මාතාහාරි ලෙස ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත් වුණු මර්ගරීතා zසෙල්, විසිවැනි ශතවර්ශයේ මුල්භාගයේ මධ්‍ය යුරෝපයේ ජිවත් වුණු බලපෑම් සහගත සංස්කෘතික පෞර්ශයකි.
ඕලන්දයේ උපත ලද ඇය නගරශෝභනියකි, සිය සිතැඟි අනුව ක්‍රියා කරන හිතුවක්කාර ගැහැණියකි, පෙර නොවූ විරූ ඇයගේ අපූරු නර්තනයෙන් ජනිත කරන තහනම් සුවයත්, ඇයගේ සිරුරේ සාහසික නග්නත්වයත් නිසා ඇය ලිංගිකත්වයේ අයිකනයක් සේම, කාන්තාවකගේ නිර්භීතකම තේරුම් ගැනීමට අසමත්, ඉපැරණී ලෝක සැකැස්ම තුළ එදිරිවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වීම ද සිදු විය. ඇය පළමුවන ලෝක යුද සමයේදී, ජර්මානුවන් විසින් යුධ ඔත්තු සැපයීමට බලහත්කාරයෙන් යොදවා ගන්නා ලද අතර 1917 වසරේදී ඇයව ප්‍රංශ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ අනතුරුව, වෙඩි තබා මරා දැමිණි.
ඉතාමත් බිහිසුණු කාල වකවානුවක, මාතාහාරි, මිනිසාගේ පරිකල්පනයට ලංවීමටවත් නොහැකි තරම් නාටකීය ජිවිතයක් ගත කළ නිසාම, ඇයගේ මරණින් පසුත් ඇයගේ සංස්කෘතික පැවැත්ම කතා බහට ලක් වීම පුදුමයක් නොවේ, විශේෂයෙන්ම 1931 වසරේ නිෂ්පාදනය කළ, Mata hari වැනි චිත්‍රපට තුළින් සහ අනේකුත් සාහිත්‍යමය සහ නාට්‍යමය ප්‍රතිනිර්මාණයන් ඔස්සේ.
ඇයගේ ජිවිතය, එනම් වැඩිමනත් ලෙස ඇයගේ ප්‍රසිද්ධියට පත් ජිවිත කතාව සහ ඒ වටා බැඳුනු වික්‍රමයන් නිරන්තරයෙන්ම සරාගී යුධ කුමණ්ත්‍රණ මෙන්ම විශ්වසා කළ නොහැකි තරම්, නිර්භීත කාන්තාවක් වටා ගෙතුනේ විය. බොහෝ දෙනාගේ මතයට අනුව ඇය එකලද පුරුෂාධිපත්‍යයේ බලපෑම, සිය ග්‍රහණයට නතු කරගත් කූට ප්රයෝගකාරී තැනැත්තියක මෙන්ම උපයාශීලි ලෙස සිය සිතැඟි අනුව අනිකුන්ව මෙහෙයවූ සාරාගී අංගනාවකි. ඇය එදා සිදුකල සංස්කෘතික අරගලය දැවැන්ත ශක්තියක් ගැප් වුණු එකක් වන අතර එය, අතීතයට වඩා බොහෝ සෙයින් නිදහස් නිවහල් බවක් අත් පත් කරගත් කාන්තාවන් ජීවත් වන, නවීන සමාජයටත් වඩා ඉදිරියෙන් ස්ථානගත වූවකි.
