ක්‍රීඩකයෙක් ලෙස සිය බේස්බෝල් ක්‍රීඩා ගමන ආරම්භ කළ සුජිව විජයනායක වර්තමානය වනවිට ලොව පිළිගත් බේස්බෝල් විනිසුරුවරයෙක් බවට පත්ව සිටියි. නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ නැංවිමට දායකත්වය සපයන සුජිව සමග අප මෙවර කතා බහ කළා.
ක්‍රීඩකයෙක් වුණ ඔබ විනිසුරුවරයෙක් විදිහට පරිවර්තනය වුණේ කොහොමද?
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මම බේස්බෝල් ක්‍රීඩාවට යොමු වුණේ. මට මතක හැටියට ඒ 2000 වසරේ. ඒ කාලේ ලංකාවේ ලොකුවට බේස්බෝල් ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. ලංකාවේ පාසල් අටක විතරයි බේස්බෝල් ක්‍රීඩාව තිබුණේ. ඒ කාලේ පාසල් මට්ටමින් තිබුණ සෑම බේස්බෝල් තරගාවලියක් සඳහාම සහභාගී වුණේ මේ කණ්ඩායම් අට තමයි. එතකොට ලොකුවට පුහුණුකරුවෝ විනිසුරුවරයෝ හිටියේ නැහැ. කණ්ඩායම්වල අපිම තමා ඒ කාර්යයත් කළේ. ආනන්දේ මම බේස්බෝල් පුහුණුකරු විදිහටත් කටයුතු කරලා ජයග්‍රහණත් බොහෝමයක් ලබා දිලා තියෙනවා. විනිසුරුවරයෙක් විදිහට මම මුලින්ම ජාත්‍යන්තර මට්ටමින් කටයුතු කරන්න ගත්තේ 2005 වසරේදී. ඒ කොරියාවේ තිබුණ වයස අවුරුදු 18න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී. ඒ තමයි විනිසුරුවරයෙක් විදිහට සහභාගි වුණ පළමු ජාත්‍යන්තර තරගාවලිය.
දැනට කොපමණ තරග ප්‍රමාණයක් ඔබ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවද?
මම පුර්ණ කාලීනව විනිසුරුවරයෙක් විදිහට වැඩ කරන්න ගන්නේ 2008 වසරේ. ඒ ජපානයේදී. එදා සිට අද දක්වා මම ජපානයේ විතරක් බේස්බෝල් තරග දහසකට අධික සංඛ්‍යාවක් විනිසුරුවරයෙක් විදිහට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම දැනට මම ලෝක මට්ටමේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලි විස්සකට අධික ප්‍රමාණයක් විනිසුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර බේස්බෝල් තරග සියයකට අධික සංඛ්‍යාවක මම විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා.
ඔබ ලෝක මට්ටමේ බේස්බෝල් විනිසුරුවරුවරයෙක්?
ඔව්, ඇමරිකා, යුරෝපා, අප්‍රිකා හා ආසියානු මහද්විපවල පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීම තරගාවලි බොහෝමයක විනිසුරුවරයෙක් විදිහට මම කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ලෝක කුසලාන බේස්බෝල් තරගාවලි රැසක මම විනිසුරුවරයෙක් විදිහට සුදුසුකම් ලබාගෙන තියෙනවා. විනිසුරුවන් අතලොස්සකට පමණක් ලැබෙන බේස්බෝල් ලෝක කුසලාන අවසන් මහ තරග කිහිපයකම වගේ මම විනිසුරුවරයෙක් විදිහට සුදුසුකම් ලබලා තියෙනවා. මේ තරගාවලිවලට එන්නේ සංවර්ධිත රටවල ප්‍රබලම බේස්බෝල් කණ්ඩායම්. ඒ වගේම විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන ලෝක කුසලාන බේස්බෝල් තරගාවලි කිහිපයකත් විනිසුරුවරයෙක් විදිහට මම සුදුසුකම් ලබාගෙන තියෙනවා.
ඔබට අමතක නොවන තරගාවලි මේ අතර තියෙනවද?
