lan englan tam

විශේෂාංග

සොඳුරු හිතුවක්කාරයා 'වික්ටර්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වික්ටර් රත්නායකයන්ගේ දිවි සැරිය පුරාම මා දකින එක්තරා චමත්කාරයක් වෙයි. ඒ සිය විෂය තුළ ඔහු දක්වන ‘හිතුවක්කාර දඩබ්බරකම’යි. වෙසෙසින්ම ගීතයක සංගීත සංයෝජනය තුළ ඔහු තුළින් විද්‍යමාන වන හිතුවක්කාරකම නිසාම ගීතයකට ඇතුළු වේ යැයි සිතාගත නොහෙන අලංකාරයක් මිහිරක් මතු කිරීමට වික්ටර් සමත්කම් දක්වයි. වික්ටර් සතු මේ මහඟු ප්‍රතිභාව පිළිබඳ මතක් කරමින් නැසීගිය විශාරද ගුණදාස කපුගේ සංගීතවේදියා මා සමඟ අපූරු සිදුවීමක් සිහි ගන්වමින් 1983 දී ප්‍රකාශයට පත් වූ අමරදේව ප්‍රතිසංවේදය නමැති කෘතියට ඔහු විසින් සම්පාදනය කරන්නට යෙදුණු සටහනක් මා අතට පත් කළේය. (අවාසනාවකට එම ලිපිය ඉහත කී ග්‍රන්ථය සංස්කරණය කිරීමේදී කිසියම් හේතුවක් නිසා ඉවත්කොට ඇති බව කපුගේ කනගාටුවෙන් මා සමඟ පැවසුවේය.) එහි වූ වික්ටර් සම්බන්ධව ලියැවුණු කොටස මා ඔහුගේ අවසරය ඇතිව පිටපත් කර ගත්තෙමි.

එහි වූයේ; “…. අමරදේවයන් බොහෝවිට උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ පිහිටා ගී තනු නිර්මාණය කරනු ලැබීය. සමහර ගීත ශුද්ධ රාග මතම පිහිටා නිර්මාණය වූ ඒවා යැයි මම සිතමි. ඉන්දියානු ආභාසය හා උතුරු ඉන්දියානු රාගධාරි සංගීතය තුළ කෙතරම් ආකර්ෂණය වී සිටියා ද කියනවා නම් ඔහු භාත්ඛන්ඩේ සිට පෙරළා ලංකාවට පැමිණි විගස ඩී.වී. පලුද්කාර් නම් විශිෂ්ට ඉන්දියානු ගායකයාගේ ගී තනුවකට සිංහල වචන යොදා ‘නවක චලිත සිත සුළඟ’ (මේ පදමාලාව මඩවල එස්. රත්නායකයන්ගේ යැයි සිතමි.) නමින් අති සුමධුර ගීතයක් ගායනා කළේය. නමුත් අමරදේවයෝ ආරම්භයේ සිටම සුගායනීය පදමාලා තෝරාගෙන තමන්ටම ආවේණික ස්වතන්ත්‍ර ආරක පිහිටා ගායනයට ප්‍රවිෂ්ට වූහ.