ඉතිහාසයේ එවන් විවාදාත්මක චරිතයක් පාවුලෝ කොයියෝ පසු ගිය වසරේ(2016) නිකුත් කළ ඔහුගේ අලුත්ම නවකතාව වන The spy තුළින් නැවත පණ ලබා ඇත. (පාවුලෝ කොයියෝ බ්‍රසීලියානු නවකතාකරුවෙකි, ඔහු ලියු බොහොමයක් කෘති ලොව පුරා වෙසෙන සාහිත්‍ය ලෝලීන් ඉතාමත් ආදරෙයෙන් වැළඳගෙන ඇත. ඔහු දැනට පෘතුගීසි භාෂාවෙන් කෘති 30ක් පමණ ලියා පළ කර ඇති අතර ඒවා විදේශ භාෂා විශාල ගණනාවකට පරිවර්තනය ද වී ඇත. ඔහු ප්‍රථම වරට ජ්‍යාතන්තර වශයෙන් වැඩි අවධානයට යොමු වුණේ 1988 වසරේ ඔහු ලියූ The Alchemist කෘතිය නිසාය. මීට අමතරව Veronica decides to die, By the River Piedra I Sat Down and Wept, Eleven minutes පාඨකයන් අතර ජනප්‍රිය වුණු ඔහුගේ සෙසු කෘතීන්ය. )
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් ලියැවී ඇති The Spy කෘතිය ඉතා පහසුවෙන් එක් දිනකින් හෝ දින දෙකකින් කියවා අවසන් කළ හැකි මනබඳිනා සුළු සාහිත්‍යයික ගෙත්තමකි. ඒ එම කෘතියට අනුභූතිය සැපයෙන විෂය දහරාව නිසා වන්නට පුළුවන - නග්න රැඟුම් දක්වන නාටිංගනාවක්, පළමු ලෝක යුධසමයේ යුධ ඔත්තු සපයන්නියක්, පිරිමින් වසඟයට ගන්නා ගැහැණියක්.
The Spy කෘතියේ සීරුවට ගලාගෙන යන කතා දහරාව, පාඨකයාව ප්‍රබන්ධිත සිහිනයක් තුළ රඳවා තබයි. සැබවින්ම එය, මාතාහාරි ඇයගේ සිරුරේ දැවටුන සළු හත සෙමින් උනා දමමින්, විසිවන සියවසේ මුල් භාගයේ ජීවත් වු, මිනිසුන්ට සහ ගැහැණුන්ට සිය නග්න සිරුර දැකීමට ඉඩ සලසන ඇයගේ අපූරු රංගනයක් මෙනි:
“මගේ ඇඳුම් සැකසී තිබුණේ එක මත එකක් වන ලෙස සළු හතකිනි. මම පළමු සළුව ඉවත් කරමි, කිසිවකුත් ඒ පිළිබඳ එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැත. නමුත් මම දෙවැන්නද, පසුව තෙවැන්නද ඉවත් කරන විට මිනිසුන් එකිනෙකා වෙත බැලුම් හෙලන්නට පටන් ගනියි. පස්වන සළුව ඉවත් වන විට මිනිසුන්, මට එසේ කොතෙක් දුරට යා හැකිද යන කාරණය ගැන සිතමින්, මා කරන දේ පිළිබඳ සිය පුර්ණ අවධානය යොමු කර හමාරය. එසේම රංගනය අතරවාරයේ එක් මොහොතකට මාගේ නෙත් හා ගැටෙන, මාගේ රංගනය නරඹමින් සිටින කාන්තාවන්ගේ නෙත්වල කම්පනයේ හෝ කෝපයේ හෝඩුවාවක්වත් දක්නට නැත. පිරිමින් ට මෙන්ම ඔවුන්ට ද මාගේ රංගනය විසින් ප්රමෝදයක් සපයා දී ඇත. මම මාගේ රටේදි මෙවැන්නක් කළේ නම් යම් විටෙක එවෙලේම මා සිරගත කරන්නට ඉඩ ඇති බව මම හොඳින්ම දනිමි. එහෙත් ප්‍රංශය යනු නිදහසට සහ සමානාත්මතාවට හොඳම ආදර්ශයකි.”
