මෙවර අපි 'මිරර ආට්' කතා කරන්නේ ඉන්දීය සිනමාවේ ඉන්න කාගෙත් ආදරය දිනු සුන්දර රංගන ශිල්පිණියක් ගැන තොරතුරු කියන්න. ඇය නමින් මෘනාල් තාකූර්.
පසුගිය වසරේ අති සාර්ථක චිත්‍රපටයක් වුණ සිතා රාමම් තෙළිඟු චිත්‍රපටයේ නූර් ජහාන් කුමරිය හෙවත් සිතා මහා ලක්ෂ්මිට රඟපැවෙත් මෘනාල්. වර්තමානයේ අතිශය කාර්බහුල සිනමා නිළියක් බවට පත්ව ඇති ඇය ඉදිරි මාස කිහිපයේදී පමණක් බොලිවුඩ් චිත්‍රපට පහක් තුළින් අපිට දකින්නට හැකිය.
31 වැනි විය ගෙවා දමමින් සිටින මෘනාල් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපන් අයෙකි. මුලීක අධ්‍යාපනය ජල්ගෝන් හි ශාන්ත ජෝසප් කන්‍යාරාම පාසලෙන් සහ මුම්බායි වසන්ත විහාර් උසස් පාසලෙන් ලබාගත් මෘනාල් සිය කලා උපාධිය සම්පුර්ණ කරන්නට මුම්බායි ලෙයිලා විශ්ව විද්‍යාලයට පිවිස තිබුණි. එහෙත්, රූපවාහිනි නාළිකාවක් සමග සිය වෘත්තිය කටයුතු බෙදාගැනීමට සිදු වු හෙයින් ඇයට සිය උපාධිය අවසන් නොකරම විශ්වවිද්‍යාලය ජීවිතයට සමුදෙන්නට සිදු විය.
මෘනාල් සිනමාවට පිවිසෙන්නට පෙර උතුරු ඉන්දීය ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑ කෙනෙක්. ඒ අතරින් ස්ටාර් ප්ලස් නාළිකාවේ විකාශය වුණ කුම්කුම් භාග්‍යා ටෙලි නාට්‍යයේ බුල් බුල් ආර්රෝරා කියන චරිතය ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා. හැබැයි මෘනාල්ව ගොඩ දෙනෙක් සිනමා නිළියක් ලෙස අඳුනගත්තේ රිතික් රෝෂන් සමග රඟපෑ සුපර් 30 චිත්‍රපටය හරහා.
ෆර්හාන් අක්තාර් සමග රඟපෑ තුෆාන්, ජෝන් ඒබ්රහිම් සමග රඟපෑ දමාක්, ෂාහිඩ් කපූර් සමග රඟපෑ ජර්සි චිත්‍රපට හරහා මෘනාල් බොලිවුඩ් සිනමාව තුළ තරුවක් බවට පත් වුණා. එහෙත්, ඇයගේ රංගන දිවියේ සුවිශේෂි කඩඉම බවට පත් වුණේ පසුගිය වසරේ තිරගත වුණ සිතා රාමම් චිත්‍රපටයයි. ලෝකයෙම ආදරය කරන රංගන ශිල්පිණියක් බවට පත්වන්නට ඇයට මේ හරහා අවස්ථාව ලැබුණා. ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ මෙම සිතා රාමම් චිත්‍රපටයේ කළ රංගනය හරහා මෘනාල් වසරේ හොඳම නිළිය ලෙස දකුණු ඉන්දීය සිනමා සම්මාන රාශියක්ද දිනාගන්නට සමත් වුණා. එය ඇයගේ පළමු තෙළිඟු සිනමා රංගනය විමත් විශේෂත්වයක්.
නූර් ජහාන් කුමරිය හෙවත් සිතා මහා ලක්ෂ්මි ලෙස ලෝකය පුරා ජනප්‍රිය වීමත් සමග මෘනාල් රංගන ශිල්පිණියක් විදිහට කාර්යබහුල වුණා. එයට හොඳම උදාහරණය නම් ඇය මේ වසරේ පමණක් හින්දි හා තෙළිඟු චිත්‍රපට දහයක් පුරාවට අපට දකින්නට ලැබීමයි. චිත්‍රපට රංගනයකට ඉහළ මුදලක් අය කරන රංගන ශිල්පිණියක්ද වන මෘනාල් මේ වනවිට ඉන්දියාවේ සිටින ධනවත්ම රංගන ශිල්පිණියක්ද වෙනවා.
පසුගිය වසරේ ආසියාවේ සාර්ථකම නළු නිළියන් තිස්දෙනා අතර ඇය අටවැනි තැනට පත්ව තිබීම විශේෂත්වයකි. එමෙන්ම ආසියාවේ සරාගි නිළියන් පනස් දෙනා අතර විසි දෙවැනි තැනද ඇය දිනාගනු ලැබීය. දැනට සුප්‍රසිද්ධ වෙළෙඳ නාම කිහිපයකම තනාපතිනිය හැටියට කටයුතු කරන මෘනාල් අයාලේ යන සතුන් වෙනුවෙන් පදනමක්ද ආරම්භ කර තිබේ. මේ වන විට ඇය ඉන්දියාව පුරා විසිර සිටින අයාලේ යන සතුන් දසදහසකට රැකවරණය ලබා දෙන්නට කටයුතු කර තිබෙනවා.
නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යය තුළ කතා බහට ලක්වෙන මෘනාල් සතුව මිලියන දහයකට වඩා වැඩි රසික පිරිසක් සිටින ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමක්ද පවතිනවා. මීට මාස කිහිපයකට පෙර රෝස පැහැති බිකිණියකින් සිය නාන කාමරයේදී ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කිරිම හරහා සමාජ මාධ්‍යය තුළ ඇය වඩාත් කතාබහට ලක්ව තිබුණා. කාලයක් චාම් ඇඳුම්වලින් පමණක් පෙනි සිටියත් ආසියාවේ සරාගි නිළියක් බවට පත්වීමෙන් අනතුරුව මෘනාල් සිය ඇඳුම් පැළඳුම් ගැන විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පෙනි යනවා.
උපයන ධනයෙන් ඇය වැඩිපුරම වියදම් කරන්නේ විදෙස් සංචාරවලට බව මෘනාල් පවසයි. ඇය මේ වසරේ අප්‍රේල් මාසයේදී ලංකාවේද සංචාරය කර තිබෙන බව සඳහන් වෙයි. සතියකට වඩා වැඩි කාලයක් ඇය ලංකාවේ දකුණු මුහුදු වෙරළේ ගත කර තිබෙන අතර, එහිදි ගත් ඡායාරූප බොහෝමයන් සිය සමාජ මාධ්‍යය හරහා ප්‍රසිද්ධ කරද තිබේ. මෘනාල් පවසන්නේ ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව සංචාරය කරන්නට වඩාත් සුදුසු රටක් බවය.
බුද්ධික සේනාධීර