්න මානවක තෙමේ රාජ සභාවෙන් ඉල්ලා අස්වී එයින්ද නොනැවතී රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ ගීතයටද පිටුපා කැනඩාවේ පදිංචියට යන බවට එකේක පුවත් අසන්නට ලැබෙමින් තිබේ. මෙසේ සමුගැනීමට හේතුව කැමරාව ඉස්සරහා දුටුගැමුණුට ඇඳීම, අශ්වයා පිට යාම හා කඩුව ලෙලවීමට වඩා හැබෑ ජීවිතය බරපතල බව අප මානවකට තේරීයාමද නැතිනම් පරදේසයක මෙව්වා එකක් ලබාගැනීමේ මෙව්වා එකක්දැයි දන්නේ මානවකම පමනක් බව කිව යුතුය. කොයික කොහොම වුනත් දුටු ගැමුනුලාට අඳිනා අයට අවසානය උදාවෙන්නේ තමන් දිවි හිමියෙන් රකින්නේ යයි කැමරාවන් ඉදිරිපිට දිවුරන රට අතැර යාමට වීම නම් මහම මෙව්වා එකකි. ඒ ගැන හිතනා විට අපේද මෙවුවා එක මෙවුවා වී යන්නේය.
 
අපේ රටේ දැන් පවත්නා තත්වය වන්නේ රටෙහි ඉන්නට ඇති හේතු සහ රටට ටටා කියන්නට ඇති හේතු ඉදිරිපත් කිරීම හරියට ඉස්කෝලෙක විවාදයක් වාගේ වෙලා තිබීමය. වැඩේ කියන්නේ රටේ ඉන්නට හේතු ඉදිරිපත් කරන්නන්ට වඩා රට හැර යන්නට හේතු ඉදිරිපත් කරන කණ්ඩායම ඉදිරියෙන් සිටීමය.
 
බොහෝ අය මගෙන්ද ඇයි ඉන්නේ ඇයිද නොයන්නේ කියා අසනවාය. යන්ට සිටි බොහෝ අය ඉන්ටසිටිවල නැග තානාපති කාර්යාල හොය හොයා යද්දී මා නං ඉන්නේ ඉතිරි කාලයත් මේ කොදෙවුවටම වී ඉන්නවා කියනා මතයේය. ඒත් එසේ ඉන්නට මං හදා ගන්නා හේතු අනෙක් දේසප්පෙරේමීං ගේ හේතු වලට වෙනස්ය. මේක පුදුම දේසයක් සතුටු සිනා ගලන දූපතක් වාගේ කතා මට අදාල නැත. මට අදාල බරපතලම හේතුව කුමක්දැයි අසනා බවතුන්ට සහ බවලතුන්ට කියන්නට මට ඇති හේතුව නම් මෙයය.
 
මං මොන විදිහටවත් රට හැරදා නොයන්නට තීරණය කළ පරදානම හේතුවක් වන්නේ අපේ කිරිබත්ගොඩ අඟුලාන බස් සේවාවෙන් අපට දෙන ආතල් එකය. දැනට අවුරුදු විසි හතකට කිට්ටු කාලයක් මේ අබිමානවත් බස් සේවාවේ සේවය ලබා කුල්මත්ව සිහිසුන්ව කුල්ල කුජීතව ඉන්නා මට වෙන මොන රටකට ගියත් මේ වාගේ සුපිරි කිරි ටොයවි බස් සේවයක් ලැබෙන්නේ නැති බව මා දන්නෙමු. ඒ හින්දා මං කීයටවත් මේ ආතල් එක අහිමි කර නොගන්නෙමු.
 
අඟුලාන කිරිබත්ගොඩ බස් සේවය කියන්නේම කිරිබත් මංගල්ලයකට ගැලපෙන සේවයකි. ඒ සේවය මගියාට ලබාදෙන පරදානම පන්නරය වන්නේ ඉවසීම පුරුදු කිරීමය. නොවේ එවන් ඉවසීමක් ලොවේ කියා ඒ සේවාවේ පුහුනුවට අනුගත වන මගියා කෙතරම් දුගියකු වුවද ඉවසා සිටින්නේ නොනැවතී හරකන් දියවන්නාවට බස්සන තරමේ ඉවසීමක්ද ලබන්නේමය.
 
මේ බස් සේවාව මනරම්ය. එහි සේවය කරනා රිය පල්ලා මෙන්ම ටිකට් පල්ලාද අම්මපල්ලා මරේ මරුය. අඟුලානෙන් පටන් ගන්නා බස්සෙක දිගටම යන්නේ තමන් වීදුරු නැතිනම් ගැබ්බර මවුන් පරවාහනය කරන්නේ යයි සිතාගෙන ඒ තරමටම පරිස්සමටය. ඒ නිසා කැමති නං මගියාට බස්සෙකේ යන ගමන් තේ කෝප්පයක් ඇඟේ හලා නොගෙන වුනත් බොන්නට පුළුවන්ය. සෑම හොල්ට් දෙක තුනකට පාරක් කෙම් බිමක් තිබෙන්නේය. රිය පල්ලා නොවැරදීම ඒ සෑම කෙම් බිමකම විවේකය පිණිස බසය හිටවන්නේය. බස් හිටවනවා කියා අපේ සමහරු කියනා කතාවේ ඇත්ත වටහා ගන්නට මේ බස් එකකම යා යුතුය.
 
