lan englan tam

හාගල කන්ද, පහන්තුඩා ඇල්ල හා බෙලිහුල් ඔය තරණය (ඡායා)

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මෙතරම් සුන්දර රටක ඉපිද එම සුන්දරත්වය විඳීමටද නොහැකි නම් එය දුකට කරුණකි. නමුත් අප එම සුන්දරත්වය විඳින්නට වාසනාව ලද්දෝ වීමු. එම නිසාවෙන් යම් යම් කරුණු කාරණා මත එය විඳින්නට, යන්නට නොහැකි අයට එම සුන්දරත්වය වචනයකින් හෝ ලබාදෙන්නට ගන්නා උත්සහයකි මෙය.

දිනය 2017 පෙබරවාරි මස 24 වන දාය. අලුයම 3.30 ට පමණ කොටුවෙන් පිටත් වූ අපගේ ගමනාන්තය වූයේ බෙලිහුල්ඔයයි. කාළගුණය ඉතාමත්ම යහපත්ව පැවතුණි. උදෑසන 7.00ට පමණ බෙලිහුල් ඔය ලඟින් බැසගත් අප එතැනින් ඉහළට ඇති පාර දිගේ ගමන් ඇරඹුවේ උදෑසන ආහාරයෙන් අනතුරුව පහන්තුඩා ඇල්ල සොයා යෑමටයි. ගැමියන්ගේ පිළිගැනීමද යහපත් තත්වයක පැවතුණි. “ආ.. මහත්තුරු. කන්ද නගින්න යන්න වගේ. වැස්සත් නෑ. අද හොඳ දවස. මගේ නම්බරේ දාගන්න. හදිසියක් වුණොත් කෝල් එකක් ගන්න.“ ඒ ගමේ විහාරස්ථානය අසලින් යන විට එහි සිටි හාමුදුරු නමකි. මාර්ගය දිගේ ඉදිරියටම ගිය අප රාත්‍රීය සඳහා අවශ්‍ය කළමණා ද රැගෙන බෙලිහුල්ඔය ආසන්නයටම පැමිණියෙමු. කිහිපදෙනෙකු සිටි නමුත් ලොකු සෙනඟක් දකින්නට නොවීය. අපගේ ගමනාන්තය වූ හාගල මුදුනද ඈතින් පෙනෙන්නට තිබුණි. හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී සමනළ වැව දක්වා ගලා යන, නෙත වශී කරවන දර්ශනයන්ගෙන් අනූන බෙලිහුල්ඔය පරිසරය සීතල කරමින් ඉදිරියටම ඇදෙයි. බෙලිහුල් ඔය දිගේ තරමක් ඉදිරියට ගිය පසු අපට හමුවුණේ පහන්තුඩා ඇල්ලයි. බෙලිහුල් ඔයේ විශේෂත්වය නම් තාප්ප දෙකක් මෙන් විශාල ගිරි ශිඛර ‍දෙකකින් දෙපස සෑදී තිබීමයි. පහනක තුඩේ හැඩයට සමාන වූ නිසාවෙන් මෙය පහන්තුඩා ඇල්ල ලෙස නම් වී තිබේ. හාගල කන්ද මුදුනට යාමට නිශ්චිත මාවතක් නොවු නිසාවෙන් පාරක් සොයාගෙන යන්නට අපට සිදු විය. පහන්තුඩා ඇල්ල අසලදී අංශක 70 – 80 පමණ කෝණයන්ගෙන් යුත් බෑවුම් නගින්නට අපිට සිදු විය. ඉන් අනතුරුව බෙලිහුල් ඔය දිගේ ඉහළට ඇදුණු අපට හාගල දෙසට එළි පෙහෙළි වූ මාවතක් දකින්නට ලැබුණි. 

