lan englan tam

පුවත්

මගේ රංගන ජීවිතයම සුන්දර මතක රැසක එකතුවක්…

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

– මිහිඳු සංස්කෘතික පදනම සිදු කරගෙන යන

සමාජ සුබසාධන කටයුතුවලට මම පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා

– අසනීප තත්ත්වය නිසා මම මේ දවස්වල වැඩිය රංගන කටයුතු භාර ගන්නේ නැහැ
– මහජන මුදල්වලින් හදලා වසර ගණනක් මහජනතාවට නාට‍යක් නරඹන්න නොදි ජෝන් ද සිල්වා සමරු රඟහල තවමත් වහලා
– අද කාලේ නාට්‍යයක්, චිත්‍රපටයක් බැලුවත් ඒක ඉවරවෙලා නිවී සැනසිල්ලේ ගෙවල්වලට යන්න පොදු ප්‍රවාහන පහසුකම් නැහැනේ

ඔහු අපට සිටින ප්‍රතිභාපූර්ණ රංගධරයෙකි. වදන් අබිබවූ තාත්වික අභිනය සිය රංග කාර්යයේ ප්‍රාතිහාර්ය පාන්නේය. සංචරණ පුස්තකාලයක් වූ ඔහු, එහි පොතපත අප කියවනතුරු බලා නොසිට එහි පිටු පෙරළමින් ඔහු විසින්ම වදනින් වදන අප වෙත මැනවින් කියා දෙනු ලබයි. ඔහු සමඟ කතා බහ කරන මොහොතක කාලය සරසවියක පැය ගණනක දෙසුමකට සම වෙයි. ශ්‍රී ලාංකේය රංග කලා කෙත රංගනයෙන්, භාෂණයෙන්, සාහිත්‍යයෙන් පෝෂණය කළ ඔහු කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ පස් වැනි පන්තියේ සති අන්ත විවිධ ප්‍රසංගයේදී ‘කොළොම්පුරේ ශ්‍රියා…’ ගීතය ගැයීමෙන් රණතුංග ගුරුතුමියගෙන් අනාගත කලා ජීවිතයට අනාවැකි ආශිර්වාදය ලද පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයෙන් උසස් පෙළ ද ද්විතීක අධ්‍යාපනය මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් ද ලද ඔහු පොතපත කියවීම කෙරෙහි අසීමිත නැඹුරුවකින් යුතු වීම නිසා ම සෑම ක්ෂේත්‍රයක් කෙරෙහි ම පිරිපුන් පාණ්ඩිත්‍යයකින් සන්නද්ධ ව සිටින්නේය. පොතින්පතින් සමාජයෙන් උකහා ගත්තා වූ දැනුම් සම්භාරය සිය රංග කාර්යයට, තිර රචනයට, නිර්මාණ අධ්‍යක්ෂණයට, ගත්කතුවරත්වයට නිරතුරුව යොදවන ඔහු තමා සමඟ ඇසුරු කරන කතාබහ කරන අයට ද තම තම නැණ පමණින් දැනුම බෙදා දෙන්නේ අනාගත පරපුර උදෙසා යුතුකම ඉටු කරන්නාක් මෙනි. ප්‍රවීණ රංගධර, තිර රචක, නිර්මාණ අධ්‍යක්ෂ හා නිෂ්පාදක, ගත්කතුවර, කලාකීර්ති, කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මේ දිනවල පසුවන්නේ තරමක අසනීප තත්ත්වයෙනි. මේ නිසා විවේක සුවයෙන් ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් වැඩි කාලයක් ආදරණීය බිරිඳ සමඟ නිවසේ කාලය ගත කරමින් වෙහෙසකාරී කලා නිර්මාණවලින් ඈත්ව සමාජ සේවා කටයුතු සහ ඇරයුම් ලැබෙන පරිදි තෝරා බේරා ගත් දේශනවලට පමණක් දායකත්වය දෙන්නේය. සනත් අබේසේකරගේ ‘ගුත්තිල’ සිනමා නිර්මාණයේ ගුත්තිල ඇදුරුගේ දෑස් අඳ පිය චරිතයට ලැබෙන රසික ප්‍රශංසා ගුණ වැයුම් නිසා ගත රැඳුණු විඩාවන් මනසින් සුවපත් කරලන ඔහු පාසල් වේදිකාවේ ‘සුදෝ සුදු’ නාට්‍යයේ තමා සමඟ රඟපෑ පාසල් මිතුරිය ශ්‍රියා කාරියපෙරුම නැතහොත් පසු කලෙක එකී මිතුදම කුළු ගැන්වී ජීවන සහකාරිය බවට පත්ව මේ ගත කරන්නේ පනස් අටවැනි වසරයි. වැඩිමල් පුතු උදය ශෂිප්‍රිය මෙරට රැඳී සිටින අතර ශෂිණි දියණිය හා බාල පුතු උදාර අසංග විදේශගතවය. මුනුබුරු මිනිබිරියන් හත්දෙනාම විදේශයන්හි වුවත් අත්තම්මාත් සීයාත් ගැන නිරතුරුවම විමසිල්ලෙනි. ජීවිතය දෙස ආපසු හැරී බලා සැනසුම් සිතින් සැඳෑ සමය අරුත්බරව ගත කරන මේ සොඳුරු යුවළට නිදුක් නීරෝගි සුව පතමින්ම මේ කතා බහ ඇරඹුවෙමු.

