කුඩා ප්ලාස්ටික් කොටස් එකට එක් කරමින් විවිධ නිර්මාණ කිරීම හෙවත් බිල්ඩින් බ්ලොක්ස් (Building Blocks) සමඟ ක්රීඩා කිරීම ලොව පුරා ළමයින් අතර බෙහෙවින් ජනප්රිය ක්රීඩාවක්.
බිල්ඩින් බ්ලොක්ස්වලට සමාන ලෙගෝ කැටත් ලොකු කුඩා කවුරුත් ප්රියකරන දෙයක්. සුප්රකට ඩෙන්මාර්ක සෙල්ලම් බඩු නිෂ්පාදන ආයතනයක් වන ලෙගෝ ආයතනය විසින් නිර්මාණය කරන මෙම ලෙගෝ කැටවලින් සංකීර්ණ නිර්මාණ පවා කළ හැකියි. මේ ලෙගෝ කැට සිනමාවට මෙන්ම පරිගණක ක්රීඩා තුළටත් ගෙන ආවේ ඒවායෙහි ඇති මෙම ඉහළ ජනප්රියත්වය බව කීවොත් නිවැරදියි. එපමණක් නොව මෙම ලෙගෝ කැට පාදකකර ගත් කෙටි චිත්රපට මෙන්ම කෙටි වීඩියෝ දර්ශන රැසක් ද නිර්මාණය වී තිබෙනවා. එයට මුලික වී කටයුතු කරන්නේ ලෙගෝ ආයතනය සමඟ එක්ව වෝනර් බ්රදර්ස් ආයතනය යි.
මේ අනුව නිර්මාණය කෙරුණු පළමු ලෙගෝ චිත්රපටය රිදී තිරයට පැමිණියේ 2014 වසරේදීයි. එය The Lego Movie ලෙසින් නම් කෙරුණා. එම චිත්රපටය ලද සාර්ථක ප්රතිචාර ලෙගෝ චිත්රපට පෙළකට මාවත සකස් කළා. ඒ අනුව The Lego Batman, The Lego Ninjago චිත්රපට 2017 වසරේදී තිරගත කෙරුණා. ලබන පෙබරවාරි 08 වැනිදා මීළඟ ලෙගෝ චිත්රපටය රිදී තිරයට පැමිණෙන්න සූදානම්. The Lego Movie 2: The Second Part ලෙසින් එය නම්කර තිබෙනවා. ද ලෙගෝ චිත්රපට මාලාවේ සිව්වැන්න වන එය 2014 වසරේ තිරගත කෙරුණු The Lego Movie හි දෙවැන්න ලෙසින් දිගහැරෙනවා.
ලෙගෝ නිර්මාණයක් වූ එමෙට් නීතියට ගරු කරන බොහොම විනෝදයෙන් කාලය කරන අයෙක්. අත්වැරද්දක් හේතුවෙන් එමෙට්ගේ ලෝකය විසින් ඔහු සුපිරි වීරයෙක් ලෙසින් හඳුනා ගන්නවා. වැරදීමකින් වුවත් සුපිරි වීරයෙකු වීම නිසා එමෙට්, ටයිරන්ට් නම් දුෂ්ටයාගෙන් තම ලෝකය බේරා ගැනීම වෙනුවෙන් වූ කණ්ඩායමට ඇතුලත් වී එම භාරදූර කාර්යයට මුහුණ දෙන අයුරු The Lego Movie ඔස්සේ දැක ගැනීමට ලැබුණා. දැන් උදා වී තිබෙන්නේ, එමෙට් ජීවත් වන බ්රික්ස්බර්ග් නම් නගරය නැවත වරක් තවත් තර්ජනයකට මුහුණ පා සිටින අවස්ථාවකි. ඉදිරියට පැමිණෙන ඕනෑම දෙයක් විනාශ කිරීමෙ බලයක් හිමි ලෙගෝ ඩුප්ලෝ නම් ආක්රමණිකයන් ලෙගෝ ලොව අත්පත්කර ගැනීමට පැමිණෙන අතර එමෙට්, බැට් මෑන් සහ ලුසී ඇතුලු පිරිස ඒ වෙනුවෙන් විශ්වයේ බොහෝ දුර ගොස් කරන්නා වූ සටන The Lego Movie 2: The Second Part ඔස්සේ ගෙන එනවා.
මෙය අධ්යක්ෂණය කර තිබෙන්නේ, අමෙරිකානු අධ්යක්ෂ මයික් මිචෙල් විසින්. පෙර චිත්රපටයේ සේම එමෙට්ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ අමෙරිකානු නළු ක්රිස් පැට් විසින්. ඔහු සමඟින් එළිසබෙත් බෑන්ක්ස්, ටිෆ්නි හඩිෂ්, විල් අමෙට්, ස්ටෙෆ්නි බියෙට්රිස් ඇතුලු පිරිසක් හඬ දායකත්වය ලබා දෙනවා. මේ දක්වා තිරගත කෙරුණු ලෙගෝ චිත්රපට ත්රිත්වයම ඉහළ ආදායම් වාර්තා තැබුවා සේම විචාරක මනාපය ද ඉහළින්ම ලබන්නට සමත් වී ඇති බවත් කිව යුතුයි. The Lego Movie 2: The Second Part තිරගත වීමෙන් පසුව ලෙගෝ චිත්රපට මාලාවට තවත් චිත්රපට දෙකක් එක් වීමට නියමිතයි. ඒවා The Billion Brick Race, Untitled Lego Batman Movie sequel ලෙසින් නම් වී තිබෙනවා.
සිළුමිණ