ලෝකය ඉදිරියට යද්දී, කාන්තාවන් තමන්ගේ අයිතිවාසිකම් පුළුල් කරගනිද්දී කාන්තාවන්ගේ අරගලය අයිතිවාසිකම් පිළිබඳ සටන්පාඨ වර නගමින් සටන් කිරීමට සීමා වෙන්නේ නැහැ. කාන්තාවන්ට තිබුණු සීමා කඩා දමමින් අවස්ථා පුළුල් කරගැනීම කාන්තාවකට කළ හැකි ලොකුම අරගලය ලෙස හැඳින්විය හැකියි. මෙතෙක් නොලැබුණු අවස්ථා ලබාගනිමින් අභියෝගාත්මක ක්ෂේත්රවල ඉදිරියට යෑම අසීරුම කටයුත්තක්.
දෙමළ සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වන නයනතාරා කිසිදිනෙක ස්ත්‍රීවාදී සටන්පාඨයක් සමග ස්ත්‍රීවාදී සටන් බිමක දකින්නට ලැබී නැතත්, ඇය දකුණු ඉන්දියානු කාන්තාවන්ගේ අභිමානය හා අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත සටනක් කර තිබෙන බව පැහැදිලියි.
නයනතාරා ප්‍රධාන චරිතය රඟපාමින් මෑත කාලයේ තිරගත වූ ඉමයික්ක නොඩිගල් හා කෝලමාවු කෝකිලා යන චිත්‍රපටි දෙකම 2018 වසරේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටි අතරට එක්වුණා. මේ චිත්‍රපටි දෙකේදීම නයනතාරාගේ චරිතයට ඉහළින් පිරිමි වීරයෙක් හිටියේ නැහැ. ඊට පෙරත් ඇය රඟපෑ මායා, ඩෝරා, අරම් යන චිත්‍රපටි තුනම කාන්තා ප්‍රධාන චරිතයක් ඇතිව සාර්ථක වූ චිත්‍රපටි. ඒවායේත් පිරිමි ප්‍රධාන චරිත සිටියේ නයනතාරා රඟපෑ කාන්තා චරිතවලට පසුපසින්. ඒ සියල්ල සමඟ ජනප්‍රිය දෙමළ සිනමාව උඩුයටිකුරු වුණා. මේ වෙද්දී ජනප්‍රිය දෙමළ සිනමාව කාන්තා කේන්ද්‍රීය ජනප්‍රිය චිත්‍රපටිවලට විශාල ඉඩක් සපයමින් සිටිනවා. ප්‍රේක්ෂකයන් රංගන ශිල්පිනියන්ට විසිල් ගැසීමේ බලාපොරොත්තුවෙන් සිනමාහල්වලට යන්නට පටන් අරන්. ඒ නිසාම නයනතාරා එකුදු ස්ත්‍රීවාදී සටන්පාඨයක්වත් නොකියා දෙමළ සිනමාව තුළ දැවැන්ත සටනක් කර තිබෙන බව පැහැදිලියි.
වඩාත්ම පුදුමය වන්නේ නයනතාරා දෙමළ සිනමාවේ කාන්තාවන්ට අවස්ථා නැති බව කියමින් පැමිණිලි කරන අන්දමේ සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වී නොමැති වීමයි. ඇය කොහොමටත් සම්මුඛ සාකච්ඡාවලට ඉතාමත්ම අඩුවෙන් සහභාගී වන රංගන ශිල්පිනියක්. ඇගේ සම්මුඛ සාකච්ඡා ඉතාම සුළු ප්‍රමාණයත් පමණයි දකින්නට ලැබෙන්නේ. ඒවායේදීත් ඇය ඉතාම සන්සුන්ව තමන්ට උදව් කළ අයට ස්තූති කරනවා මිස පැමිණිලි කිරීමක් නොකරන තරම්. සටන්කාමී කාන්තාවක් යන්නෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගතිලක්ෂණ බැලූබැල්මට ඇය තුළ තිබෙනවා. එහෙත් සියුම්ව නිරීක්ෂණය කළහොත් ඇය දෙමළ සිනමාවේ දැවැන්ත සටනක් කර තිබෙනවා. ඇගේ ගතිලක්ෂණ අතරත් ඒ සටන්කාමීත්වය තිබෙනවා.