“මා සයවන සළුව ඉවත් කිරීමත් සමඟ, ශිව ප්‍රතිමාව වෙත ගොස් මා සුරතාන්තයට පත් වන බවක් දක්වමි. අනතුරුව සත්වන සළුව ඉවත් කරමින්ම මම බිම ඇද වැටනේනෙමි”
“මොහොතක් ගත වෙන තුරු ප්‍රේක්ෂාගාරයෙන් කිසිම ශබ්දයක් නොනැඟෙයි. මා වැතිර සිටින තැනට කිසිවකුත් මට පෙනෙන්නේ නැත. ඔවුන් ත්රාසයටත් බියටත් පත් ව ඇති සෙයකි. මඳ වෙලාවකට පසුව කාන්තා කටහඬකින් “බ්රාවෝ”(අනර්ඝයි!) කියමින් සිය උද්දාමය ප්‍රකාශ කරත්ම, සෙස්සන්ද නැඟී සිටිමින් මහ හඬින් ප්‍රීති ඝෝෂාකරන්නට පටන් ගනියි. එවිට එක් අතකින් මගේ පියයුරුද අනෙක් අතින් මගේ රහසඟද ආවරණය කරගනිමින් මම නැඟී සිටිමි”(පිටු 59- 60, The Spy)
පාවුලෝ කොයියෝ, රේඛීය නොවන, ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ දිගහැරෙන කතාවක් තුළින් මාතාහාරි ලෙස ප්‍රසිද්ධියට පත්, පළමු ලෝක යුධ සමයේ ජර්මානුවන් H21 ලෙස හැඳින්වු මෙම ගැහැණිය පිළිබඳ අසිරිමත් සිතුවමක් මවනු ලබයි. බොහෝ අවස්ථාවල එම කතාන්දරය දිග හැරෙන්නේ මාතාහාරිගේ මතකය අවධි කිරීමක් ලෙසින් වන නිසා එය දුර අතීතයේ සිදුවීම් වල සිට වර්තමානයටත්, යම් විටෙක අනාගතය දක්වා ද ගෙතුණු වියමනක් ලෙස දිස්වෙයි. නමුත් ඒ සියලු කාලවකාවනුවලට අයත් කතා එක් කොට තබන රැහැන් වන්නේ කතුවරයාගේ හඬත්, අව්‍යාජත්වය රඳවා ගැනීමට ඔහුගේ ඇති හැකියාවත්, මාතාහාරි වස්තු විෂයට ඔහු දක්වන අවංකභාවයත්ය.
“මේ මොහොතේ මාගේ ජිවිතය දෙස හැරී බලමි.” මාතාහාරි හසුනක එසේ ලියයි. “මතකය යනු අපාස්සට දිවෙන ගංඟාවක් ලෙස මම තේරුම් ගනිමි.”
“මතකය හිතුවක්කාරකම් වලින් පිරි තිබේ, කිසියම් කුඩා තොරතුරු මාත්‍රයක් හෝ නොවැදගත් ශබ්දයක් තුළින් අප විඳි අත්දැකීම් වල මතකයට අපගේ හුස්ම සිරකීරිමට තවමත් හැකියාව ඇත. පිළිස්සෙන පාන් වල පුසුඹ මගේ සිර කුටිය මතින් හමා යන විට කෝපි සැල් අසලින් මා නිදහසේ ඇවිද ගිය දවස් මගේ මතකයට නැඟෙයි. මරණ භය සහ මට මේ මොහොතේ දැනෙන හුදකලාවට වඩා මේ කඳුළු, මට දුරස්ථය.
