ඔබ පැවිදි දිවියට පා තැබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල ඡායාරූප පෙළක් සමග පුවතක් හුවමාරු වෙනවා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
ඔව්. මේ අවස්ථාව මගේ ජීවිතයට ලැබුණ වටිනාම අවස්ථාවක්. මට මෙහෙණින් වහන්සේ නමක් ලෙසට චරිතයක් නිරූපණය කරන්නට අවස්ථාවක් ලැබුණා. ඒ නවක අධ්යක්ෂවරයෙක් වන බරණ රනසෙන් ගේ මල් ලස්සනයි කියන කෙටි චිත්‍රපටයට. මේ කෙටි චිත්‍රපටය සඳහා මාව මෙහෙණින් වහන්සේ නමක් විදියට වේශ නිරූපණය කළා. ඒ ඡායාරූප තමයි අන්තර්ජාලයේ ඔය විදියට හුවමාරු වෙන්නේ.
කසාවතින් සිරුරු වසාගනිද්දී ඔබට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ..?
මම මුලින්ම කල්පනා කළා කොණ්ඩේ තට්ටේ ගාන්නේ නැතිව මෙහෙණියක ලෙස සිවුරු දැරීම සාර්ථක වෙයිද කියලා. මොකද ඒ වගේ චරිතයකදී අංග රචනය අසාර්ථක වුණොත් මිනිස්සුන්ට ඒ චරිතේ දැනෙන්නේ නැහැ. මේ හින්දා මගේ කොණ්ඩෙ පෙනෙයිද කියලා මට මුලින් පොඩි කුතුහලයක් තිබ්බා. නමුත් වේශ නිරූපණ ශිල්පියා බුවනෙක රණවක කියලා දැනගත්තම මට තිබ්බ බය නැති වුණා. චරිතයට අදාළ විදිහටම හොඳ වේශ නිරූපණයක් මට ලැබුණා.
මහණදම් පුරන්නට සිත හදාගන්නවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. සැබෑවට නොවුණත් ඒ වගේ චරිතයකට අවතීර්ණ වෙද්දී හොඳ සංයමයක්, ඉවසීමක් අවශ්‍ය වෙනවා. මේ කියන දේවල් ඔබට තිබුණද..?
බරණ මට මෙහෙණින් වහන්සේ නමක් ලෙස රඟපාන්න ආරාධනා කළාම මුලදිනම් ඇති වුණේ විශාල සතුටක්. ඒ වගේම මෙහෙණින් වහන්සේ නමකගේ චරිතයක් කරන්න ඕන කියලා මට මුල ඉඳලම ලොකු ආශාවකුත් තිබ්බා. ඒ නිසා මේ අවස්ථාව ලැබුණ ගමන් මම හා කිව්වා. ඒ ගැන දෙපාරක් හිතුවේ නැහැ. මෙහෙණියක ලෙස සැරසිලා හිටපු මාව දකිනකොට මට දැනුණේ පුදුම පහන් හැඟීමක්. අනේ මටත් මෙහෙම ඉන්න පුළුවන් නම් කියලා හිතුණා. සිවුර ඇන්දම මෙහෙණින් වහන්සේ නමකට තිබෙන්න ඕනේ සංයමය නිරායාසයෙන්ම මගේ ඇඟට ආවා. මට ලොකු පදවියක් ලැබුණා වගේ දැනුණා.
ඔබට කවදහරි දවසක ඇත්තටම මෙහෙණින් වහන්සේ නමක් වෙන්න හිතුණොත්.?
සිවුර ඇඟට දාගත්තම මටත් මහණදම් පුරමින් ඉන්න තිබෙනවා නම් කොයිතරම් සැනසීමක් තියෙනවද කියලා හිතුණා. ඒත් මට තිබෙන බැඳීම්, වගකීම් එක්ක ඒ වගේ තීරණයක් ගන්න නම් මේ ආත්මෙ බැරි වෙයි. ඒත් ජීවිතේ කවදාහරි දවසක මැරෙන්න කලින් ටික කාලෙකට හරි සිවුරක් දරන්න පුළුවන් නම් හොඳයි කියන හැඟීම හිත කොණක හැංගිලා තියෙනවා.
සිවුර දරාගෙන ඔබ ඉදිරියට එනවිට ලැබුණ ප්‍රතිචාර මොනවගේද..?
රූගතකිරීම් තිබුණේ පන්සලක. ඒ නිසා මම කාටවත් පේන්න ආවේ නැහැ. මොකද පන්සලට වඳින්න මිනිස්සු එනවනේ. එයාලා ඇත්තටම මෙහෙණින් වහන්සේ නමක් විදිහට මා දිහා බැලුවොත් පව් සිද්ධ වෙයි කියලා මට හිතුණා.
සමහරවිට ලැබුණ ප්‍රතිචාර එක්කම ඔබට තවත් මෙවැනිම චරිතයකට ආරාධනා ලැබෙන්නත් පුළුවන් නේද..?
ඔව්. දැනටමත් මගේ ඡායාරූප දැකලා මේ වගේම ටෙලි නාට්‍යයක් කරන්න අදහසක් ආවා. එක් නිර්මාණකරුවෙක් මට කතා කළා. ඔය විදියේ ආරාධනා ඉදිරියටත් තව එන්න පුළුවන්.
සමන්මලී නැලිගම