නයනතාරා රඟපෑ මායා චිත්‍රපටිය 2015 දී දෙමළ සිනමාවේ කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටියක් විචාරක ගෞරවය සහ සම්මාන ලැබුවත්, බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලබා නැහැ. එහෙත් ඇය ඒ සියල්ල උඩුයටිකුරු කර හමාරයි. සියල්ලන් නොසිතූ ලෙස මායා චිත්‍රපටිය කාන්තා ප්‍රධාන චරිතයක් සමඟ බ්ලොග්බස්ටර් චිත්‍රපටියක් බවට පත්වෙනවා.
‘කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටි ඕනෑ බව මම හිතුවෙ නැහැ. ඒත් චිත්‍රපටිවල ඉන්න කාන්තා චරිතවල තැනක් ලැබෙන්නට ඕනෑ බව හිතුවා. මායා චිත්‍රපටිය සාර්ථක වුණාට පස්සේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට ධෛර්යයක් ආවා කාන්තාවක් ප්‍රධාන චරිතය විදියට අරගෙන චිත්‍රපටියක් සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා. මමම එහෙම චිත්‍රපටියක් ගැන හිතමින් ඉන්නකොට මායා සඳහා මට ආරාධනා ලැබුණා.’ මායා ප්‍රධාන චරිතය ගැන ඇය කියන්නේ එහෙම.
ජයලලිතා, සාවිත්‍රි, ජෝතිකා වැනි ප්‍රකට රංගන ශිල්පිනියන් සියලුදෙනාම අබිබවමින් දෙමළ සිනමා ඉතිහාසයේ දැවැන්තම කාන්තා චරිතය බවට දැනටමත් ඇය පත්වී හමාරයි. දෙමළ රසිකයන් විසින් මේ වෙද්දී ඇයව කාන්තා සුපර්ස්ටාර් ලෙසින් හඳුන්වනවා.
දෙමළ සිනමාවේ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් චිත්‍රපටියක රඟපෑවහොත් ඒ චිත්‍රපටිය ඉහළ ආදායමක් ලැබීම ගැන ස්ථීර වශයෙන්ම සහතිකය ලබාදිය හැකියි. විජේ, අජිත් කුමාර්, රැජිණිකාන්ත්, විජේ සේදුපති, ධනුෂ් ඒ නළුවන් අතර ඉදිරියෙන්ම ඉන්නවා. ඒ කිහිපදෙනා අතරම නයනතාරාත් ඉන්නවා. ඇය සිටියහොත් චිත්‍රපටිය අනිවාර්යයෙන්ම සුපර්හිට් හෝ බ්ලොක්බස්ටර් සාර්ථකත්වයක් ලබනවා. එවැනි රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉහළ ඉන්න එකම කාන්තාව ඇයයි.
තමන්ගේ සිනමා ජීවිතයට වසර දහයක් ගෙවුණු 2013 වර්ෂය පහුවෙද්දී ඇය විසින් පිරිමි වීරයාගේ සෙවණැල්ලක් පමණක් වූ කාන්තා චරිත පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන්නට පටන්ගෙන තිබුණා. චිත්‍රපටියේ කතාවට ඍජු බලපෑමක් කරන චරිත පමණක් ඇය තෝරාගත්තා. ඇය තමන්ගේ වටිනාකම ගොඩනඟාගන්නට පටන්ගත්තේ එවැනි චරිතවලින්. ඇය කාන්තා චරිතවල අඩුපාඩු පිළිබඳව පැමිණිලි කරමින් හිටියේ නැහැ. අඩුපාඩු දකින්නට නැති චරිත තෝරාගනිමින්, ඉතා සියුම් ලෙස ඒ චරිත ඉදිරිපත් කරන්නට පටන්ගත්තා. එහෙත් ඇය චරිතාංග රංගන ශිල්පිනියක් වීම වෙනුවට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණා.