“මා, නැවත හරිගැස්සිමට කිසිවක් කළ නොහැකි තරම් වැරදි කාලයක උපත ලද ගැහැණියකි. අනාගතයට මා මතක තිබෙනු ඇද්දයි මම නොදනිමි. නමුත් එසේ වන්නේ නම් දිරියෙන් ඉදිරියට ගමන් කළ, ඇයට ජීවිතයෙන් ගෙවීමට සිදුවු දේ නොබියව ගෙවා දැමු අයෙකු මිස, විනාශයට පත් ගොදුරක් ලෙස මා නොදකිනු ඇතැයි මම අපේක්ෂා කරමි”(පිටු 13-15 The Spy)
මර්ගරීතා Zසෙල්
සමහර විචාරකයින්ට අනුව, පාවුලෝ කොයියෝ ගේ The spy කෘතිය මාතාහාරි චරිතය මතුපිටින් අතපත ගෑමකි. ඔවුනට අනුව මාතාහාරීගේ විශිෂ්ඨ චරිත ස්වභාවයන් ඔහු විදාරණය කිරීමට සමත්ව නැත. ඔවුන් පවසන්නේ ඔබ කොයියෝ ගේ සහෘද පාඨකයෙක් නම්, ඔබට ඔහුගේ අලුත්ම කෘතිය තරමක වෙනස් නිර්මාණයක් ලෙස දැනෙනු ඇති බවයි, යම් විටෙක එම නිර්මාණය පිළිබඳ ඔබගේ අපේක්ෂා බිඳවැටෙන්නට ද ඉඩ ඇත, ඒ මෙවර ඔහු ඔහුගේ අනෙක් කෘති වලදි තරම් ගැඹුරින් භාවාත්මක පරිඥානය ග්‍රහණය කොට ගැනීමට අසමත් වන නිසාය. ඒ කෙසේ වෙතත්, කෘතිය තුළ චරිත ගොඬනැංවීම එතරම් විශිෂ්ඨ නොවුවත් එය පාඨකයාගේ මනස තුළ මාතාහාරිගේ ජිවිතය පිළිබඳ හෘදයාංගම රිදීමක් ඉතිරි කරයි.
පාවුලෝ කොයියෝ The Spy කෘතියේ නිර්මාණ කාර්යය පිළිබඳ කතා බහ කරන ඉතාමත් සංක්ෂිප්ත සංවාදයක් පහත දක්වා ඇත. එය The Sunday Times Book live වෙබ් අඩවියේ පළ වුවකි.
ඇයි ඔබ මාතාහාරි චරිතය තෝරා ගත්තේ ඔබේ අලුත් නවකතාවේ විෂය ලෙස?
මාතාහාරි කියන්නෙ, සම්මතයන්ට ගරු නොකරන පරපුරේ අයිකනයක් - සම්මතයට අනුව නරක කෙල්ලක්, වෙනස් කෙනෙක්, අමුතු චරිතයක්, විකාර ඇඳුම් අදින්නියක්. ඇය අප සියල්ලන්වම වසඟයට ගන්නවා. මම දිනක් මගේ නීතිඥවරයා සමඟ රාත්‍රි ආහාරය ගන්නා විට, පළමු ලෝක යුද සමයේ අහිංසක මිනිසුන් නිරපරාදේ මරා දැමුණු සැටි කියැවෙන කතාන්දර කිහිපයක් ඔහු මට පැවසුවා. මාතාහාරි කියන්නෙ ඔහු එහිදී සඳහන් කළ එක් උදාහරණයක්. නමුත් ඒ කතාව මගේ සිත් ගත් නිසා මම ඇය ගැන පොඩි සොයා බැලීමක් කරන්න සිතුවා. ඊළඟ දිනය වෙද්දි මම පොත් කිහිපයක් සොයා ගත් අතර එළැඹුණු සති අන්තයද ගෙවා දැමුවේ මාතාහාරි ගැන අතට අහු වෙන ඕනෑම දෙයක් කියවමින්. මට ඒ වෙද්දි දැනුණෙ නැහැ, ඉබේම මම මේ පර්යේෂණය කරන්නෙ මගෙ ඊළඟ පොත වෙනුවෙන් කියලා. මට හැබෑවටම එය ඒ ආකාරයෙන් දැනුනේ, පරිකල්පනීය අභ්‍යාසයක් ලෙස, ඇයගේ තැන සිට හිතන්න ඕනෑ යැයි මම තීරණය කළ මොහොතේදීයි.
ඔබ කොහොමද ඇය ගැන සහ ඇය ජිවත් වූ යුගය ගැන පර්යේෂණ සිදු කළේ? ඇය පිළිබඳ ඔබට හමුවූ වඩාත් පුදුම එලවන සුළු දේ කුමක්ද?