“අමරදේවයන් සිංහල ගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කෙළේය. ස්වකීය ප්‍රතිභාවෙන් සිංහල ගීතයේ ස්වතන්ත්‍ර පදනම ශක්තිමත් කළේය. මේ පදනම තුළ ශිල්පීහු ත්‍රිත්වයක් බිහිවූයේයැයි මට සිතේ. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි සහ මිල්ටන් මල්ලවආරච්චි යන තිදෙනා වෙති. ඒ අය අතරින් වික්ටර් සුවිශේෂීය. සරල සංගීතය තුළ සිංහල ගීතයේ විශාල නිම්වළලු පුළුල් කිරීමක් වික්ටර් අතින් සිදුවිය. ගීතයට ‘කවුන්ටර් මෙලඩීස්’ නොහොත් ‘අන්තර්සංවාදන’ ආදිය යොදා ගනිමින් රාගාශ්‍රිත ගී තනු තුළ සිර වී තිබුණු සිංහල ගීතයේ සීමා මාඉම් ඔහු සිඳ බිඳ දැමීය. එතෙක් සංගීත භාණ්ඩ කිහිපයකින් පමණක් නිර්මාණය වූ සිංහල ගීතවල වෙනසක් කරමින් වික්ටර් විසින් ඩ්‍රම්ස්, ඕබෝ, බැසූන්, සැක්සෆෝන්, චෙලෝ, ක්ලැරිනට්, ට්‍රම්පට්, කොරැංගලි වැනි ගුවන් විදුලියට ආගන්තුක සංගීත භාණඩ රැසක් එතුළට කැඳවාගෙන ඒමේ පුරෝගාමියා බවට පත්විය. මා තුළ ඇති කනගාටුව අමරදේවයන් තවමත් මේ උතුරු ඉන්දියානු රාගධාරී සංගීතය තුළම සිරගත වෙමින් මේ කාලීන වෙනස්වීම් අවබෝධ කර ගැනීමට ප්‍රමාද වෙමින් සිටීමය.” (උපුටා ගැනීම වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර – 2003 මුද්‍රණය – සූරිය ප්‍රකාශකයෝ 101-102 පිටු)
වික්ටර් රත්නායකයන්ගේ සංගීත දිවියේ 50 වසර සැමරුම් ග්‍රන්ථයට මේ සටහන ලියද්දී වරක් මෙවැනිම ප්‍රකාශයක් ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශයන් මා සමඟ පැවසූ ආකාරය සිහිපත් වේ. ඔහු ‘සිනා දොලක් වන් සිනාමලී’ ගීතය වික්ටර් වෙනුවෙන් රචනා කළේය. එසේ රචනා කළ ගීතය ඒ දිනවල ඔහු කපුගේට පෙන්වූයේය. එහි ස්ථායි කොටස අවසාන වන්නේ “ඇයි පිට පාරෙම අද?” යනුවෙනි. එම ගීතයේ අන්තරා කොටස් දෙකම අවසන් වන්නේ ද “ඇයි හිනා නැතුව අද?” සහ “ඇයි කතා නැතිව අද?” යනුවෙනි. ගීතය දෙස ස්වල්ප වේලාවක් නෙත් යොමා සිටි කපුගේ “ඇයි කුලේ මේ අවසාන පේළි තුනටම හිටි අඩියේ කැඩෙන පද පේළි තුනක් යෙදුවේ” යනුවෙන් කුලේගෙන් විමසුවේය. “නෑ මං මේක වික්ටර් අයියට දෙන්නයි ලීවේ” යනුවෙන් පිළිතුරු දුන්නේය. වික්ටර් තනු නිර්මාණාත්මක හැකියාව පිළිබඳ අවබෝධයකින් සිටි කපුගේ, කුලේට පිළිතුරක් නොදී සිනාසුණේ වික්ටර්ගේ නිර්මාණාත්මක කුසලතා පිළිබඳ තිබු අප්‍රමාණ විශ්වාසය නිසාය.
