මහලොකු සංස්කෘතියක් සාරධර්ම සමාජයක් වස විසින් තොර රටක් ගැන ජාතියක් ගොඩ නගන්න කතාකරන දේශපාලකයන් සහ විවිධ සමාජ නියෝජිතයින් සිටින රටක කලාව සංස්කෘතිය ට වස විස මුහුකිරීම, මේරට ජනතාවගේ ඉහ මොළ විකෘති කිරීම පිළිබඳ ඉතා විශාල නිහඬ තාවක් පවතිනවා. ලංකාවෙ ටෙලි විෂන් මේ රටේ කූඨ වෙළෙන්දන් අත්පත් කරගැනීමේ අනිටු ප්‍රථිපල මේ වනවිට වසර 10කට ආසන්න කාලයක් තිස්සෙ මේ රටේ රසික ජනතාව විඳවනවා.
නවකතාව ගීතය කවිය කෙටිකතාව වේදිකා නාට්‍ය ගැන සිනමාව ගැන විචාර ලියන මාධ්‍ය තුළින් කෑ ගසාගන්නා බුද්ධිමත් විචාරකයින් යැයි කියන බොහෝ අය ටෙලි නාට්‍ය පිළිබඳ සිදුවුන සහ සිදුවෙමින් පවතින ව්‍යසනය පිළිබඳ මුනිවත රකී.
මේ බොහෝ බුද්ධිමත් යැයි පවසනා විචාරකයින් බොහොමයක් ලංකාවෙ පවත්වන ටෙලි නාට්‍ය සම්මාන උළෙලවල්වල ජූරිසභිකයින් ලෙස දායක වී මුදල් උපයා ගනියි. එහෙව් ජූරි සභිකයින් ලෙස ඉන්නා අයම ටෙලි නාට්‍ය තෝරාගන්නා අණුමණ්ඩල සාමාජිකයින් අධ්යක්ෂවරුන් ලෙසද සිටිති. ඒ නිසාම මේ සිදුවන ව්‍යසනයන් පිළිබඳ කිසිවක් නොකියා මුනිවත රකිති.
ජාතික රූපවාහිනියෙන් හෝ ස්වාධීන රූපවාහිනියෙන් මෙවැනි විකාර විකාශය වනවිට මේ පිළිබඳව කතාකරන්න රටේ ජනතාවට වගේම මේ බුද්ධිමත් විචාරකයින්ට අයිතියක් ඇති බව හිතනවා වන්නට ඇත මන්ද මේ නාලිකා ජනතාවගේ අයිතිවාසිකම් ඇති මාධ්‍ය ලෙස හිතන නිසාමය.
ඒත් රටක් හැටියට ගත්තහම මේ රටේ විකාශය වන අනෙකුත් සියළුම නාලිකා සම්බන්ධයෙන් ඒ කුප්‍රකට වෙළෙන්දන්ට අවශ්‍ය විදිහට මේ රටේ ජනතාව ගොන්නුන්ට අන්දවන හැටි බලමින් නිහඬව සිටින්නට තරම් කොන්ද කඩාගත් පිරිසක් සිටින බව නොරහසක්.
දේශපාලකයන්ද මේ සම්බන්ධයෙන් කතා කරන්නෙ උන්ට මේ රටේ සිදුවන මේ කාලකන්නි විනාශය තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් නිහඬව ඉන්න පොළඹවලා තිබෙන නිසා. ටෙලිවිෂන් නාලිකා වල හිමිකරුවන්ගේ දේශපාලන න්‍යාය පත්රයන් මත මේ රටේ ජනතාව අන්දවන ආකාරය පිළිබඳව අවංකවම ඇත්තේ කනගාටුවක් සහ අපුලකි.
මේ දිනවල විකාශය වන යන ටෙලි නාට්‍ය තුළින් මේ රටේ ජනතාව ට විකෘති මිනිස් හැසිරීම් සමාජ ක්‍රියාකාරකම් සංස්කෘතීන් ආදී විවිධා කාර දේ හුරු කරවමින් සිටී. පෞද්ගලික සියළුම නාලිකා ජනතාවට මුදල් ලබාදෙන්නේ ඔවුන්ගේ මේ කුණු කන්දල් විපරීත නාට්‍ය නැරඹීමටය. ටෙලි නාට්‍ය නැරඹීමට පොළඹවමින් මුදල් ලබාදෙමින් බලන්න ට බල කරන ටෙලි නාට්‍ය තුළ විකාශනය වන්නේ මොනවාද?