ඒ ඔස්සේ ගමන් ගත් අපට අවසන හමුවුණේ පුංචි පැල්පතකි. නමුත් පාර අසන්නටවත් කවුරුන් හෝ නොසිටිය බැවින් ඒ ආසන්නයේ වූ තේ වත්තක් දිගේ ගමන් ඇරඹුවෙමු. තවත් පැල්පතක් පෙනෙන්නට තිබුණි. මිනිස් කටහඬ කීපයක්ම ඇසුණ නිසාවෙන් ඒ දෙසට ළංවූයේ පාර අසා දැනගැනීමටයි. ඉතා සුහද පිළිගැනීමක් සිදු විණි. ඒ කරුණාරත්න මාමාත්, ඇගේ බිරිඳ, දුව හා පුතාගේ තේවත්තේ ඇති පැල්පතයි. “ඉතිං පුතාලට මහන්සිත් ඇතිනේ. බෙලිහුල් ඔය දිගේද ආවේ ? කහට උගුරක් බොමු. අපි නං දැන් මේ බිව්වා විතරයි. ඒ වචන කිහිපයද ඒ මොහොතේ අපගේ පිපාසය සංසිදුවන්නට ප්‍රමාණවත් විය. “අපි ගෙනාපු බත් ඇති. කන්ද නගිනවනම් කාලම යං.“ ඒ නැන්දාය. ඇත්තෙන්ම අප සිටියේ දැඩි කුසගින්නකිනි. රතු හාලේ බත්ද පොලොස් වෑංජනයද, වත්තෙන්ම නෙලා ගත් තේ දළුවලින් සැදු තේ කහටද අපට දිව්‍ය භෝජනයක් බඳු විය. බුලත් කෑ නිසා රතු වු මුවෙන් නැගුණු සිනාව අව්‍යාජ ගැමියෙකුගේ ප්‍රතිරූපය කියා පෑවේය. ගිරයෙන් පුවක් ගෙඩියක් සුද්ධ කරන ගමන් “ අර ඈතින් පේන කන්ද තමා පුටුපාවකහීන්න කියන්නේ. ඔය කන්දේ ඉඳන් රාවණා රජ්ජුරුවෝ මේ හාගල කන්දේ හිටපු හාවෙක්ට ඊයක් විදලා තියෙනවා. කන්ද විදගෙනම ඊය ගිය නිසා මේ කන්ද හාවාගල වුණා. පස්සේ ඒක හාගල වුණා. තාමත් ඕක මුදුනේ පැත්තක් කඩාගෙන ගිය විදිය පේන්න තියෙනවා. ඔය පුටුපාවක හීන්න කන්දේ පුටුවක් වගේ ගලක් තියෙනවා. අර කන්ද තමා දොරපෑලියගල කියන්නේ. ඊට මැදින් තමා බෙලිහුල් ඔය පටන් ගන්නේ. අර පහළින් පේනේනේ අපේ ගම. හාගල. ආයේ ආවොත් වෙලාවක ඇවිත් යන්න එන්න.“ එතෙක් පැමිණි දුර සියළු වෙහෙස මහන්සිය දුරු විය. කැලයක් මැද දෙවිවරු වැඩසිටියා වැනි හැඟීමක් මොහොතකට අපට දැනුණි.

තේවත්තෙන් පසුව ඇති ගල්වැටද පැන කන්ද මුදුනට ගමන් ඇරඹීමු. නිශ්චිත මාවතක් නොවීය. මුලින්ම උස ගස් සහිත කැලයෙන් අනතුරුව මාන පඳුරු සහිත කැලයද, ඉන් අනතුරුව ගල් සහ තණකොළ පඳුරු සහිත බිම් කඩද පසු කරමින් ඉදිරියටම ගියෙමු. නගින්නට තිබුණේ දැඩි බෑවුම් සහිත මගක නිසාවෙන් වෙහෙස මහන්සියද අධික විය. නමුත් ඉහළට යන විට පෙනෙන සුන්දර දසුන් නිසාවෙන් වෙහෙස දුරු විය. කාළගුණය යහපත්ය. වැස්සක ලකුණක් වත් නොමැති තරම්ය. අව් රශ්මිය තරමක් අධික විය. මුදුනට ළඟා වන විට වේලාව දහවල් 3.00 පමණ වී තිබුණි. මුදුනේ පැවතියේ තැන්නකි. වට පිටාවම ඇවිදිමින් සිතු සේ නරඹන්නට හැකියාව ලැබිණි. එක් පසෙකින් සමනළ වැවද, සබරගමුව විශ්වවිද්‍යාලයද, බදුලු පාරද, අනෙක් පසෙන් පුටුපාවකහීන්න කන්ද, දොරපෑලියගල කන්ද, හෝර්ටන් තැන්න, ලෝකාන්තය, බෙලිහුල් ඔයද අනෙක් පසෙන් දෙතනගල ආදී කඳු පන්තීන්ද සමන්විත වී තිබුණි. අංශක 360ක වපසරියක් නැරඹිය හැකි ස්ථානයක් ලෙස හාගල හැඳින්විය හැක. එමෙන්ම මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1330ක පමණ උසකින් යුක්ත වේ.