එකල ගුවන්විදුලියේ නම් දැරූ පටිගත කිරීම් ශිල්පීහු කිහිප දෙනෙක් උන්හ. යූ. ආරියවිමල්, ගුණදාස කපුගේ ඒ අතර ප්‍රධානය. වරක් වික්ටර්ගේ ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගීත වැඩසටහනක් යෙදී තිබුණි. අද මෙන් එදා වික්ටර් වැඩකට සූදානම් වන්නේ ඉමහත් සැලැස්මක් ඇතිවය. පටිගත කිරීම යෙදුණු දිනට පළමු දින වික්ටර් ගුවන්විදුලියට ගොඩ වැදුණේ පටිගත කිරීම කල් ඇතිව අදාළ ශිල්පියාට දැනුම් දීමටය. ඒ යන විටත් ප්‍රධාන පටිගත කිරීම් ශිල්පියා වූ ආරියවිමල් අසනීපව රෝහල්ගතව සිටි බව ආරියවිමල් සමඟ පටිගත කිරීම්වලට එක්වන කපුගේ, වික්ටර්ට දන්වා සිටියෙන්, “අනේ මචං හෙට මගේ සරල ගී. උඹ ඉන්නවා නේද?” කියා වික්ටර්, කපුගේගෙන් විමසා සිටියේය. “හරි හරි උඹ වරෙන්කො, මං ඔක්කොම බලා ගන්නං” කියා කපුගේ, වික්ටර්ට සැනසිලි වදන් දුන්නේය. පසුදා වික්ටර් ගුවන්විදුලියට යන විට කපුගේ පස්වන මැදිරිය සූදානම් කොටගෙන සිටියේය. මෙතැන් සිට සිදුවීම කපුගේ පැවසූ වදනින්ම මෙසේය:
“ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකං බලාගෙන හිටියා. එතකොට මං ගායකයෙක් නොවෙයි. අඩුම තරමින් එකම ගීතයක්වත් ගයනා කරල තිබුණේ නැහැ. මම පටිගත කිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා. ඔන්න වික්ටර් ආවා එකායි, දෙකායි, තුනායි, හතරයි… අන්තිමට වික්ටර් සමඟ පස්වන මැදිරියට ඇතුළු වුණා වාද්‍ය ශිල්පීන් විසිදෙදෙනෙක්. මට පිස්සු හැදුණා. මයික් හතරක් තියාන මං මොනවා කරන්නද කියලා. ඒ කාලේ ශබ්ද ඉංජිනේරුවරයා හැටියට වැඩ කළේ රංජිත් එදිරිසිංහ කියලා කෙනෙක්. අර ඒ දිනවල ප්‍රවෘත්ති නිවේදිකාවක් හිටියේ අශෝකා වනමලී කියල, එයාගේ සැමියා. ඔහුත් තරුණ වයසෙදිම මියගියා. ඔහු කළේ මොකක්ද අවට තිබුණු මැදිරිවලින් රැගෙන ආ තවත් මයික්‍රෆෝන් හත අටක් මැදිරියේ තිබූ මයික් හතරට අමතර මික්සිං යන්ත්‍රයක් ඈඳා සුවිශාල වාදක මණ්ඩලයක පටිගත කිරීමකට ඉඩකඩ ලබා දුන්නා. මට තාමත් මතකයි, එදා වික්ටර් සමඟ ආ වාද්‍ය ශිල්පීන් පිරිස. ඒ කාලේ ලංකාවේ සිටි ක්‍රීම් එක තමයි වික්ටර් එක්ක එදා ගුවන්විදුලියට ආවේ. රොක්සාමි, එඩ්ගා, ඩග්ලස් ෆර්ඩිනැන්ඩස්, බෙලා කර්කස්, ෂහර්දීන්, මිසිස් ප්‍රින්ස්, කැනියුට් ප්‍රනාන්දු, මිස්කින් පාපා, සෝමපාල, ඇත්තනි සාමි, පියදාස අතුකෝරල, එම්.ඩබ්ලිව්. පීරිස්, එම්.එම්. නූර්, සේන වීරසේකර වගේ හොඳම සෙට් එක. එදා මෙහෙම රෙකෝඩ් කළ සින්දුව මොකක්ද කියල දන්නවද? ඒ තමයි ‘මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී’ කියන ගීතය. මං එදා තමයි ඉගෙන ගත්තේ වික්ටර් කියන්නේ මොන තරම් සංගීත පරිචයක් තියෙන ශිල්පියෙක් ද කියන එක.”
වික්ටර් රත්නායක කියන සොඳුරු හිතුවක්කාරයාගේ දඩබ්බර සිතිවිලි අතරින් උපදින නාදමාලා මොන තරම් ගීතවත්ද යන්නට තවත් උදාහරණ අවැසි ද?
