lan englan tam

පුවත්

යළි අවදි වුණු රොබින් හුඩ් මතකයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'රොබින් හුඩ්' ජනප්‍රිය ඉංග්‍රීසි කතා මාලාව සම්බන්ධයෙන් මෑතකදී බොහෝ දෙනෙකු කතා බහ කිරීම ඇරඹුවේ එම නාට්‍ය මාලාවට වසර 40ක් පිරීම නිමිත්තෙනි. වෛද්‍ය නුවන් තොටවත්ත මේ පිළිබඳව දැක්වූ අදහස මීට පෙර 'මිරර් ආට්ස්'හි පළ කෙරුණු අතර ඒ පිළිබඳව තවත් අදහසක් මෙසේ පළ කරමු.

ජාතික රූපවාහිනියේ විකාශය වුණු "රොබින් ඔෆ් ෂර්වුඩ්" හෙවත් "ෂර්වුඩයේ රොබින්", එහෙමත් නැත්නම් 80/90 දශකවල ළමයි වෙලා හිටපු අපි හැමෝම "රොබින් හුඩ්" කියන පොදු නමින් වැළඳ ගත්තු කතා මාලාවට අවුරුදු 40ක් පිරීම නිමිති කර ගෙන Nuwan Thotawaththa අයියා ලියලා තිබුණු සටහන දැක්කම මතක පේළියක් හිත ඇතුළෙන් උඩට ඇවිත් ගලා ගෙන ගියා. රොබින්ව මම මුලින්ම දකින්නේ 1993 වගේ කාලයක දි. ඒ මම මොන්ටිසෝරි ගිය අවුරුද්ද. අම්මාට මල්ලි ලැබෙන්න හිටපු අවුරුද්ද.
ඒ වෙද්දී මට අකුරු කියවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අකුරක් දෙකක් පුළුවන් වුන මුල් කාලයේ දී වුනත්, තිරයේ වැටෙන වේගයෙන් සිංහල උප සිරැසි කියවන්න මට පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඉතින් රොබින් හුඩ් සහ මං අතර සම්බන්ධය ගොඩ නැගුවේ අම්මා විසින්. මම කට ඇර ගෙන රොබින් හුඩ් බලද්දී එයා මගෙ ළඟින් ඉඳ ගෙන උප සිරැසි කියවනවා මට ඇහෙන්න. එහෙම තමයි මුලින්ම රොබින් හුඩ් සහ සෙසු චරිත සමග මං ඉමෝෂනලි බැඳුණේ. උප සිරැසි කියවද්දී, මැරියන්ගේ සහ රොබින්ගේ ආදර වදන් වගේ දේවල් ළමා මට ගැළපෙන විදිහට සුදුසු පරිදි සංස්කරණයන්ට භාජනය කරලා මට ඇහෙන්න කිව්ව බව අම්මා පසුකාලීන ව මට කියලා තියෙනවා.
ඒ යුගයේ ළමයි හැමෝම කළා වගේ, මොන්ටිසෝරියේ දී සහ පසු කාලීන ව ඉස්කෝලයේ දී රොබින් හුඩ්ගෙ කල්ලිය ප්රතිනිර්මාණය කරලා රඟ දැක්වීම් කරන්න මමත් දායක වුනා. හැමෝගේම ලොකු ම ආශාව වුනේ රොබින් වෙන්න. ඒත් හැමෝටම රොබින් වෙන්න බෑනේ. කවුරු හරි රොබින් බවට පත් වුනාට පස්සෙ ඊළඟ තරගය වුනේ "සුදු රොබින්" බවට පත් වීමට. සීරීස් එකේ මුලින් ම එන අඳුරු පැහැ කොණ්ඩය හිමි රොබින් (රොබින් ඔෆ් ලොක්ස්ලි) "කළු රොබින්" විදිහටත්, කළු රොබින් මිය ගියාට පස්සේ එන සුදු පැහැ කොණ්ඩය හිමි රොබින් (රොබින් ඔෆ් හන්ටින්ඩන්) "සුදු රොබින්" විදිහටත් හඳුන්වන්න අපි පුරුදු වෙලා හිටියා.
