lan englan tam

පුවත්

විනෝදය ස්ථාවරය කරගත් ඉතාලියේ ගායකයා - නදිත් ද සිල්වා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දැනට ගී නිර්මාණ බොහෝමයක් එළිදක්වා ඇති තරුණ ගායන ශිල්පියෙක් තමයි නදිත් ද සිල්වා කියන්නේ. මේ වනවිට ඉතාලියේ රැකියාවක නිරතව සිටින ඔහු නුදුරේම තවත් අලුත් ගී නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට සූදානමින් සිටිනවා. මෙවර මිරර් ආර්ට්ස් තුළින් අප ඔහුටද මෙසේ ඉඩක් වෙන් කළා.

කාලයක් වෙනවා නේද ඔබ ක්ෂේත්‍රයට ඇවිල්ලා?
ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම අවුරුදු දහයකටත් වැඩියි. මුලින්ම ගීතයක් නිකුත් කළේ 2009 වසරේ. හොඳයි මචං.. කියලා. එතැනින් තමයි ගායකයෙක් විදිහට මගේ ගමන ආරම්භ වෙන්නේ. හැබැයි මේ ආපු ගමන දිහා හැරිලා බැලුවොත් ඒක බොහෝම දුෂ්කර ගමනක්. හැලහැප්පිම්වලින් පිරුණු ගමනක්. අපේ වචනවලින් කියනවා නම් ලොකු කට්ටක් කාලා ආපු ගමනක් ගමනක්. නමුත්, ඒ කාපු කටුවල ප්‍රතිපල මම අද භුක්ති විඳිනවා. ඒ ගැන ගොඩක් සතුටුයි මට.


මතකද ඔබ මුලින්ම ගායනා කරපු ගීතය?
හොඳයි මචං. ඒක තමයි මගේ මුල්ම ගීතය. ලංකාවේ ගොඩක් ශ්‍රාවකයෝ කතා කරපු ගීතයක්. දැන් නම් මේ ගීතය බොහෝ දෙනෙකුට මතකද දන්නේ නැහැ. ගීතය ලිව්වේ සම්පත් නුරාධ. සංගීතවත් කළේ අමිත් ගුරු. මගේ ගායන දිවියේ මට මුණ ගැසුණ සුන්දර මිතුරන් දෙදෙනෙක්. හොඳයි මචං ගීතය ලංකාවේ බොහෝ පිරිසක් ආදරයෙන් රසවිඳපු ගීතයක්. විශේෂයෙන්ම කියන්න ඕනා ඒ කාලේ ලංකාවේ සමාජ මාධ්‍යය ලොකුවට ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. එවැනි වතාවරණයක් මැද මේ ගීතය ඉහළ සාර්ථකත්වයක් ලැබුවා.


අද වෙන කොට ගීත කොපමණ ප්‍රමාණයක් ඔබ නිකුත් කරලා තියෙනවාද?

දැනට මම ගීත විස්සක් විතර නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඒ ගීතවලට රූප රචනා දහයක් විතර නිර්මාණය කරලා තියෙනවා. අහම්බෙන් වගේ.... දමිළ බසින් ගැයූ අලේයි පායුතේ, අපිත් එක්ක යන්, ගිනියම් වූ, හිතුවක්කාර බඹරුන් කියන මගේ ගී නිර්මාණ මිනිස්සු අතරට ගියා. ඒ වගේම කතාබහට ලක් වුණා. අන්තිමට මම කරපු 'නුඹ එන්න යළි නොඑනා' ගීතයත් මිනිස්සු අතරට ගියා. ඉතින් දැනට නිකුත් කරපු නිර්මාණ ගැන මම ගොඩක් තෘප්තිමත් වෙනවා.


ඉදිරියට එන්න තියෙන ඔබගේ නිර්මාණ මොනවද?