නමුත් ප්‍රශ්නය වූයේ වතුර සොයාගැනීමයි. ඉතිරි වී තිබුණේ පුංචි වලක් හැරෙන්නට අප ගෙන ගිය වතුර බෝතල් තුන පමණි. සතුන් දකින්නට නොලැබුණු අතර සතුන් සිටින බවට සාධක තිබුණි. ඒ අතර ගෝනා, හාවා, කුරුළු විශේෂවලට අමතරව කොළ දිවියෙකුගේ හෝ හඳුන් දිවියෙකුගේ අඩි සළකුණක්ද දකින්නට ලැබුණි.

කඳවුරු බැඳ රාත්‍රී ආහාරයද පිළියෙල කොට ගිනි මැලයක් දැල්වූයේ රෑ බෝ වන විට සීතලත් සමඟ පැමිණි ඝන මීදුම නිසාවෙනි.

උදෑසනම අවදි වී වෙනත් පසෙකින් කන්ද බැසීම ආරම්භ කළ අපි තරමක් අසීරුතාවයකට මුහුණ පෑවේ, කන්ද නැගී මාර්ගයට වඩා මෙය අපහසු මාර්ගයක් වූ නිසාවෙනි. එහි බෑවුම අධික විය. එක්වනම විශාල බෑවුම් හමු විය. අව් රශ්මියද අධික විය. ජලය හිඟතාවයකින්ද පසු වූ නමුත් අප ලද ත්‍රාසජනක අත්දැකීම් සම්භාරය ජීවිතයේ කිසිදා අමතක නොවනු ඇත. ඉන්පසු බෙලිහුල් ඔයට ජලය ලැබෙන කුඩා ඇළ මාර්ගයකට පිවිසෙන්නට අපට හැකි විය. එය දිගේ පහළට බැසීම ත්‍රාසජනකත්වයේ උපරිමයට අපව ගෙන ගියෝය. ඇති තරම් ජලය පානය කොට එම ජල මාර්ගය දිගේම පහළට ගිය අපට තැනින් තැන මිනිසුන් දමා තිබු පොලිතීන්, කුණු ආදීය දකින්නට ලැබුණි. මේ වන විට කන්දේ මුදුනේ තිබීද එකතු කරගත් කුණු මල්ලක්ම අප සතුව තිබිණි. කිවයුතු කාරණය නම් බෙලිහුල් ඔය දිගේම පහළට පැමිණි අප සතුව කුණුමලු දහයක් පමණ එකතු වී තිබීමයි. අවසානයේ බෙලිහුල් ඔයෙන් නා පිරිසිදු වී කොළඹ බලා පිටත් වූයේ දින දෙකක අමතක නොවන මතක රාශියක්ද ඇතිවය.

ඔබත් මෙම ස්ථාන නරඹන්නට යන්නේනම් පරිසරය ඇතිතරම් විඳින්න. නමුත් පරිසරයට අයිති නැති කුණු කිසිවක් නොදමන්නට වග බලා ගන්න. වෙන අය දැමූ කුණු තිබේනම් ඒවාත් ඉවත් කරන්න...

 -ආසිරි කුලතුංග-

Face Book Setup 01

Back to top
Go to bottom

Popular News