“දරුවෙකුගේ ජීවිතයේ අනාගතය තීන්දු කරන්නේ පුංචි කාලේ ලැබෙන දිරි ගැන්වීම්, සුබ පැතුම්, වර්ණනා කිරීම් ආදිය නිසායි. රණතුංග ගුරුතුමියගේ අනාවැකිය මගේ අම්මා උස්හෙට්ටිගේ එලිස‍බත් පෙරේරා බොහොම අපූරුවට ගැයූ දරු නැලවිලි ගී, මගේ තාත්තා පැටිකිරිගේ එදිරිසිංහ ඇතුළු අපේ පවුලේ හැමෝම හරි මිහිරට ගැයූ ගී රාවයන් මගේ කලා රසය පෝෂණය කළා. මගේ රංගන හැකියාව හඳුනාගෙන තිබුණු මගේ අක්කා අපේ පාසලේ පස් වැනි පන්තියේ ගුරුවරයා වූ පසු කාලෙක හින්දි භාෂාව පිළිබඳ ප්‍රවීණයකු, කථිකාචාර්යවරයකු, වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ශිල්පියකු, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයකු වූ රවිලාල් විමලධර්ම මහතා වෙත මාව රැගෙන ගොස් මගේ කලා හැකියාවන්වලට පුළුවන් උදව්වක් කරන්න කියා ඉල්ලීමක් කළා. එතුමා මාව ගුවන්විදුලියේ ‘ළමා පිටිය’ට සම්බන්ධ කළා.”

වර්ෂ 1953 දී එලෙස ගුවන්විදුලියේ ළමා පිටියට සම්බන්ධ වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ 1961 වසරේදී කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මහතා වෙත හඳුන්වාදෙනු ලබන්නේ සිය වැඩිමල් සොයුරු ධර්මසිරි එදිරිසිංහ විසිනි. ඒ වනවිට නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘වෙස්සන්තර’ නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් සිටි ජේ. ඩී. ඒ. පෙරේරා එහි රටවැසියෙකුගේ චරිතයක් සතිස්චන්ද්‍රට රඟපාන්නට භාර කළේය. පසු කලෙක එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ජූජක බමුණාගේ චරිතය රඟපාන්නට ද ඔහුට අවස්ථාව උදා විය. වේදිකා නාට්‍ය හයක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සතිස්චන්ද්‍රයන් චිත්‍රපටද හයක් අධ්‍යක්ෂණය කළ අතර එයින් දෙකක් නිෂ්පාදනයද කළේය. ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, චන්ද්‍රරත්න මාපිටිගම, සිරි එදිරිසිංහ, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති, එස්. කරුණාරත්න, ධම්ම ජාගොඩ වැනි ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන්ගේ ඇසුර සතිස්චන්ද්‍රයන්ගේ රංගන ජීවිතයට ලබා දෙන ලද්දේ ඉමහත් ආලෝකයකි.