“නිහතමානීකම මෙන්ම කලාකරුවකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අභිමානය මුසු සියුම් ආඩම්බරයක් ඔබ සතුය.” විශාරද නීලා වික්‍රමසිංහ බොහෝවිට අභිමානය මුසු ආඩම්බරය යනුවෙන් හඳුන්වනුයේ ද මේ සොඳුරු හිතුවක්කාර කමම විය යුතුය.
වික්ටර් තරම් සිංහල සරල ගීතය උඩුයටිකුරු කළ නිර්මාණකරුවෙක් නොමැති තරම්ය. අති දක්ෂ සූපවේදීන් බොහෝ විට සූපය රසවත් කිරීමට යොදා ගන්නේ අපට සිතාගත නොහෙන අනුපානය. අනුපාන පමණ දැන යොදා ගැනීම කෘතහස්ත සූපවේදියකු සතු අද්විතීය ගුණාංගයකි. මොන තරම් රසකාරක යෙදුවත් තමන් පිසින සූපය නීරස නම් සූපවේදියා අසාර්ථකය. වික්ටර් සතු ඉසියුම් කුසලතාව වන්නේ නිර්මාණයකදී හෝ ගීතයක නාද සංකලනයකදී වචනවලට යා නොහැකි දුරකට එහි වචනවලින් කියා පාන අරුත සිය නාද භාවිතය තුළින් තීව්‍ර කිරීමයි. අද සමහරු ගීතයකට සංගීත භාණ්ඩ රැසක් යොදා ගත්තත් අවසානයේදී එමඟින් රසමාධූර්යයක් මතු නොකරන්නේ නම්, නාද භාවිතාව තුළින් මතු වන්නේ සංගීත භාණ්ඩ රැසක් ඝෝෂාවක් නම් එහි ඇති ඵලය කුමක්ද? අද අපට ඇසෙන බොහෝ නව ගීත පිළිබඳව කිව යුත්තේ ද එයයි.
කාව්‍යයෙහි ප්‍රධාන අංගය අර්ථය වන අතර, ගීතයෙහි නාදය ප්‍රධාන වෙයි. මාතාංග නමැති ආචාර්යවරයා මෙලෙස පවසා ඇත්තේ එහෙයින්ය.

‘න නදේන විනා ගීතං
න නාදේන විනා ස්වරම්”
(නාදය නැති තැන්හි ගීතයක් නැත. නාදය නැති තැන්හි ගැයෙන වැයෙන ස්වරයක් ද නැත.)

ඔහු සමඟ එක්ව හිඳ නිර්මාණකරණයට දායක වූවකු හැටියට මා ලද අත්දැකීම වනුයේ ඔහු අතට පත් ගීතයක වචනවලට වඩා හෙතෙම උනන්දු වනුයේ එය ලියැවී ඇති රිද්මයට ගැළපෙන නාදමාලාවක් උපයෝගී කැර ගැන්මටය. ඔහු ඒ පදවැල තුළ සොයනුයේ ඒ තුළ ඔහුට රිසි සේ නාදය හැසිරවීමට ඇකි ඉඩකඩයි. ඔහු සංගීතවේදියාගේ කාර්යභාරය මනාව තේරුම් ගෙන සිය කාර්යයට බසී.
ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත භාවිතය මොන තරම් අපූරු ද? ‘මාතර ආච්චි’ චිත්‍රපටයට ඔහු යොදාගෙන තිබූ ගී තනු දෙස නැවත විමසා බැලීමේ දී මේ බව අපට පසක් වනු ඇත. එහි තේමාව වූ ‘රන් දේදුනු රන් පාටින්’ (ගායනය:මිල්ටන් මල්ලවආරච්චි ඇතුළු පිරිස) ගීතයට වඩා සිය ජීවිතයේ ප්‍රථම වරට සුනිල් එදිරිසිංහයන් ගැයූ ගීතය වූ ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ තේමා ගීතයැයි රසිකයා හඟින්නට තරම් අපූර්ව නිර්මාණයක් බවට පත් වූ ආකාරය විමසා බලන්න. එහි පදමාලාව අතික්‍රමණය කරමින් වික්ටර් යොදාගෙන ඇති නාද සංකලනය දෙස බලන්න. ආමුඛ සංගීතය (ඓන්ට්‍රොඩුcටිඔන්), අන්තර් සංවාදන (Cඔඋන්ටෙර් Mඑලොඩීස්) යොදාගෙන ඇති මනෝරම්‍ය ආකාරය විමසන්න. මෙතැනදී මේ හිතුවක්කාර සොඳුරු දඩබ්බරයා නාද සංකලය තුළින් නොනැවතී එදා ගායනයට ආධුනිකයකු වූ සුනිල් එදිරිසිංහයන් එක රැයින් පසුබිම් ගායකයකු බවට පත් කළේය. එමතුදු නොව, සුවහසක් රසික පර්ෂදයක් තුළ ඔහුව ඔසවා තැබීමට තරම් වික්ටර් ‘හිතුවක්කාර’ වී ඇත.