ගීත කිහිපයක්ම මගේ එන්න තියෙනවා. ඒ වගේම දැනට වැඩ නිම කරමින් යන ගීතත් තියෙනවා තව පහක් විතර. මම දැන් ඉන්නේ ඉතාලියේ නිසා මේ වැඩවලට කාලය සොයා ගැනිමේ අපහසුවක් මට තියෙනවා. උපරිම උත්සාහ කරනවා ඉතා ඉක්මණින් මේ වැඩ නිම කරලා ඒ ගීත ටික මගේ රසික, රසිකාවියන්ට ලබා දෙන්න.

 

ගායකයෙක් විදිහට දැන් ඔබ මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරද?
ස්ථාවරද කියන්න මම දන්නේ නැහැ. මොකද, මේක මම විනෝදයට කරන වැඩක්. හැබැයි අපි හොඳ නිර්මාණයක් කළොත් මිනිස්සු ඒක භාරගන්නවා. ඒ වගේම ආසාවෙන් රසවිඳිනවා. මට අවශ්‍ය කරන්නේ අන්න ඒ දේ මිනිස්සුන්ට දෙන්න. මගේ ඉදිරි නිර්මාණ ගැන මම ලොකු විශ්වාසයකින් ඉන්නවා. මොකද, මට හිතෙනවා මිනිස්සුන්ට බලාපොරොත්තු වෙන රසය ඒ ගී නිර්මාණවල තියෙනවා කියලා. ඒ වගේම මෙතැනින් එහාට මම ගොඩක් වෙලාවට බලනවා මගේ රසයට වඩා මිනිස්සු ඉල්ලන රසයට අනුව ගීත නිර්මාණය කරන්න.


විදෙස් රටක සිටිම නිර්මාණ එළිදැක්වීමට බාධාවක් නැද්ද?
ඇත්තටම අමාරුයි. රටවල් දෙකක ඉඳගෙන ගීත නිර්මාණය කරන එක. ලොකුම ගැටළුව තමා රටවල් දෙකේ වෙලාව පැය කිහිපයකින් වෙනස් වීම. මම නිදහස් වෙලාවට ලංකාවේ ඉන්න අය නිදි. ලංකාවේ ඉන්න අය නිදහස් වෙලාවට මම රැකියාවත් එක්ක කාර්යබහුල වෙනවා. ඉතින් සති අන්තයේදී තමයි අපිට කරන වැඩකට කාලය යොදාගන්න පුළුවන් වෙන්නේ. තව කාරණයක් තියෙනවා ගීත නිකුත් කරන විට ඇතිවෙන ගැටළුව. මම ලංකාවේ අන්තිමට ඉන්න කොට තිබුණේ රෝඩියෝ පැකේජ්. දැන් නම් අනං මනං ගොඩක් තියෙනවා. නමුත්, කියන්න කණගාටුයි. ඉස්සර තිබුණ ගතිගුණ තාමත් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා.


මේ ගමන එන්න ඔබට උදව් කළ පිරිසකුත් ඇති?
උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා නම් කියන්න බැරි තරමට. හැබැයි අන්සාෆ් අමිර්ව මතක් කරන්න ඕනා. මගේ ළඟින්ම ඉන්න හොඳ මිතුරෙක් ඔහු. තව දිලිප ලියනගේ, උදේෂ් මල්ලි, මගේ බිරිඳ, අම්මා, තාත්තා ඇතුළු මගෙත් බිරිඳගෙත් පවුල අය. ඒ වගේම ආදරයෙන් මතක් කරන්න ඕනා මා වටා ඉන්න මගේ ආදරණිය රසික පිරිස. ඒ අය නිතරම වගේ මාව දිරිගන්වනවා. මගේ නිර්මාණ රසවිඳිනවා. ඇත්තටම මේ පිරිස නැත්නම් අද වෙන කොට නදිත් කියලා ගායකයෙකුත් නැහැ. ඒ හින්දා හැමෝටම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න.

සංවාදය : බුද්ධික සේනාධීර

Back to top
Go to bottom

Popular News