“මගේ වේදිකා රංගන ජීවිතය බොහොම සුන්දර මතකයන් පිරුණු රංගන පාසලක් මයි. බක තපස් වේදිකා නාට්‍යය මගේ පළමු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයයි. අත්තික්කා මල් පිපිලා වේදිකා නාට්‍ය මම නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේ ඉන් පසුවයි. ඒ නාට්‍යයේ පිටපත රචනා කළේත් මමයි. ඊට පස්සේ මම තලංගම ප්‍රේමදාසගේ හොටබරි යුද්දේ, සරච්චන්ද්‍ර සමරක්කොඩිගේ තහංචි, ජේ. ඒ. ඩී. පෙරේරාගේ සොක්කානෝ රජාණෝ සහ අපායේ අවුරුදු කියන නාට්‍ය හතරත් නිෂ්පාදනය කළා. වෙස්සන්තර, ශ්‍රී වික්‍රම, ඉබි කට්ට, මනරංජන වැඩ වර්ජන, චෙරි උයන, එරබදු මල් පොට්ටු පොට්ටු, අනේ මස්සිනේ, ළියතඹරා වගේ වේදිකා නාට්‍ය විස්සකට වැඩිය මම රඟපාලා තියෙනවා. එතකොට ටෙලි නාට්‍ය ගත්තාම මම රඟපෑ එක මවකගේ දරුවෝ, තාරාදේවි, පළිඟු මැණිකේ වගේ නාට්‍ය බොහෝම ජනප්‍රිය වුණා. සිනමාව ගත්තාම මම මුලින්ම රඟපෑවේ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේයි. මාතර ආරච්චි චිත්‍රපටය තමයි මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ. අරවින්ද සහ ඉන්දු, අවිඳු අඳුර, චණ්ඩි කුමාරිහාමි, ගව්වෙන් ගව්ව, කඩතිර, සිව්මංසල, සුදු හාමිනේ, සුදු පරෙවියෝ, සුර අසුර, සුසීමා, තාරාදේවි, උතුවන්කන්දේ සූර සරදියෙල් වැනි ටෙලි නාට්‍ය තිහක පමණ මම රඟපාලා තියෙනවා. මම නිෂ්පාදනය කළ ටිකිරි නිලමේ, නාමල් ගොල්ල, බෝපත් සාක්කිය, ගිරිකුළ අන්දරය, සුවඳ පද්ම, දියවඩන මළුව, මොණරවිල, සත්මහල යන නිර්මාණවල මමත් රඟපෑවා. මම මේ වනවිට පොත් විසිපහක් රචනා කර තිබෙනවා. ඒවායින් බොහෝමයක් බෞද්ධ පොත් සහ ඇතැම් පොත් මම ලිව්වේ ළමයින් උදෙසායි.”

සිය රංගන ජීවිතයේ සම්මාන රැසක් ද දිනා සිටින සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වෙත 1985 දී සහාය හොඳම නළුවා ජනාධිපති සම්මානය ද 2003 දී යූ. ඩබ්ලිව්. සුමතිපාල ගෞරව සම්මානය ද 2010 රයිගම් සම්මාන උලෙළේදී ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ද ජීවිතයට එක් වරක් පමණක් හිමි වන සරසවිය රණතිරස සම්මානය ද පිරිනැමිණි.