ඔහුගේ චිත්‍රපට සංගීතයේ සන්ධිස්ථානයක් වූ ‘සරුංගලේ’ චිත්‍රපටයට නිර්භයව දක්ෂිණ භාරතීය රාගධාරී සංගීතයේ නාදමාලා උපයෝගී කර ගනිමින් තවමත් කිසිවකු නොකළ අන්දමේ හත්හදා බැලීමක් සිදුකොට ඇත. දක්ෂිණ ඉන්දීය කර්ණාටක සංගීතයේ ධ්වනි භාවිතය තුළින් චිත්‍රපටයේ නඩරාජාගේ චරිතය මතු කිරීමට ඔහු අපූර්ව උත්සාහයක් දරා ඇත.
‘හුලවාලි’ චිත්‍රපටයට ඔහු එකිනෙකට වෙනස්ව යොදාගෙන ඇති නාදමාලා විමසා බලන්න. එතැන දී ද ඔහු සිය සුපුරුදු ‘හිතුවක්කාරකම’ට ඉඩ දී ඇත. ඒ නොවන්නට බන්ධුල විජේවීර නම් චිත්‍රපට පසුබිම් ගායකයකු මතු නොවන්නට ඉඩ තිබුණි. “කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ” සිට බන්ධුලව කැඳවාගෙන පැමිණියේ ද වික්ටර්ය.
වික්ටර් රත්නායකයන්ට අනුව ගීතය කියන්නේ කර්ණ රසායන නාදමාලාවක් ඔස්සේ සකස් වුණු තනුවක තිබිය යුතු සප්ත ස්වරයේ ස්වරවලට චලන වාර නියාමාකාරයෙන් ගායනා කළ හැකි ශිල්පියකුගේ මුවින් ගැයෙන්නක්. ගීතයේ ආත්මය සංගීතයේ නාද රටාව, ගංගාවක සිලිසිලය, සියොතුන්ගේ කිචිබිචිය, බට ලී නළාවක හඬ මේවා සංකලනය වූ විට අපට පුළුවන් ධ්‍යානයකට සමවදින්න. ගීතයක මුල මේ නාද රටාවයි. ඒවායේ නිශ්චිත පදමාලාවක් නොමැති වුවත්, අර්ථයක් නොමැති වුවත්, අපේ සිතිවිලි සසල කරන ශක්තියක් ඒ හඬට තියෙනවා. ගීතයක සෞන්දර්යය යනු එයයි. සැබෑවටම ගීතයකින් කළ හැක්කේ රසිකයා විවිධ රසභාවයන්ට හුරු කරවීමයි.
සිහිල් සුළං රැල්ලේ ගීතය තුළ ද ඇත්තේ එහි පදවැලෙන් ඔබ්බට යන සංගීත නිර්මාණයක්. කඳු වළලු ගැටී සිහිලැල් සුළඟ එහි සිහිලස, ශ්‍රාවකයාට දැනෙන පරිදි වික්ටර් එහි සංගීතය නිර්මාණය කරනවා. වර්ඩ්ස්වර්ත්, ෂෙලී, මහගමසේකර වැනි කවීන්ගේ රොමෑන්ටික් ශක්තිය ඔහු සංගීතයෙන් ඉටු කරයි.