මෙහෙම බස් එක හොල්ටිං පෙලේස් එකක නතර කළ ගමන් මාර කෙලියක් වන්නේය. එක වරම බසයේ ගියර් පොල්ල අතුරුදන්ව යන්නේය. එවිට රිය පල්ලා ගියරය හොයන්නට පටන් ගනියි. මන්ද යත් ගියරය නැතුව යන්නටබැරි හන්දාය. අතගාලා මිරිකාලා අන්තිමේ ගියර් පොල්ල හොයා ගන්නකොට කල්ච් පැඩලය අතුරුදන්ය. ඊළඟට රිය පල්ලා ඒක හොයන්නට ගනියි. ඒක හමුවෙන විට බෙරේක් පැඩලය නැත. ඒක හොයාගන්නා විට ඇක්සලේටරය නැත. ඉතිං මේ ඔක්කොම හොයාගෙන බසය එකලසක් කරගන්නට විනාඩි දහයක් විතර යන එක සාධාරණය.
 
ඒ අතරේ රිය පල්ලාට වැඩ ගොඩකි. බස් එක වෙනුවට දැන් තිබෙන බොහෝ යකඩ ගොඩවල ඇත්තෙ පන්සලකි. දේව සබාවකි. ඒ නිසා රිය පල්ලා බස්සෙකේ තිබෙනා බෝ ගස් වලට මල් වට්ටි වලට වතුර දමන එක, වතුර මාරු කරන එක වාගේ අනේක ජාති සංසාරං කල යුත්තේය. ඒ අතරේ රිය පල්ලා රේඩාර් පාලන මැදිරියද නඩත්තු කල යුත්තේය. මචං ඉස්සරහ කලුවා යනවා අතන කොස්සා ඉන්නවා. එහා හොල්ට් එකේ සීටීබියා ඉන්නවා, අතන ටිකට් චෙකරයා ආදී වසයෙන් ඩිරෙස්සං දිය යුත්තේය. ඒ මදිවාට සෙටප් එක ටියුං කිරිල්ලද උගේ කර පිටය. මේ ජරමර මැද විටක් දෙකක් කන්නටද අමතක නොකල යුතුය.
 
මේ විදිහට ඊළඟ බස්සෙක පිටිපස්සෙන් තියෙනා හොල්ට් එකට මතු වෙනතුරුම රියපල්ලාට කරන්නට බොහෝ වැඩ තිබේ. මෙවන් වැඩ කන්දරාවක් කරනා අතරේ මේකා බස්සෙක එලෝන එකට අපි කීයක් දුන්නත් මදිය. අනෙක් අතින් ටිකට් පල්ලාටද වැඩ අදිකය. ටිකට් කඩන එකට අමතරව රිය පල්ලාට විට ඒදීම, පාරේ ඉන්නා අනෙක් බස්කාරයන් හා සංවාද සාකච්චා පැවැත්වීම කාකි කෝට්වලට තේ වතුර බොන්නට සම්මාදම් දී ආදී වැඩ ඇත්තේ ඔහුටය. ඒ අතරේ සද්ද දමනා නොහික්මුනු මගීන්ට සුද්ද සිංහල පාඩම් කියා දෙන්නට පැවරී ඇත්තේ එයාටමය.
ඉතින් මේ බස්සෙකේ යන මගියාට ලැබෙනා පරයෝජන බොහොමයකි. වේගයෙන්ම සංවර්දනය වෙන රටක ඉන්නට ලැබීමත්. කරන්නට වැඩක් නැතුව නිකංම ගෝස්තරය ලැබෙන යුගයක් නිර්මානය වී තිබීමත් නිසා මගියාට බස්සෙකේ නිවාඩු පාඩුවේ යන එක කරදරයක් නොවේ.
ඔන්න බස්සෙක ටොරිංටන් චතුරස්සරේ හිටෙවුවා කියා හිතමු. මගියාට මේ ලැබෙනා විවේක කාලයෙන් කල හැකි වැඩ බොහෝය. කැමති නං මගියාට රූපවාහිණියේ වැඩ සටහනකට සහබාගි වෙන්නට, ගුවන් විදුලියේ කසන්නන්ගේ ඉල්ලීම් වලට යන්නට පුලුවන්ය. එහෙම  නැත්නං ටොරිංටන් හංදියේ තේ කඩෙන් වඩයක් කා තේකක් බී බසයට ගොඩවන්නටද පුලුවන.
 
