lan englan tam

පුවත්

කාන්තාවනි, බඩේ රැලි කිහිපයක් තිබුණත් සතුටු වන්න; කේට් වින්ස්ලට්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කාන්තාවන් තමන්ගේ "සැබෑ [ශරීර] හැඩය" පිළිබඳව තෘප්තිමත් විය යුතු බව ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනියක වන කේට් වින්ස්ලට් බීබීසීයට පවසා තිබේ. ඇය එම අදහස් පළ කළේ, මෑතකදී චිත්‍රපට රූගත කිරීමකදී ඇගේ උදරයෙහි රැලි සැඟවීමට ඍජුව අසුන් ගන්නා ලෙස ඇයට උපදෙස් ලැබීමෙන් පසුව ය.

ලෝරා කුවෙන්ස්බර්ග් සමග ඇගේ මීළඟ චිත්‍රපටය වන ළී චිත්‍රපටය පිළිබඳව කතා කරමින් කේට් වින්ස්ලට් පැවසුවේ, දෙවන ලෝක යුද්ධයේදී ඡායාරූප ශිල්පිනියක ලෙස ගෞරවයට පාත්‍ර වූ මෝස්තර නිරූපිකාවක වූ ලී මිලර්ගේ චරිතය නිරූපණය කිරීම තමන්ට පැවරුණු කාර්යය වූ බව ය.

"ඇය බර එසවීම හෝ සිරුර හැඩ කරන ව්‍යායාම කළේ නෑ. ඇය චීස්, පාන් කෑවා. වයින් බිව්වා. ඒවා ගැන ලොකුවට තැකීමක් කළේ නෑ. ඒ නිසා එයාගේ ශරීරය මෘදු එකක් වෙන්න ඇති," වින්ස්ලට් පැවසීය.

ඇය පැවසුවේ, කාන්තාවන් තමන්ගේ "සැබෑ හැඩය, මෘදු බව සහ බඩේ රැලි කිහිපයක් පැවතිය ද," ඒ පිළිබඳව සතුටු විය යුතු බව ය.

"අපි බොහෝවිට පුරුදු වෙලා ඉන්නේ සමහර විට යමක් දැකීමෙන් ඒක විඳින්න නෙවෙයි. සහජ බුද්ධියෙන් එන අමුතු ම දෙයක් තමයි යමක් දැක්කා ම ඒක විවේචනය කිරීම," ඇය පැවසුවා ය. "කාන්තාවන්ට ලේබල් අලවන්න මිනිස්සු කොතරම් කැමති ද කියන එක අපූරු දෙයක්."

වින්ස්ලට් පැවසුවේ, මෙම මාතෘකාව සංවාදයට බඳුන් විය යුතු එකක් බව ය.

"ජීවිතය ඉතාමත් කෙටි යි," ඇය සඳහන් කළේ ය. "ආපසු හැරිලා බලන්නවත්, 'ඒ ගැන මම කනගාටු වුණේ ඇයි' කියල අනුමාන කරන්නවත් මට ඕන නෑ. මම තවදුරටත් ඒවා ගැන කරදර වෙන්නෙ නෑ."

48 හැවිරිදි කේට් වින්ස්ලට්, කාන්තාවන් අතර වීරවරියක ලෙස සැලකෙන අතර, ශරීර හැඩය මත නින්දාවට ලක්කිරීම්වලට එරෙහිව ඇය විවෘතව කතා කර තිබේ.

එක්සත් රාජධානියේ හාපර් බසාර් සමග මෑතකදී කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී, කේට් වින්ස්ලට් 'ලී' චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඇගේ "උදරයේ රැලි" සඟවා ගැනීම සඳහා ඍජුව වාඩි වන ලෙස පැවසීම ගැන කතා කළා ය.

"ලී කියන ඡායාරූප මාධ්‍යවේදිනිය බිකිනියක් ඇඳගෙන බංකුවක වඩා වෙලා ඉන්න දර්ශනයක් තිබුණා," වින්ස්ලට් පැවසීය. "කාර්ය මණ්ඩලයේ කෙනෙක් රූගත කරන තැනට ඇවිත් කිව්වා, 'ඍජුව වාඩි වෙන්න' කියලා. ඔහු එහෙම කිව්වේ මගේ බඩේ රැලි පේන්නෙ නැති වෙන්න ද? ඒක කොහෙත් ම නොවිය යුතු දෙයක්. ඒක හිතාමතා කළ දෙයක්."

තිරය මත "පරිපූර්ණත්වයට වඩා අඩු” ලෙස පෙනී සිටීමට කැමති දැයි වින්ස්ලට්ගෙන් විමසූ අතර, එයට ඇය මෙසේ පිළිතුරු දුන්නා ය: "විරුද්ධ යි. එය මගේ මුහුණ මත මගේ ජීවිතය ලියවී ඇති නිසා මම ඒ ගැන ආඩම්බර වෙනවා, ඒක මට වැදගත්. එය වසන් කරන්න මට හිතෙන්නේ නැහැ. ”

"ගෙවී යන හැම අවුරුද්දක් ගාණෙ ම මට මගේ ගැන පහසුවක් දැනෙනවා. ඒ හරහා අනිත් අයගේ අදහස් වාෂ්ප කරල දාන්න මට ඉඩ ලැබෙනවා," ඇය වැඩිදුරටත් පැවසීය.

ගයි ලැබර්ට් බීබීසී වාර්තාකරුගේ වාර්තාවකි

Back to top
Go to bottom

Popular News