මෙහිදී මට සිහිපත් වන්නේ නැසී ගිය සංගීතවේදී ආචාර්ය ලයනල් අල්ගමයන්, වික්ටර් පිළිබඳව මා සමඟ නිතර පැවසූ දෙයක්. “වික්ටර්ගේ ගී තනු ඉන්දියානු රාගධාරී සංගීතයේ ස්වර සංගතීන් හා බැඳුණු ස්පර්ශයක් ඇතත්, ඔහු ගී තනු නිමවා ඇත්තේ තමන් විසින් නිර්මාණය කරන ගීතයේ රාග අංග කිසි විටෙක නොපෙනෙන පරිදිය. ගීතයක් නිර්මාණය කිරීමේදී රාග අංග සඟවා නිර්මාණය මතුකොට දැක්වීමේ පුදුමාාකර සුවිශේෂත්වයක් වික්ටර්ගේ ගී තනු තුළ මා දකිනවා” යනුවෙන් අල්ගමයන් මා සමඟ පැවසූ වදන් මෙසේ කෘතගුණවේදීව උපුටා දක්වන්නට මා කැමැතිය.
එකල ගුවන්විදුලිය තුළ සංගීත අංශය පැවැතියේ කිහිපදෙනෙකුගේ අභිමතයන් පරිදි සකස් කරගත් සම්ප්‍රදායයන් රැගත් වටපිටාවකය. ගුවන්විදුලියේ සංගීත අංශය සඳහා භාවිත කළ යුතු සම්මත වාද්‍ය භාණ්ඩ කිහිපයක් නිර්ණය කොට තිබිණ. පටිගත කිරීම් සඳහා පිටතින් රැගෙන ආ යුතු වාද්‍ය භාණ්ඩ සඳහා ද මේ නීතිය ක්‍රියාත්මක වී තිබිණි. නවසිය හැට ගණන්වල මැද භාගයේ සිට ගුවන්විදුලියේ සරල ගීත වැඩසටහන් සඳහා පැමිණෙන වික්ටර් අරභයා ද මේ නීතිය බලගැන්වී තිබුණේය. වාද්‍ය භාණ්ඩ හතරකින් හෝ පහකින් හෝ පටිගත කිරීමක් බලධාරින් බලාපොරොත්තු විය. පුපුරා යන තරමේ නිර්මාණවේශයකින් සන්නද්ධව සිටි වික්ටර් මේ සාම්ප්‍රදායික නීති රීති තඹ පයිසයකට මායිම් නොකොට සිය වැඩසටහන් සඳහා මේ සම්ප්‍රදායයන් සිඳ බිඳ දැමීමට නිර්භය විය. ඔහු එසේ ‘හිතුවක්කාර’ නොඑසේ නම් ‘දඩබ්බර’ නොවූයේ නම් “අපි ඈතට ඈතට පා නඟලා ගන වනන්තරේ අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ” වැනි ගීතයක් කිසි දිනෙක අපට ශ්‍රවණය කරන්නට නොලැබෙනු ඇත. අපේ දේශීය ගීතය තුළට බටහිර වාද්‍ය භාණ්ඩ නාද මුසුව කදිමට එක්කළ වික්ටර් එදා මෙදා තුළ සර්වකාලීන ගීත රැසක් අපට දායාද කොට තැබුවේ මේ ‘හිතුවක්කාර දඩබ්බරකම’ නිසාමය.
ඔහුගේ ගීත නිර්මාණ තුළ රසික අප සව්දිය පුරන්නේ මේ සොඳුරු ‘හිතුවක්කාරකම’ නිසාම යැයි මම සිතමි. ඔහුගේ පනස් වසරක සංගීත චාරිකාව තුළ ඔහුට අභියෝග කළ හැකි වූයේ අන් කවරකුටවත් නොව, ඔහුටම පමණය.

ගීතනාත් කුඩලිගම

Back to top
Go to bottom

Popular News