කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂකවරුන් 05 දෙනෙකු හෙට දවසේ සිනමාව වෙනුවෙන් දෙරණ සිනමා සම්මාන තරඟ බිමේ.
දෙරණ රූපවාහිනී ආයතනය පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘දෙරණ සිනමා සම්මාන උළෙල- 2017’ එළඹෙන ඔක්තෝම්බර් මස 06 දින සවස 6.00 ට කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සුදානම්ව පවතී. මෙහිදී සිනමා උළෙලට සමගාමිව ක්‍රියාත්මක වන , සිනමා උළෙලේ ‘හෙට දවසේ සිනමාව’ (Cinema of Tomorrow) නම් වූ සම්මාන කාණ්ඩය යටතේ තරඟ වදින දීර්ඝ සිනමාපට මහජනතාව උදෙසා නොමිලේ ප්‍රදර්ශනය කිරීම එළඹෙන ඔක්තෝම්බර් මස 01 සහ 02 යන දෙදින පුරා ජාතික චිත්‍රපටි සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.
සම්මාන උළෙල පවත්වන වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුල නිළ වශයෙන් තිරගත නොවුනු ශ්‍රී ලාංකේය සිනමාපට ඇගයීමේ පරමාර්ථයෙන් ‘Cinema of Tomorrow’ අංශය ක්‍රියාත්මක වන අතර, මෙම අංශයේ ජයග්‍රාහී සිනමාපටය හට රුපියල් මිලියනයක වටිනාකමින් යුත් ප්‍රචාරණ අනුග්‍රාහකත්වයක් හිමිවේ. එලෙස උළෙලේ වැඩිම වටිනාකමකින් යුතු ත්‍යාගය මෙම අංශය යටතේ පිරිනමන නිසාවෙන් පසුගිය වර්ෂය තෙක්ම මෙම අංශය නියෝජනය කිරීමේ අවස්ථාව ප්‍රවීන සහ නවක යන සිනමා අධ්‍යක්ෂක පාර්ශවයන් ද්විත්වයගේම නිර්මාණයන් හට හිමිවිය. එහෙත් පළමු වරට 2017 වර්ෂයේදී ‘Cinema of Tomorrow’ අංශයේ තරඟකාරීත්වය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂකවරුන් 05 දෙනෙකුගේ නිර්මාණයන් උදෙසා පමණක් විවෘත පැවතීම කැපීපෙනේ. එසේම 70 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ පළමු වරට, ශ්‍රී ලාංකේය දීර්ඝ වාර්තා සිනමාපටයක් හට (Full-Length Documentary Film) ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Full-Length Feature Films) සමග දේශීය සිනමා සම්මාන උළෙලක එකට තරඟ වැදීමේ අවස්ථාව හිමිව තිබීම සුවිශේෂීත්වයකි.
ප්‍රදර්ශන කාල සටහන
ඔක්තෝම්බර් 01 (ඉරිදා)
සවස 2.00 ට- සුරංග කටුගම්පලගේ ‘පුතෙකුට’ (For a Son)- Feature- මිනිත්තු 74
ඉතාලියේ පෙසරෝ, එස්තෝනියාවේ ටැලින් බ්ලැක් නයිට්ස්, ඉතාලියේ මිලානෝ සහ බංගලාදේශයේ ඩකා යනාදී අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘පුතෙකුට’ සිනමාපටය, 2016 පෙසරෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සඳහනකින් (Jury Special Mention) පිදුම් ලැබීමට සමත් විය. කෞශල්‍යා ප්‍රනාන්දුගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙන මෙම සිනමාපටය ශ්‍රී ලංකා සහ ඉතාලි සම නිෂ්පාදනයකි.
සවස 4.00 ට- දුමින්ද සංජීවගේ ‘දිසිදි පත්’ (Withered Leaf)- Feature- මිනිත්තු 90
ස්පාඤ්ඤයේ ඉමැජින්ඉන්දියා, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඉන්දියානු, කාම්බෝජයේ ආසියානු ශාන්තිකර, සිංගප්පුරු දකුණු ආසියානු සහ ශ්‍රී ලංකාවේ යාපනය යන අන්තර්ජාතික සිනමා උළෙලයන් සහ සිනමා සම්මාන උළෙලයන් නියෝජනය කිරීමට සුදුසුකම් ලද ‘දිසිදි පත්’ සිනමාපටය , රුවී ලක්මාලි, සම්පත් ජයවීර, ලංකා බණ්ඩාරනායක , ඕසද ගිහාන් යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් හැඩවී ඇත.
රාත්‍රී 7.00 ට- මාලක දේවප්රිගේ ‘බහුචිතවාදියා’ (The Undecided)- Feature
කලණ ගුණසේකර, වීණා ජයකොඩි, සමනලී ෆොන්සේකා, දමිතා අබේරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, නිල්මිණි බුවනෙක ඇතුළු ප්‍රවීන හා නවක රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන් ‘බහුචිතවාදියා’ සිනමාපටය හැඩවී ඇත.
ඔක්තෝම්බර් 02 (සඳුදා)-
සවස 4.00 ට- දේවින්ද කෝන්ගහගේගේ ‘භවතරණ ’ (Crossing Sansara)- Feature-මිනිත්තු 125
2015 ඉන්දියාවේ දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලේදී ‘Best Film-Cinema Across the Border’ සම්මානයෙන් පිදුම් ලද ‘භවතරණ ’ සිනමාපටය මාලනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රජීව් රාජපුත්‍ර, උදයන්ති කුලතුංග, මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, රොෂාන් රවින්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, චන්දික නානායක්කාර, කාංචන කොඩිතුවක්කු, සංකේත් වික්‍රමගේ, දීපානි සිල්වා, නිල්මිණි බුවනෙක යන රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වී ඇත.
රාත්‍රී 7.00 ට- ජූඩ් රත්නම්ගේ ‘පාරාදීසයේ යක්ෂයෝ’ (Demons in Paradise)- Documentary- මිනිත්තු 94
70 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දීර්ඝ වාර්තා සිනමාපටයක් (Full-Length Documentary) අන්තර්ජාතික සිනමා උළෙලක සටහන් කල ඉහළම නියෝජනය සටහන් කරමින්, ලොව සුපිරිතම ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ නිළ තෝරාගැනීමක් (Official Selection) බවට පත්වූ ‘පාරාදීසයේ යක්ෂයෝ’ වාර්තා සිනමාපටය ප්‍රංශ සහ ශ්‍රී ලංකා නිෂ්පාදනයකි. 1983 කළු ජූලිය සහ පසුකාලීනව ගොඩනැගුනු සිංහල- දමිළ ජනවාර්ගික අර්බුදය තුල හටගත් සැබෑ සිදධි සමුදායක් පාදක කොට ගනිමින් මෙකී සිනමා නිර්මාණය බිහිවී ඇත.
ඇතුල්වීම නොමිලේ… ඔක්තෝම්බර් 01, 02
සටහන
උදිත ලක්මාල් කහඳවආරච්චි