රොබින්ලා දෙන්නා විදිහට දෙන්නෙක් පත් වුනාට පස්සෙ ඊළඟ තරගය වුනේ "නසියර්" වෙන්නේ කවුද කියන එක. රොබින්ගේ කල්ලියේ සාමාජිකයන් අතරින් අපි හැමෝම නසියර්ට ගොඩක් ආසා කළා. නසියර් කියන්නේ වැඩි කතා නැති චරිතයක්. මුලු සීරීස් එකේම නසියර් කතා කරනවා ඇත්තේ වාක්ය කිහිපයක් විතරයි. ඒත් මං හිතන්නේ කඩු දෙකක් පාවිච්චි කිරීම සහ ඔහුගේ ඇඳුමේ, පෙනුමේ තිබුණු ආකර්ෂණීය බව අපි නසියර්ට ඒ තරම් ආශා වීමට හේතු වෙන්න ඇති. "හර්න්"ටත් මම ගොඩක් ආසා කළා. මට මතකයි මම ඒ කාලයේ අත් ඇඟිලි යොදා ගෙන හෙවණැල්ලෙන් හර්න්ගේ මතු වීම ප්රතිනිර්මාණය කරන හැටි. අං තට්ටුවක් සහිත හර්න් අභිමානවත්ව බිත්තියෙන් මතු වුනා.
රොබින් හුඩ් සහ ඔහුගේ කල්ලියේ ජයග්රහණවල දී උපරිමයෙන් සතුටු වුනු අපි, සීරීස් එකේ සමහර තැන්වල දී උපරිමයෙන් දුක් වුණා. ඒ දුක් වුන අවස්ථා මගේ සහ සමකාලීන ළමා හිත් වලට තියුණු සහ මූසල විදිහට, කඳුළු ගලන තරම් වේදනා දුන්න බව අදටත් තදින්ම මතක් වෙනවා. ඇත්තටම, අද ඒ නොස්ටැල්ජියානු සමහර වේදනා වෙනස් විදිහෙ තියුණු කමකින් දැනෙනවා.
ගොඩක් අයට වේදනාබරම අවස්ථාව වුනේ "කළු රොබින්" මිය යන සිද්ධිය. මටත් එහෙමයි! ඒත්, ඒ වගේම තියුණු විදිහට මට වේදනා දැනුණු මොහොතක් තමයි, "සුදු රොබින්" මිය ගියාය කියන සිතුවිල්ල මත දෙවියන්ට සමීපව ජීවත් වෙන්න ගිය මැරියන් යළි රොබින් එක්ක ඒම ප්රතික්ෂේප කිරීමේ අවස්ථාව. "මට ඔබේ හදවත ඇතුළේ ඉන්න දෙන්න.. ඒත් මට යන්න දෙන්න" කියලා මැරියන් රොබින්ට කියන අවස්ථාව. "කිසිවක් අමතක නෑ" කියලා මැරියන් කියද්දි, "කිසි දා කිසිවක් අමතක වන්නේ නෑ" කියලා රොබින් අවසාන වරට උත්තර දෙන අවස්ථාව. මැරියන් නැතිව තනියම ආපු රොබින් අනික් අය සමග ගිනි ඊතල වතුරට විදලා මැරියන්ගේ වෙන් වීම සමරන අවස්ථාව.