“මෑතකදි ‘සිහින සරුංගල්’ චිත්‍රපටයේ මම දහම් පාසල් ප්‍රධානාචාර්යගේ චරිතයක් රඟපෑවා. උපුල් වීරසිංහ සහ තාරක අධිකා‍රි යන දෙදෙනා එක්ව කළ ඒ නිර්මාණය ඉදිරියේදී තිරගත වේවි. අසනීප තත්ත්වය නිසා මම මේ දවස්වල වැඩිය රංගන කටයුතු භාර ගන්නේ නැහැ. නමුත් අපේ මිහිඳු සංස්කෘතික පදනම මඟින් සිදු කරගෙන යන සමාජ සුබසාධන කටයුතුවලට මම පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා. ‘සත්මඟ අරුණලු’ කියලා තිර පිටපතක් මම පසුගිය කොවිඩ් වසංගත විවේක කාලයේදී ලිව්වා. නමුත් ඉතින් ඒක නිෂ්පාදනය කරන්න තවම නිසි මඟක් සැලසුණේ නැහැ. මේ කාලේ නිෂ්පාදන වියදම අලෙවියෙන් පියවා ගන්න බැරි නිසා තව ටිකක් බලාගෙන ඉන්නවා.”

සිනමා ශාලා, නාට්‍ය ශාලා වැසී යාම සහ ඇතැම් වටිනා නාට්‍ය ශාලා කාලයක් තිස්සේ වසා දමා තිබීමේ ඛේදනීය තත්ත්වය පිළිබඳ ව ද සතිස්චන්ද්‍රයන් සිය අදහස් දැක්වූයේ ඉමහත් සිත් තැවුලකිනි.

