සුනිල් ආරියරත්නගේ ‘අලි කතාව’ චිත්‍රපටය බලන්න ජනාධිපතිතුමා ආවා. චිත්‍රපටයේ කතාව මේකයි. ඔන්න ඉතින් එකමත් එක රටක කැලෑ ගමක කිරි සප්පයෙක් හිටියා. මේ කිරි සප්පයගෙ තාත්තා හෙන රා ගුඩුවා. ඔහොම කාලයක් යද්දී මේ කැලෑ ගමේ ටිකක් වල්මත් වෙලා වගේ හිටපු අලියා ඇවිත් රා බීලා පිස්සු නටන අර කිරි සප්පයගෙ තාත්තා එළවලා දාලා කිරි පුතාව ගෙනල්ලා හදාගන්නවා. අලියා හිටියෙත් කැලේ රජ වෙන බලාපොරොත්තුවෙන්. ඒත් අලියට තනියම සටනක් දීලා කැලේ රජ වෙන්න අමාරු නිසා කිරි සප්පයා රජ කරලා රජ ළඟින්ම ඉන්න අලියා සැලසුම් කළා. අන්තිමට කොහොම හරි අලියා වෙන වෙන ජාතියෙ සතුන්ගෙන් සහාය අරගෙන කිරි සප්පයව රජ කරනවා.
චිත්‍රපටයෙ කතාව ඕකයි.
ඒක බලලා එළියට එමිං ගමං ජනාධිපතිතුමා සුනිල්ගෙන් ඇහුවෙ අලියා එළවලා දාපු කොල්ලගෙ තාත්තා ආයෙ එයිද කියලයි. ඒකට සුනිල් හරි හමන් උත්තරයක් නොදී එකල මෙකල වෙනකොට ජනාධිපතිතුමා වටපිට බලලා නහය උඩ පිපිලා තිබුණු දාඩිය බිංදුව පිහිදාන ගමන් ඇහුවෙ මේක මගේ කතාවයි කියලා ප්‍රොෆෙසර් කොහේදි හරි කියල තියෙනවද කියලයි.
ලොකුම එක
සුනිල්ගෙ චිත්‍රපටයෙ වඳුරො දෙතුන් දෙනෙක් හිටියා. උන් ටික අලියා අර කිරිසප්පයා ගෙනාපු දවසේ ඒ කිරි පුතාගෙ නැට්ටෙ එල්ලිලා රා බොන තාත්තාටත් පාට් එක දාලා ආපු එවුන්. චිත්‍රපටය බලලා එන ගමන් වඳුරෙක් ඒකෙ රජතුමාගෙන් ඇහුවා ඇත්තටම රජතුමනි රජකමද එහෙම නැත්තං රජතුමාගෙ කණ්ඩායමේ නායකකමද වඩා ලොකු කියලා. රජතුමා දෙපාරක් නොසිතා කිව්වෙ නායකනෙ ඕයි කියායි. නායකකම බදාගෙන ඉන්න ගිහින් රජකමට කෙළෝගනියිද මන්දා කියලා යමක් කමක් තේරෙන වඳුරා හිතුවා.
(කෝණාන්ගී)