ඩී එස් එක ගාව බසය හිටෙවුවාම මගියාට ඔන්නං ජයරත්න එකට බානි රේමන්ඩ් එකට ගොඩවී මලගිය පරාණකාරයෙකුට අවසන් ගවුරව දක්වන්නට හැකිය. කැමති නං තමන් හට අවසන් ගවුරව ලබාගන්නට වුනත් එතන බැරි නැත.
බසය බොරැල්ලට ආ විට කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ කිය කියා උපදංසෙන් බත් වෙලක් කන්නට ඇහැකිය. එකවුන්ට් එකේ සල්ලි තියෙනවා නං මහජන බැංකුවට ගොඩවී ඒවා ගන්නට හැකිය. නැතිනම් ලෝං එකක්ට ඇප්ලිකේසමක් දී ඒ වැඩය පිලිවෙලක් කරගත හැකිය. ඒත් මදි නං නො ලිමිට්ටෙකට ගොස් රෙද්දක් ඇඳ බලන්නටද හැකිය.
 
මේ අල්ල පනල්ලේ හෙමිහිට ලතාවට තාලෙට යන බස්සෙකේ ඉන්නා ගමන් මගියාට නිවී සැනසිල්ලේ අවට සිරි නරඹන්නට පුලුවන්ය. පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල නෙක විසිතුරු බඩු විකුනන ආකාරය, තාප්ප වල කුස්තූර යටින් බෝ පැල ඇදෙන ආකාරය, ආදී වසයෙන් මේ ගමනේදි බලාගන්නට ලැබෙනා දේවල් බොහෝමය. 
 
ආයෙම බස්සෙක නවත්තන්නේ නෝනා වාට්ටුව ළඟය. එතනදි ලෙඩුන් බැලීම, හිරකරුවන් බැලීම වගේ දේවල්වලට ඉඩ තියෙනවාය. මේ විදිහට මගියා නිර්මානසීලියෙක් නං එයාට කිරිබත්ගොඩට යනකම්ම කරන්නට වැඩ එමටය. රිය පල්ලා මේ කිසිම දේකට බාදා කරන්නේ නැත. දෙමටගොඩ කෝච්චි බලන එකත් මේ ගමනේම කොටසක් බව හිතේ තියාගත්තොත් හොඳය. 
 
මේ මනරං බස්සෙකට බණ්ඩක්කා පැලයක් මිරිස් පැලයක් වගේ පැලයක් අරගෙන නගිනා මගියාට බහින තැනට එනවිට පැලය පීදි කරල් ඇදී තිබෙනවා දකින්නට ලැබුනත් පුදුම වෙන්නට දෙයක් නැත. ඔහු කල යුත්තේ කරල් කපාගෙනම බහිනා එකය. මොකද කියනවා නං ඒ තරමටම මේ බස් සේවය සස්සිරීක හින්දාය. 
 
පුරා දසක ගානක් බංබලපිටියේ ඉඳන් ටොරිංටන් කරා ආ මට දැන් සතියකට වතාවක් කැලණිය විස්ස විජ්ජාලෙට යන්න යෙදී තියෙන හින්දා කලිංටත් වඩා ආතල් එකක් ගන්නට ඉඩ ලැබී තිබෙනවාය. දැං මගේ බලාපොරොත්තුව බස්සෙක තොරන හන්දිය වගේ තැනක හිටවන වෙලාවක කැළනියේ නයා බලන්නට යන්නටය. තවමත් එහෙම නොයා ඉන්නේ විසාල සද්දයක් එක්ක ආපු ගඳ අමතක කරන්නට බැරි හින්දාය.
 
මේ ගමනේ විවේක පාඩුවේ යන අල්ල පනල්ලේ ලේකකයෙකුට නං නවකතාවක් කෙටිකතා සංගරහයක් කවි එකතුවක් තිර පිටපතක් වුනත් ලියන්නට බැරි නැත. ගුරුහණියකට නං තමන්ගේ බෝංචි ටිකේ නූල් අරින එක, ලූණු සුද්ද කරන එක වගේ පොරෝජනවත් වැඩ කන්දක් කරගත හැකිය. රෙදි ටික තෙමාගෙන එනවා නං රිය පල්ලාගේ හා ටිකට් පල්ලාගේ පිටේ ගසා අපුල්ලන්නට වුනත් බැරි නැත. 
 මං මේ ලලිවුවේ මේ වටිනා බස් සේවයේ තිබෙනා අමතර පරයෝජන වලින් අංසු මාත්තරයක් පමණය. මටත් වඩා පරයෝජන ගෙන ඇති උදවිය මේක පෝසනය කරන්නට ඕනෑය. එහෙම කරලා මදි නං දඩි බිඩිස්ටත් කියන්ට හොඳය. 
 
මම නං ආයෙමත් කියන්නේ උද්දික මානවක වගේ මම  කවදාවත් රටකින් එහා ඉගිලී තනිවෙන්නට නොහිතන බවය. මේ වගේ ආතල්ලන්තයක් තියෙද්දී වෙන ස්වර්ගයක් කුමටද සොබනියෙ කියා අසන්නට මට අයිතියක් තියෙනවාය. 
ඉතිං මේක කියවන උදවිය තවත් මේ වගේ මනරං බස් සේවාවල් තියෙනවාද කියා කියන්නේ නම් අපි කුරුතඥ වෙනවාය."
 
Back to top
Go to bottom

Popular News