නායගන් චිත්‍රපටියේ රඟපෑමෙන් ලංකාවේ අප හඳුනාගත් රංගන ශිල්පිනියක් වන සාරන්‍යා නයනතාරාගේ කෝලමාවු කෝකිලා චිත්‍රපටියේ රඟපෑවා. ඒ නයනතාරාගේ මවට. ඇය නයනතාරා ගැන මෙසේ කියනවා. ‘සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියක් නම් වර්ණවත් වෙන්න ඕනෑ, හොඳ ඇඟක් තියෙන්න ඕනෑ, ප්‍රධාන චරිත එක්ක එකට රඟපෑ හැකි වෙන්න ඕනෑ, හොඳට අඳින්න ඕනෑ. ඒ ටික ඇති කියලා මතයක් තිබුණා. ඒත් නයනතාරා ඒ ටිකෙන් සෑහීමට පත්වෙන්නෙ නැහැ. ඇය හැම දෙයක්ම ගැන නැවත නැවතත් හිතනවා. මෙහෙම රඟපෑවොත් කොහොමද කියලා ඇය හිතනවා. සාමාන්‍ය කෙනෙක්ට එයා වගේ ඉහළට යන්න බැහැ. එයා ආපු තරම් ඉහළට යන්න මේ සමාජය ඉඩ දෙන්නේම නැහැ. කොහොමත් සිනමාවේ ඉන්නෙ ඉහළට යන කෙනෙක්ගෙ කකුලෙන් අදින අය. කාන්තාවක්ට සිනමාවේ තැනක් ඇත්තේම නැහැ. කාන්තාවක් ප්‍රධාන චරිතයට ගන්නෙ කවුද. බොහොම අඩුයි. වීරයෙක් තරම් වීරවරියකට තැනක් තියෙනවාද. ඔය චිත්‍රපටිවල ඉන්න කාන්තා චරිතවලට පසුබිම් කතා නැද්ද. වීරයන්ට විතරද පසුබිම් කතා තියෙන්නෙ. කාන්තාවන්ගෙ පසුබිම එවැනි සමාජයක නයනතාරා මෙතැනට පැමිණීම පුදුමයක්. ඒකට විශාල ගෞරවයක් මට තියෙනවා. මම ඇයට වඩා වයසින් වැඩිවුණත් මම ඇයට ගෞරව කරනවා.’
නයනතාරා සාකච්ඡා මණ්ඩපවලදී නිහඬව ඉන්න කාන්තාවක්. කෑ ගසාගෙන රණ්ඩුවට නොයන කාන්තාවක්. මෑත කාලයේදී රඟපෑ චරිතවලත් ඇය බොහෝවිට සමාජය එක්ක සටන්කළත්, පිරිමි වීරයන් මෙන් හැඩි දැඩි පෞරුෂයකින් සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඇය කාන්තා පෞරුෂයක් ගොඩනඟනවා. බොහෝවිට මෙවැනි ක්ෂේත්රවල පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන්කරන කාන්තාවන් පිරිමින්ට එහා ගිය පිරිමි පෞරුෂයක් ගොඩනඟාගන්න උත්සාහ කරනවා. ඒ පෞරුෂය සමග පිරිමින්ට එරෙහිව සටන් කරන්නට උත්සාහ කරනවා. ඒත් නයනතාරා බොහෝවිට තෝරාගන්නේ කාන්තා පෞරුෂය. ඇගේ පළමුවැනි අවිය වන්නේ නිහඬතාව. සැහැල්ලු සිනහව. සුන්දරත්වය. ඒ නිසා ඇය දෙමළ සිනමාව තුළ පිරිමි ආධිපත්‍යයට එරෙහිව දැවැන්ත සටනක් කරනවාදැයි කෙනෙකුට නොවැටහෙන්න පුළුවන්. ස්ත්‍රීවාදී බොහෝ දෙනෙක් නයනතාරා කරන සටන සැබෑ සටනක් නොවේයැයි ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. එසේ වුව නයනතාරා අතිශය සාම්ප්‍රදායික ඉන්දීය දෙමළ සමාජයේ කාන්තාවන්ට අලුත් සටන් කලාවක් හඳුන්වාදී ඇති බව අවංකවම නිරීක්ෂණය කරන අයෙකුට පෙනී යනු ඇති.
තරිඳු උඩුවරගෙදර
අනිද්දා