වඩාත් විශ්මයජනක දේ තමයි, වයස අවුරුදු විස්ස වන තුරුම අපයෝජනයට ලක් වූ ඇය, ඉන් මිඳී අවසානයේදි ඇය සිටි තත්වයට පත්වීමට ඇයට තිබු හැකියාව. Belle Époque (ප්‍රංශ පෙරුසියන් යුද්ධයේ අවසානයත්, පළමු ලෝක යුද්ධයේ පටන් ගැන්මත් අතර කාලය මෙමඟින් හැඳින්වෙයි- 1871- 1914. එය සංස්කෘතික සහ කලාවේ දියුණුවට මඟපෑදුණු කාලයක් වු අතර සාපේක්ෂ ලෙස සාමය, සර්වශුභවාදය, ආර්ථික සෞභාගය්‍ය පැවතුණ යුගයක් ලෙසද හැඳින්විය හැකිය) නම් කාලවකවානුවේ පැරිසිය තුළ “ සියල්ල කල හැකි” වුණා. මම එයට මහත් සේ ආකාර්ෂණය වුනා. ඒ නිසා මම මේ කෘතිය නිර්මාණය කළේ එහි ප්‍රධාන චරිතය, කේන්ද්‍රය බවට පත් කරමින්. මම ඇය ජිවත් වූ යුගය ගැන කිසියම් අදහසක් ලබා දෙනවා, අනික මම උත්සාහ කළා වැඩිමනත් අනවශ්‍ය තොරතුරු රහිතව පාඨකයාව එම යුගය තුළ ස්ථානගත කරන්න.
ඔබ කොතැනදි ද ඉතිහාසය සම්බන්ධ වාර්තා වලින් පිට පනින්නෙ සහ ඒ ඇයි?
කෘතියේ අඩංගු වන කාරණා ඉතිහාසයට අනුව නිවැරදියි, එහි ඓතිහාසික දහරාව නිවැරදියි. ඒ්ත් මම වෙනත් කෙනෙකුගේ තැන ඉඳගෙන හිතුවෙ. මම විශ්වාස කරනවා මම ඇය හිතූ දේවලට ඉතාමත් සමීප වුණා කියලා. මෑතකදී නෙදර්ලන්තයේ කෞතුකාගාරයකදි මාතාහාරි ගේ ලියුම් වගයක් මහජන ප්‍රදර්ශනයට තැබුවා. ඒවා කියවු එක් විචාරකයෙක් පවසා තිබුණේ කිසිවකුට මම ඇයව මට අවශ්‍ය ආකාරයට හසුරුවා ඇති බවක් හැඟුනොත් ඔහු පුදුම නොවන බවයි.
මාතාහාරිගේ දෘෂ්ටිකෝණයෙන් ලිවීම ඔබට දැණුනෙ කොහොමද?
මම ඇය ජිවත් වු කාලය ගැන කියවන විට ඇය රෑ දවල් දෙකේම මගේ සහකාරිය වුණා. මට ටිකෙන් ටික තේරුම් ගන්න හැකි වුණා ඇයි ඇය එවැනි පුද්ගලයෙක් බවට පත් වුණේ සහ ඇය කොහොමද ඇයගේ ආකල්ප සාධාරණීකරණය කළේ කියලා.
මෙවැනි සංකීර්ණ කාන්තාවකගෙන් අපට උගත හැකි දේ මොනවාද?
ඒවා තමයි,
1) සෑම සිහිනයකටම ගෙවිය යුුතු වටිනාකමක් ඇත.
2) ඔබ වෙනස් වීමට තරම් නිර්භීත නම්, පහර කෑමට සූදානම් විය යුතුය.
3) ඔබට දුෂ්ඨ පිරිමි ලෝකයකට මුහුණ දීමට සිදු වුවත්, එය මඟහැරයාමටද ඔබට ක්‍රම සොයා ගත හැකිය.
ඔබට පුළුවන්ද ඇයගේ ජීවිතය වෙනස් විදියකට පරිකල්පනය කරන්න ?
ඇයගේ ඉරණම ඇය සම්පූර්ණ කළා, එයයි සැළකිල්ලට ගතයුත්තෙ.
තොරතුරු මුලාශ්‍ර - CG FEWSTON, Times of India, A.V. book club, The Guardian වෙබ් අඩවි
✎ සුභාෂිණි චතුරිකා මෙම ලිපිය පළමුවරට 2017.08 .13 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.