ඒ වගේම "Clannad' සංගීත කණ්ඩායම නිර්මාණය කරපු ඒ මායාකාරී අයර්ලන්තමය සංගීතය, "රොබින් ඔෆ් ෂර්වුඩ්" සීරීස් එක මෙච්චරම අපේ හිත් වල ඇලවෙන්න ලොකු හේතුවක් වුනා කියලා මම විශ්වාස කරනවා. අදටත් රොබින් හුඩ් කියද්දී හිත ඇතුලෙ වාදනය වෙන්නේ ඒ සවුන්ඩ් ට්රැක්ස්. කලින් කියපු වේදනාබර සිද්ධි එක්ක ඒ සංගීතය පුදුම විදිහට බැඳිලා තියෙනවා. ඒ නිසා අදටත් ඒ සංගීතය ඇහෙද්දි ලාවට හුස්ම හිරවෙන අඳුරු මූඩ් එකක් දැනෙනවා. රොබින් හුඩ් හා බැඳුණු මගේ ළමා මතක තව ඕන තරම් තියෙනවා. ඒත් එක විනෝදජනක මතකයක් අන්තිමට කියන්නම්.
මම මුලිනුත් කිව්වා වගේ මල්ලි ලැබෙන්න ඉද්දී තමයි අම්මා මට රොබින් හුඩ් උප සිරැසි කියෙව්වේ. ඉතින් ඒ කාලයේ මම ගෙදර සෙල්ලම් කළේ තනියම. නැමෙන කෝටු කෑල්ලක දෙපැත්තෙ ඉලාස්ටික් පටියක් බැඳ ගෙන දුන්නක් හදා ගෙන තනියම රොබින් බවට පත් වුන මට, සටන් කරන්න හෝ වීරකම් කරන්න හෝ තවත් කෙනෙක් හිටියේ නෑ. ඉතින් අම්මාගේ බඩ ඇතුළේ හිටපු කෙනා ආවාට පස්සේ එයාව රොබින් හුඩ් රඟ දැක්වීම් වලට යොදා ගැනීම තමයි මගේ එකම අරමුණ වෙලා තිබුණේ.
ඔය වගේ මානසිකත්වයක ඉද්දී දවසක් අම්මයි තාත්තයි මාවත් අරගෙන අම්මලාගේ මහගෙදර ගියා. එහේ ගිහිල්ලාත් කෝටු කෑල්ලක් "ඇල්බියන්" අසිපත බවට පත් කර ගෙන ලොකු මිෂන් එකක තමයි මම හිටියේ. ඔය වෙලාවේ අපේ ආච්චිගෙ මිතුරියක් වුන අසල්වැසි ආච්චි කෙනෙක් මම සෙල්ලම් කරන දිහා බලා ගෙන හිටියා. එන්න නියමිත අලුත් සාමාජිකයා හෝ සාමාජිකාව ගැන මගේ අදහස දැන ගන්න ඒ ආච්චි මගෙන් මොනවදෝ ඇහුවා. මම උත්තර දුන්නා මෙහෙම. "මල්ලි කෙනෙක් හම්බ වුනොත් ගිස්බන්; නංගී කෙනෙක් හම්බ වුනොත් මැරියන්".
ඒක අහපු ගමන් අර ආච්චි "අපෙ අප්පෝ.. ඇයි එහෙම කියන්නෙ පුතේ? නංගී කෙනෙකුට කැමති නැද්ද?" ගගා ලෝක විනාසේ ආවා වගේ කම්පා වෙන්න ගත්තා. මට ඒ රියැක්ෂන් එක තේරුණේ නෑ. අම්මා ක්ෂණිකව මැදිහත් වෙලා නිවැරදි කළා, "නෑ නෑ ආච්චි, නංගී කෙනෙක් හම්බ වුනොත් මැරියං කියලා නෙවෙයි කිව්වේ, මැරියන් කියන්නේ මෙයාලා බලන කතාවක ඉන්න චරිතයක්" කියලා. පස්සෙ කාලයක තමයි මට තේරුණේ "නංගී කෙනෙක් හම්බ වුනොත් මැරියං" කියන එක ඒ ආච්චිගෙ ඔලුව ඇතුළෙ එක පාරට කොහොම ප්රොසෙස් වෙන්න ඇති ද කියලා.

 

සහන් පද්මසංඛ පීරිස්
2024.04.30
Back to top
Go to bottom

Popular News