විශේෂයෙන් ඉන්දීය ප්‍රාථමික ටෙලි නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශණය කරනු මදිවාට මේ වනවිට පෞද්ගලික සියළුම නාලිකා හින්දි ටෙලි නාට්‍ය කොපිකරමින් ඒ ආකාරයෙන්ම දේශීය ටෙලි නළු නිළියන් යොදාගනිමින් මෙගා නාට්‍ය රැල්ලක් ජනතාවට පෙන්විමින් සිටිති . මේ ටෙලි නාට්‍ය යැයි පෙන්වන විකෘති සමාජ හා ගෘහස්ත ක්‍රියාකාරකම් නරඹන සාමාන්‍ය ජනතාව මේ විකාර රූපි ටෙලි නාට්‍ය සංස්කෘතීන් තම පවුල් තුළට අනුගත කරගන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි. මෙය එක්තරා ආකාරයකට සමාජ අපයෝජනය කිරීමකි.ඉන්දීය බමුණු මතවාද නොදියුනු සංස්කෘතික ගති සිරිත් අපේ සමාජයේ ගම්වල ජීවත් වන , නාගරික, අර්ධ නාගරික මිනිස් හිත් තුළට කරනු ලබන බලපෑම සුළු පටු නොවේ.
මේ ටෙලි නාට්‍ය තුළ එහාට මෙහාට යමින් දෙබස් කියන අපේ නළු නිළියන්ගේ ඇඳුම් පැළඳුම් ගමන බිමන පමණක් නොව සියලු හැසිරවීම් කරනු ලබන්නේ ඉන්දීය ටෙලි නාට්‍ය අච්චුවේ මෙහෙයවීමෙනි.
මේ කිසිවක් පිළිබඳව සංස්කෘතිය භාරව හෝ ජනමාධ්‍ය භාරව සිටින කිසිවෙකුට වගකීමක් නැත. පෞද්ගලික මාධ්‍ය ට අත තබන්නට රජයකට නොහැක. රජයේ මාධ්‍ය තුළින් පමණක් තම පිට කසා ගන්නට මේ දේශපාලකයන්ට නොහැකිය. මේ නිසාම පෞද්ගලික මාධ්‍ය තුළ විකාශ්‍ය වන කිසිවකට එරෙහිව කිසිඳු පියවරක් ගැනීමට මේ කිසිඳු කාලකන්නි දේශපාලකයෙකුට නොහැකිය. මන්ද මේ කූඨ වෙළෙන්දන්ගේ අනුග්‍රහය නොමැතිව මේ දේශපාලුවන්ට පැවැත්මක් නැති නිසාය. ජනතාව ද මේ වෙළෙන්දන්ගේ ගැටවලට අසුවී සිටිති. මේ වෙළෙන්දන් ජනතාවට මුදල් ලබාදෙන්නේ දහස් ගණනිණි. මුදල් ලබාදීමේ ජාවාරම තුළ ට නොදැනුවත්වම කොටුවී ඇති ජනතාව නාලිකා තුළින් ලබාදෙන සියළුම කුණු කන්දල් තම මනස හා සිරුර පුරා උලාගනී.
වස විස නැති ආහාර වගා කිරීම වෙනුවෙන් කෝටි ගණන් මුදල් වපුරන රජයකට මිනිසුන්ගේ ඔලුගෙඩි මේ මාධ්‍ය මාෆියා කාරයන්ගෙන් වස විසෙන් බේරාගන්න ට කිසිඳු ප්‍රතිපත්තියක් වැඩ පිළිවෙලක් සහ හැඟීමක් නැත.
රසවින්දනය වර්ධනය කළහැකි උසස් නිර්මාණ මේ රටේ නිර්මාණය කොට පෙන්වන්න ට බල කරන වැඩ පිළිවෙලක් මේ රටේ ආණ්ඩු කළ කිසිම රජයකට උවනාවක් තිබුනේ නැත සහ වර්තමාන ආණ්ඩු කරවන අයටද උවනාවක් නැත.
ටෙලි නාට්‍ය කරුවන්ගේ සංවිධාන තිබුනද මේ සංවිධාන වල හඬ ප්‍රභල නැත. ඒවාද අවස්ථාවදීන්ගෙන් දේශපාලන හෙන්චයියලාගෙන් පිරී ඇති සංවිධානය. කලාකරුවන් ලෙස පෙනී සිටිනවාට වඩා සංවිධාන තුළ ඇත්තේ දේශපාලකයන්ට කඩේ යන ස්වභාවයකි.