“ජෝන් ද සිල්වා සමරු රඟහල සම්පූර්ණයෙන් අලුතෙන් හදලා කාලයක් තිස්සේ වහලා තියෙනවා. මහජන මුදල්වලින් හදලා වසර ගණනක් මහජනතාවට නාට්‍යයක් නරඹන්න නොදී ඉන්නවා කියන්නේ මොනතරම් සැහැසිකමක්ද. අද කාලේ නාට්‍යයක්, චිත්‍රපටයක් බැලුවත් ඒක ඉවරවෙලා නිවී සැනසිල්ලේ ගෙවල්වලට යන්න පොදු ප්‍රවාහන පහසුකම් නැහැනේ. කෝච්චි වෙලාවට නැහැ. බස් නියමිත වේලාවලට නෙවෙයි රේස් එකටනේ දුවන්නේ. තමන්ගේම කියලා වාහන නැති අයට අද චිත්‍රපටයක්, නාට්‍යයක් බලන්න බැහැනේ. වාහන තියෙන හැමෝම නාට්‍ය බලන්න එන්නේ නැහැනේ. මේවා හරිම ඛේදවාචක තමයි. මගේ පරිවර්තන නාට්‍යයක් වූ ‘බක තපස්’ නාට්‍යයේ ජර්මන් නිර්මාණය නරඹන්න මට ජර්මනි‍යේදී අවස්ථාව ලැබුණා. එහේ නාට්‍ය ශාලාවට ඇතුළු වනවිට ලබා දෙන ප්‍රවේශ පත්‍රයේ එම නාට්‍යය ආරම්භ වන වේලාවත්, අවසන් වන වේලාවත් සඳහන් වෙලා තියෙනවා. අපේ නාට්‍යවල පටන් ගන්න වේලාව තිබුණාට කවදාවත් නාට්‍යයක් නියමිත වේලාවට පටන් ගන්නෙ නැති නිසා අවසන් වන වේලාවක් ඇත්තේ නැහැ. ඉතින් මම ඒ නාට්‍ය රාත්‍රියේ නරඹලා අවසන් වෙලා නාට්‍ය ශාලාව ඉදිරිපිට තිබුණු බස් නැවතුමට ගියා. නාට්‍ය නැරඹූ තව අය එතැනට ආවා. ඒ නාට්‍යයේ සංගීතය සැපයූ වයලීන වාදකයෙකුත් වයලීනයත් අරගෙන ඒ බස් නැවතුමටම ආවා. නාට්‍යයේ රඟපෑ නළුවෙකුත් මේකප් ඉවත් කරගෙන, සාමාන්‍ය ඇඳුමින් ඒ බස් හෝල්ට් එකටම ආවා. නාට්‍ය ශාලාවට ඇතුළු වෙද්දි කෝට්, කබා, කුඩ රඳවා තබන ස්ථානයේ සිටි කාන්තාවන් දෙදෙනාත් අවසානයේදී ඒ බස් නැවතුමටම ආවා. මම යන්න බලාගෙන සිටි බස් එක ඒ පිරිස ඔක්කොම ආවාට පස්සේ තමයි බස් නැවතුමට ආවේ. ඒ බස් එකට එතනට එන්න නියමිත වේලාවක් තිබුණා. නාට්‍ය ඉවරවෙලා ශාලාවේ සිටි අන්තිම පුද්ගලයාටත් බස් නැවතුමට එන්න වෙලාව තියෙන විදිහට තමයි ඒ බස් එක එතනට ළඟා වෙන්න වේලාව සකසලා තිබුණේ. එක දෙයක් දියුණු කරන්න නම් සමස්ත පද්ධතියම නියමිත වේලාවට, නියමිත කාර්යක්ෂමතාවකින් කටයුතු කළයුතු වෙනවා. අපේ රට දියුණු කරන්න නෙවෙයි මේ වැටී තිබෙන තැනින් ගොඩ ගන්න නම් පළමුව ආරම්භ කළ යුතු වන්නේ පහළම තැන සිට ඉහළටත්, ඉහළම තැන සිට පහළටත් පළමුව නියමිත වේලාවට වැඩ කරන්න පුරුදු කරවීමයි. ඒත් එක්කම ඒ වේලාව එකින් එකට දම්වැලක පුරුක් සේ සහසම්බන්ධ වෙමින් ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමානුකූලව ගලා යාමට හැකි වන පරිදි නිසි කළමනාකරණයකට යටත් කළ යුතුයි. මිනිස්සු හිතාගෙන ඉන්නවා එයාලාට ගොඩාක් වැඩ කරන්න තියෙනවා කියලා. මිනිස්සුන්ට කරන්න තියෙන්නේ එක වැඩයි. ඒ තමයි මිනිස්සු වෙනුවෙන් වැඩ කිරීම. මිනිස්සු වෙනුවෙන් වැඩ කරන මිනිස්සු නොමිනිස්සු බවට පත් වෙනවා. යහපත් ආකල්ප ඇති කර ගන්නා කෙනෙකුට යහපත් සාරධර්ම ඇති වෙනවා. සාරධර්මවලින් පිරුණු කෙනෙකු තුළ යහපත් විනිශ්චයක් එහෙම නැත්නම් යහපත් තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති වෙනවා. සරස්වතී දේවියගේ වම් අතේ ඇති පුස්කොළ පොතෙන් බුද්ධියත්, පහත දකුණු අතෙන් අල්ලාගෙන ඉන්න වීණාවෙන් රසිකත්වයත්, දකුණු ඉහළ අතේ ගිරවාගෙන් කථිකත්වයත්, ඉහළ වම් අතේ ඇති නවගුණ වැලෙන් සීලය නැතහොත් පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බියත් ශික්ෂණය නැතහොත් යහපත් හැදියාවත් සංකේතවත් කරනවා. මඩෙන් පෝෂණය වෙලා ජලයෙන් මතුපිටට ඇවිත් හිරු එළියෙන් විකසිත වන නෙළුම් මලේ මඩවත් ජලයවත් ගෑවෙන්නෙ නැහැ. එයින් කියැවෙන්නේ පාරිශුද්ධත්වය එහෙම නැත්නම් නිකෙලෙස් බවයි. සරස්වතී දේවිය ඉන්නේ ඒ නෙළුම් මල මතයි. ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතාට අනුව ‘පුද්ගලයා නමැති පියුම සමාජය නමැති පොකුණේ විකසිත විය යුතුයි.’

මම ඒ දේ විශ්වාස කරනවා. කලාකරුවන්ට බැහැ නරක වැඩ කරන්න. කලාකරුවා කියන කෙනා සිටින්නේ මිනිසා සහ දෙවියන් අතරයි. ඔවුන් සෑම කෙනෙකුගේ ම හිත සුව පිණිස සිය කලාව හැසිරවිය යුතුයි. මිනිසා මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නේ එහෙමයි.”

තුෂාරී කළුබෝවිල(රසඳුන)

Back to top
Go to bottom

Popular News