අක්‍රමවත් හා ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම් හේතුවෙන් පසුගිය සතියේ දවසක වැල්ලවත්තෙ මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටුණ එක ප්‍රධාන ප්‍රවෘත්තියක් වුණානෙ. මේ සිද්ධියෙන් ජීවිත අහිමිවීම් වගේම සේවය කරපු කිහිප දෙනෙක් අසරණ තත්ත්වයට පත් වුණා. අන්න ඒ වගේ සිද්ධියකින් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙච්ච තමන්ගෙ එක ම පුතා වෙනුවෙන් දූෂණ,වංචා ඉදිරියේ ඇස් කන් පියාගෙන ගැඹුරු නින්දක ඉන්න රටකට එරෙහි ව තනිව සටන් කරන තාත්තා කෙනෙක් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි 'මදාරි'.
ස්වදේශ කටයුතු ඇමතිගේ අවුරුදු 10ක් වයසැති එක ම පුතා 'රෝහන්' හදිසියේම පැහැර ගැනීමකට ලක් වෙනවා. පැහැර ගැනීම පිටිපස්සෙන් ඉන්නෙ මහා ලොකු මුදලක් කප්පම් ඉල්ලන කප්පම්කාරයෙක් වෙන්න බැරි ද? ඒත් ඇත්තටම මේක පිටිපස්සෙ ඉන්නෙ පුංචි මනුස්සයෙක්. ඒ තමයි 'නිර්මාල්'. මේ හාදයට ඕන සල්ලි නෙවෙයි. රජය විසින් අක්‍රමවත් ව ,දූෂිත ව ඉදි කරපු පාලමක් කඩා වැටීමෙන් ඒකට යට වෙලා මැරුණ තමන්ගෙ එක ම පුතා වෙනුවෙන් සාධාරණයක්. තාත්තා කෙනෙක් විදිහට මේ සිද්ධියෙන් හොඳටම කම්පනයට පත් වෙලා ඉන්න නිර්මාල්ට මේ ව්‍යාපෘතියට සම්බන්ධ ව කටයුතු කරපු දේශපාලකයින්ගෙන්, කොන්ත්රාත්කාරයින්ගෙන් වගේ ම අනෙකුත් වගකිවයුත්තන්ගෙන් පළි ගන්න තරම් කේන්තියක් එන එක අසාධාරණයි කියන්න බෑ කොහොමටවත්.
නිර්මාල්ට ඕන කරන්ගෙ තමන්ගෙ පුතාගේ ජීවිතේ නැති වුණ එකට සෘජුව වගේ ම වක්‍රව වග කියන්න ඕන හැමෝගෙම සැබෑ තත්ත්වේ ප්‍රසිද්ධියේ එළි කරන්න. හැබැයි වැඩේ ටිකක් අමාරුයි. මොකද නිර්මාල්ට හැප්පෙන්න වෙන්නෙ ලේසි පාසු මිනිස්සු ටිකක් එක්ක නෙවෙයි. කොයි අතින් බැළුවත් බලය උපරිමයෙන් ම තියෙන පිරිසක් තමයි ඒ පැත්තෙ ඉන්නෙ. ඒත් නිර්මාල්ට ඊට එරෙහිව යොදවන්න තියෙන්නෙ අප්‍රමාණ පීතෲ ස්නේහයක් වගේම උපක්‍රමශීලී ධෛර්යයක් විතරයි. සීමිත සම්පත් එක්ක හරි ම තැනට පහර ගැහුවොත් තමයි ලැබෙන ප්‍රතිඵල සතුටුදායක වෙන්න පුළුවන්. ස්වදේශ කටයුතු ඇමතිගෙ පුත් රෝහන්ව පැහැර ගැනීමට ලක් කරන්න නිර්මාල් තීරණය කරන්නෙත් ඒකම වෙන්න ඇති කියලා අපිට හිතන්න වෙනවා.
පාලම ඉදි කරන්න කොන්ත්‍රාත්තුව බාර ගත්ත අය,ඒකට දේශපාලනික මැදිහත්වීම් කරපු ස්වදේශ කටයුතු ඇමති වගේ ම මේ ප්‍රමිතියෙන් තොර ඉදි කිරීමට වගකිවයුතු සියළු දෙනාවම එක තැනකට එකතු කරලා ඒ සම්බන්ධයෙන් නිර්මාල් අහන ප්‍රශ්ණවලට සජීවී රූපවාහිනී නාලිකාවක පෙනී සිටිමින් උත්තර දෙන්න ඕන කියන එකයි මනුස්සයාගෙ ඉල්ලීම වෙන්නෙ. ( නිර්මාල් මේකට තෝර ගන්නෙත් තමන්ගෙම ගෙදර ). ඒකට එකඟ වෙන්න බැරි නම් රෝහන්ට මරණයෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන බවටත් ඔහු අනතුරු අඟවනවා. ( එහෙම කිව්වට ඇත්තට ම ඒ වෙනකොටත් මේ දෙන්නා අතරේ බැඳීමක් ඇති වෙලයි තියෙන්නේ. මොකද රෝහන් කියන්නේ නිර්මාල්ගේ නැති වෙච්ච පුතාගෙ වයසෙම ඉන්න පොඩි කොලු ගැටයෙක්)
ඉතිං, රටේ ප්‍රධාන දේශපාලකයෙක් තමන්ගෙ අතින් සිද්ධ වෙච්ච දූෂණ,වංචා,අක්‍රමිකතා ප්‍රසිද්ධ මාධ්‍යයක සජීවී ව රටට ම ඇහෙන්න කියලා තමන්ගෙ ම රෙදි තමන්ගෙ අතින් ම ගලවාගන්න කැමති වෙයි ද? තමන්ගෙ බලයද කීර්තිය ද තමන්ගෙ එක ම දරුව ද වඩා වටින්නෙ කියන එක ගැන සෘජු තීරණයක් ගන්න වෙන වෙලාවක් ඒක. අන්න ඒක තමයි බලන්න ම වටින සිද්ධිය.
මේ චිත්‍රපටය බලද්දි මීට ටික කාළෙකට කළිං BMICH එකේ දි ප්‍රදර්ශන කුටියක වහලයක් කඩා වැටිලා තුවාල වෙලා ආබාධිත වුණ වෛද්‍ය සමිතාගෙ සිද්ධිය වගේම ඉතා ම මෑතක දි කිඹුල් ප්‍රහාරයකට ලක් වෙලා මිය ගිය දැරියකගේ සිරුර සොයා ගන්න කිඹුලව මරා දැමු සිද්ධිය වගේ සිද්ධි මතකයට එන්නෙ, ඒවා සහ චිත්‍රපටය අතර සෘජු සම්බන්ධතාවයක් නැතත් චිත්‍රපටයේ පසුබිමෙන් කියවෙන කරුණු කාරණායි මේ සිද්ධීනුයි අතරේ යම් සමානකමක් තියෙන නිසාදෝ කියන හැඟීම ටික ටික දැනෙන්න ගන්න එකත් වළක්වන්න බෑ.
Thisara Nandana