ටෙලි නාට්‍ය කලාවක් ලෙස ආරක්ෂා කරගන්නට රටේ කිසිවකුට පැහැදිලි අවංක උවමනාවක් නැත. ටෙලි නාට්‍ය ව්‍යාපාරයක් බව සැබෑය. ලාභ ලැබිය යුතුය. එහි සාධාරණත්වයක් තිබිය යුතුය. ජනතාවගේ මනසට විකෘතිය ඇතුල් කරනවාට වඩා යහපත ඇතුළ් කර යුතුය. මේ ඉන්දියන් විරෝධයක් හෝ පටු ජාත්‍යාලයක් , දේශානුරාගයක් නොවේ. මේ රට තුළ ජීවත්වන අනාගත පරපුර බුද්ධිමත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් නොවනවානම් රටේ අනාගතය කුමක් විය හැකිද? මිනීමරුවන්ගේ ස්ත්‍රී දූෂකයන්ගේ අපචාර කාරයින්ගේ තක්කඩින්ගේ දූෂිතයන්ගේ රාජ්‍යක් බවට පත්වනු නිසැකය. මන්ද මේ රට සහ මේ රටේ ජනතාව මේ වනවිට ද හසුරවමින් සිටින මේ කූඨ වෙළෙන්දන් කිහිප දෙනා විසින් රටේ බහුතරයක් ජනතාව උන්ගේ අල්ලේ නටවමින් සිටින බැවිනි.
සල්ලි ලබාදෙන්නට ගෙවල් වලට කඩා පනින ටෙලිවිෂන් මාෆියා කරුවන්ගෙන් රටේ ජනතාව බේරා ගත යුතුය. ටෙලිවිෂන් නාලිකාවලින් ජනතාවට අල්ලස් ලබාදීම වහාම තහනම් කළයුතුය. මේ තහනම් කිරීම පළමුවෙන් කළ හැකිනම් දෙවෙනුව තවත් පියවරක් ගැනීමට හැකිවෙනු ඇත.
මිනිසුන්ගේ ඔලුගෙඩිවලට වස විස පොවන මෙවැනි ටෙලි නාට්‍ය කොපිකරනා අධ්යක්ෂවරුන් ව සහ මේ වායේ රගපෑම් බාරගන්නා නළු නිළියන් ට ද ජනතාව විරෝධය ප්‍රකාශ කළයුතුය.
වර්තමාන ටෙලි නාට්‍ය තුළින් සිදවන සමාජ අපයෝජනය ට මේ රටේ බහුතරයක් දෙනා වගකිව යුතුය.
මෙම ලිපියට නිමිත්ත වූයේ මෙම ෆේස්බුක් සටහනයි.
''හින්දි ටෙලි නාට්‍ය ගෙනල්ලා පෙන්වන එක මදිවට ලංකාවෙ නළු නිළියො හින්දි ටෙලි නාට්‍ය කොපි කරලා හදන විසූක දස්සන වල ඉන්දියන් තාලෙට ඇඳුම් ඇඳගෙන අනුකරණය කරන හැටි දැක්කහම දුක හිතෙනවා ග අනේ අපේ රටේ තිබුන ටෙලි නාට්‍ය කලාව මේ ටෙලිවිෂන් වෙළෙන්දො විනාශ කරලා තියෙන හැටිග කලාව විනාශ වෙනකොට විනාශ වෙන්නෙ සමාජයත් ඒ තුළ ජීවත්වන මිනිසුන්ගෙ චිනත්නය සහ රසවින්දනයයි.
මේ රටේ මිනිස්සු සල්ලි දෙන ටීවී චැන්ල්ස් බලන්නෙ නිකන්ද?මේ ජරාව බලන්න චැනල්ස් සල්ලි දෙන්නෙ මොකටද කියලා තේරුම් කරලා දෙන්න විදිහක් නැද්ද?
මැයි දිනේට කම්කරුවො නැගිට්ටෙව්වා දැන් වෙසක් දවසට බෞද්ධයො නැගිට්ටවනවා....... මේ ටෙලිවිෂන් මාෆියාවෙන් මේ රටේ ටෙලිවිෂන් බලන ජනතාව නැගිට්ටවන්නෙ කව්ද?කවද්ද?''
සාරා සමරසේකර