ඔව්, ලෝක කුසලාන තරගාවලි සියල්ලම ඉතින් මට අමතක නොවන තරග තමා. ඊට අමතරව කියනවා නම් මෙක්සිකෝවේ පැවති බේස්බෝල් ෆයිව් ලෝක කුසලාන මට අමතක නොවන තරගාවලියක්. මොකද, ඒ තරගාවලියට මුළු ආසියාවම නියෝජනය කරමින් සුදුසුකම් ලබාගත්ත එකම කෙනා මම. ඒක මම හිතන්නේ මා මෙන්ම මගේ රට ලැබු සුවිශාල ජයග්‍රහණයක් කියලා. ඒ එක්කම මතක් කරන්න ඕනා 2018 වසරේ ඉන්දුනිසියාවේ ජකර්තාවල තිබුණ ආසියානු ක්‍රීඩා උළෙල. ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දෙතුන් සියයක් මේ තරගාවලියට ආවා. නමුත්, කිසිම කෙනෙකුට අවස්ථාව ලැබුණේ නැහැ අවසන් තරගයකට එන්න. නමුත්, මම ඒ තරගාවලියේ තිබුණ බේස්බෝල් අවසන් මහා තරගයට විනිසුරුවෙක් විදිහට සුදුසුකම් ලැබුවා. අවසන් තරගයක සිංහ ධජය ඒ හරහා ප්‍රදර්ශනය කරන්න මට පුළුවන්කම ලැබුණා.
ජාත්‍යන්තර බේස්බෝල් පිටියේ ඔබ විනිසුරුවරයෙක් පමණද?
ලෝක බේස්බෝල් සංගමය විසින් මා මාස 18ක කාලයක් 2020 ජපානයේ තෝකියෝවල තිබුණ ඔලිම්පික් තරගාවලියේ බේස්බෝල් හා සොෆ්ට් බෝල් කියන තරග අංශ දෙකේම මාව තාක්ෂණ මෙහෙයුම් කළමණාකරු විදිහට පත් කරලා තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ පැවති මෙම තරගාවලියේදී ඒක ලොකු වගකිමක් දරපු තනතුරක් වුණා. ඒ වගේම දැනට ආසියානු බේස්බෝල් සංගමය විසින් මාව නියෝජ්‍ය, විනිසුරු අධ්‍යක්ෂක තනතුරටත්, බටහිර ආසියානු විනිසුරු අධ්‍යක්ෂක තනතුරටත් පත් කරලා තියෙනවා. ලබන මාසේ හයවැනිදා ඉඳලා තුර්කියේ පැවැත්වෙන බේස්බෝල් ෆයිව් ලෝක ශූරතාවයේ නියෝජ්‍ය තාක්ෂණ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරනවා. ආසියාවේ රටවල් 25ක් තියෙනවා බේස්බෝල් ක්‍රීඩා කරන රටවල්. මෙහි පළමු ස්ථානවල ඉන්නේ ප්‍රබල ජපානය, කොරියාව, තායිවානය කියන රටවල්. ශ්‍රී ලංකාව වගේ රටක කෙනෙක් මේ වගේ තනතුරක් දැරිම ඇත්තටම විශේෂ දෙයක්. ඉතින් මගේ ඊළඟ ඉලක්කය තමා ආසියානු විනිසුරු අධ්‍යක්ෂක තනතුරට පැමිණිම. මම හිතනවා ඒ ඉලක්කය නුදුරේම මගේ සඵල වෙයි කියලා.
ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව නංවන්න ඔබ දුන් දායකත්වය?
ලංකාවේ මුල්ම බේස්බෝල් ක්‍රීඩාංගණය දියගම හදන්න ජපානයෙන් වගේම මම සේවය කරන හෝටල් සමුහයෙන් ඊට ලංකාවේ මුදලින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් හොයලා දුන්නා. ඊට අමතරව අවස්ථා ගණනාවකදීම මම ලංකාවේ පාසල්වලට ක්‍රීඩා සමාජවලට බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙනත් දීලා තියෙනවා. තව ලංකාවේ පුහුණුකරුවන්ගේ හා විනිසුරුවන්ගේ කඳවුරු පවත්වලා තියෙනවා. තවත් දින කිහිපයකින් මම ලංකාවට එනවා. ඒ ඇවිල්ලත් පුහුණුකරු හා විනිසුරු කඳවුරු කිහිපයක් මගේම දායකත්වයෙන් මම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවේ ගොඩක් දක්ෂ බේස්බෝල් ක්‍රීඩකයෝ වගේම කණ්ඩායම් තියෙනවා. ආනන්ද, නාලන්ද, ඩි. එස්, රිච්මන්ඩ්, පාසල් වගේම ශ්‍රී ලංකා නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම්වල ක්‍රීඩකයින් දෙතුන් සියයක් ජපානයට ගෙනැල්ලා ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකිම් ලබා දීලා තියෙනවා. ජපානයේ මම දැනට ජිවත් වුණත් ලෝක මට්ටමේ මොන තරගාවලියට ගියත් මම මගේ රටේ නම තමයි ඉදිරියට තියාගෙන ඉන්නේ.
සංවාදය : බුද්ධික සේනාධීර