lan englan tam

පුවත්

කාලය අපතේ නොයවන චිත්‍රපටයක්; Piece by Piece

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ චික්‍රපටය බලන්න හම්බුනේ අහම්බෙන්. හොය හොය ගිහින් බලපු එකක් නෙවේ. හැබැයි බලපු කාලය නම් අපරාධයක් නෙවේ.
චිත්‍රපටය තමයි
Piece by piece (2024)
7/10 . IMDb
84% . Rotten Tomatoes
Pharrell Lanscilo Williams නැත්තම් Pharrell විදියට හඳුන්වන ඔහු සංගීතඥයෙක්. ගායකයෙක්. ගේ පද රචකයෙක්. රැප් කරන කෙනෙක්. සංගීත ඇල්බම් නිර්මාපකයෙක්. විලාසිතා නිර්මාණකරුවෙක්. ව්‍යවසායකයෙක්.
ඔහුගේ මුළු ජීවිතයම අලලා තැනුන ජීවන ග්‍රන්ථය තමා Piece by piece. කෑල්ලෙන් කෑල්ල එකතුකරලා තැනුන ඔහුගේ වර්ණවත් ජීවිතය නිරූපණය කරන්න යොදාගෙන තියෙන විදිය තමා තවත් විශේෂ වෙන්නේ.
ඒ තමයි ලේගෝ කැබලි. ඔයාලා පොඩි බබලා කාලේ ක්ලේ සෙල්ලම් කරලා ඇති. වැලි සෙල්ලම් කරලා ඇති. බිල්ඩින් බ්ලොක්ස් සෙල්ලම් කරලා ඇති. ඒ වගේම ලේගෝ සෙල්ලම් කරලා ඇති. ලේගෝ සෙල්ලම් කරපු ඈයෝ දන්නවා ලේගෝ හදන්න කොච්චර අමාරුද කියලා. කෑල්ලෙන් කෑල්ල එකතු කරලා හරි ඉවසීමක් වගේම මානසික ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ ඒවා හදන්න.
ඒ වගේම තමා Pharrellගේ ජීවිතෙත්. තමාගේ මහන්සියෙන් කෑල්ල කෑල්ල එකතු කරලා තනාගත්තු ජීවිතය නරඹන්න ඔහු ඔබට ආරාධනා කරන්නේ හරිම සතුටින්.
ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ගැන මම හාංකවිසියක්වත් දන්නේ නෑ. ඒත් මේ චිත්‍රපටයේ ඔබ්බලා තිබ්බ හැම නාද රටාවටම නැටුවා 😅 ඒවා ඒ තරම්ම නැටවෙන්න හදපු ලස්සන බීට්ස්. මේ සංගීතඥයා R & B, Hip hop සහ Pop යන සංගීත ආරයන්ට විශේෂඥතාවය දැක්වුවත් මුළු ලෝකෙම ජනතාව වසඟයට ගන්න තරම් දක්ෂයි.
සංගීත නිපුණතාවය දෝතින්ම අරන් උපන් ඔහුගේ අති සාර්ථක දිවියේ වැටුණු තැන් වැඩි වැඩියාන් උලුප්පලා පෙන්වන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.
සංගීත උණ ඇඟට වැටුන දවසේ ඉදන් ඔහුගේම සංගීතයක් ලෝකයටම ඇහෙන්න සලස්වනකන් කාපු කට්ට, සාර්ථකව ජීවිතය ඉදිරියට ඇදෙද්දි ඇතිවුන හිස්කම, වාණිජ රැල්ලට අහුවුන ඔහුගේ සංගීතය, ආදර ජීවිතයේ වැටීම්, ආච්චි අම්මාගේ වියෝව වගේ හැලහැප්පීම්වලින් බැට කාපු ඒවා නොවලහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න සමත් වෙනවා.
ලේගෝ නිර්මාණයේදී ඉතා විශිෂ්ඨ කාර්යයක් අධ්‍යක්ෂණය හා සම නිෂ්පාදන කටයුතු සිදුකළ Morgan Neville ඇතුළු කණ්ඩායම සිදු කොට තිබෙනවා.
ඉතින් පැය එකහමාරක් පුරා ආසාවෙන් කම්මැලි නැතුව බලන්න පුළුවන් Musical/Animation ශානරයට අයිති මේ චිත්‍රපටය ලේගෝ මූවි බලපු අයටයි නෙබලපු අයටයි Pharrell නොදන්න අයටයි බලන්න කියලා ආරාධනා කරනවා.

ලක්මාලි වීරසූරිය - The Cinema People

Back to top
Go to bottom

Popular News