එක් දරුවකු සමඟ හුදෙකලා වන මාපියන් අද කාලයේ විරල නැත. පවුලේ කතාවලට තනිවූ මාපියන්ගේ කතා එක් වන්නේ එය කාලීන සංසිද්ධියක් වී ඇති බැවිනි. දරුවන් සමඟ තනිවූ බාස්කරන් හා හිමාගේ කතාව අන්තර්ගත ‘බාස්කර් ද රාස්කල්’ මලයාලම් ප්‍රහසනාත්මක පවුලේ වෘතාන්තය 2015 වසරේදී දින සියය සම්පූර්ණ කරමින් තිරගතවූ ඉහළ ම ආදායම් ලද සිනමාපටයකි. එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ මැමූති සහ නයන්තාරාය. මොලිවුඩයේ (මලයාලම් සිනමාවේ) අති සාර්ථකවූ එම සිනමා පටයේ ප්‍රති නිර්මාණය බාස්කර් ඔරු රාස්කල් තිරගත වන්නේ 2018 මාර්තු 12 වැනි දිනය (හෙට). සිද්දික්, සිනමා පට දෙකේම අධ්‍යක්ෂවරයාය.
සිද්දික් තම මලයාලම් සිනමාපට වැඩි ගණනක් දමිළ සිනමාපට ලෙසින් ප්රතිනිර්මාණයකර තිබේ. ඔහුගේ ගෝඩ්ෆාදර් (1991) සිනමාපටය කේරල රාජ්‍ය සිනමා සම්මාන උලෙළේ ජනප්‍රිය සිනමා පටය ලෙස සම්මාන ලැබීය.
සිනමා පටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දමිළ සිනමාවේ දක්ෂ නළුවකු වන අරවින්ද් ස්වාමිය. ප්‍රධාන තාරකාව අමලා පෝල් මලයාලම් සිනමාවේ දක්ෂ, ජනප්‍රිය තාරකාවකි. මේ දෙදෙනා තිරයේ පෙම්වතුන් වන්නේ ප්‍රථම වරටය.
අරවින්ද්, පුතු සමඟ තනිවූ පියෙකි. අමලා දියණියකගේ මවකි. දරුවන් දෙදෙනා පාසලේදී මිතුරුවෙති. දරුවන්ගේ මාර්ගයෙන් මාපියන් දැන හඳුනා ගන්නා අතර දෙදෙනාගේ ගති ස්වභාවයන් පරස්පරවේ. අරවින්ද්ගේ පුතු වයසේ තරමට යමක් තේරුම් ගත හැකි මට්ටමක පසුවෙයි. එහෙත් අමලාගේ දියණිය සිතන්නේ සෑම දෙයකට ම පිළිතුර හිංසනය බවය. දරුවන් දෙදෙනා මෙන් මා පියන්ගේ ද ගති ස්වභාවයන් අන්ත දෙකක විය.
අරවින්ද් සාර්ථක, ගෞරවනීය චරිතයක් වුවද ඔහුගේ බාහිර පෙනුමේ ඇති දඩබ්බර ස්වභාවයට අමලාගේ දියණිය කැමැත්තක් දක්වන්නීය. අනෙක් අතින් අමලාගේ ඉවසිලිවන්ත, සැලකිලිමත් අවධානය දක්වන ස්වභාවයට අරවින්ද්ගේ පුතු ප්‍රිය කරයි. වැඩිහිටියන්ගේ මේ ගති ස්වභාවයන් තම ජීවිතවලට ළංකර ගැනීමට දරුවන් ගන්නා උත්සාහයේ අවසන් ප්‍රතිඵලය අරවින්ද් සහ අමලා එක්වීමයි.
අරවින්ද්ගේ පුතු ලෙස මාස්ටර් රාඝවන් හා අමලාගේ දියණිය ලෙස බේබි නයිනිකා රංගනයෙන් දායක වෙති.
අරවින්ද් ස්වාමි ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ද ජනප්‍රිය තරුවකි. ඔහු රැඟූ රෝජා (1992), බොම්බේ (1995), මින්සාර කනවු (1997), දේවරාගම් (1996) වැනි දමිළ සිනමා පට මෙරට ප්‍රේක්ෂකයන් අතරද ජනප්‍රිය විය. මේ අරවින්ද්ගේ විසිහතර වැනි සිනමා පටයයි.
අමලා පෝල් දමිළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සිනමා විජිතයන් හි තාරකාවකි. දැන් ඇය බොලිවුඩය ද ආක්‍රමණය කිරීමට සූදානමින්ය. අර්ජුන් රාම්පාල් සමඟ ඇය බොලිවුඩයට ළඟදීම පිවිසෙන බවට රාවයක් පවතී. එසේ වුවහොත් ශ්‍රී දේවියට පසු ඉන්දියාවේ සෑම සිනමා පුරවරයකම නිර්මාණවලට දායක වූ තවත් තාරකාවක බවට අමලා පත්වන්නීය. බාස්කර් ඔරු රාස්කල් සිනමා පටයට මුලින් ම අරවින්ද් සමඟ රඟ පෑමට ප්‍රධාන තාරකාව ලෙසින් නයනතාරා, සෝනක්ෂි සිංහ සමඟ කතාබහ කෙරුණ ද අවසානයේදී තෝරා ගනු ලැබුවේ අමලා පෝල්ය. මේ සිනමා පටයේ රඟපෑමට ලැබීම සිහිනයක් මල්පල ගැන්වීමක් බව අමලා පවසන්නීය. එයට හේතුව අරවින්ද් ස්වාමි සිනමාවේ ඇය වඩා ප්‍රියකරන නළුවා වීමයි. අමලා මෙන්ම අරවින්ද් ද අධ්යක්ෂවරයාගේ පළමු තෝරා ගැනීම් නොවේ. සිද්ධික් මුලින් ම තෝරා ගත්තේ අජිත්ය. පසුව රජිනිකාන්ත් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
අරවින්ද්ගේ පුතුගේ චරිතය රඟන්නේ මාස්ටර් රාඝවන්ය. දමිළ සිනමාවේ ළමා නළුවකු ලෙස රාඝවන් මේ වනවිටත් ස්ථාපිත වී අවසන්ය. 2016 දී සේතුපති, රෙක්කා සිනමා පටවලට ද 2017 දී පා පාණ්ඩි, බාස්කර් ඔරු රාස්කල් සනිමාපටවලට ද රාඝවන් රංගනයෙන් දායක විය.
අමලාගේ දියණිය ලෙස රඟන්නේ බේබි නයිනිකාය. 2017 දී හය වැනි වියේදී මේ සිනමා පටයට රංගනයෙන් දායක වුණු නයිනිකා සමස්ථ දකුණු ඉන්දීය සිනමාවේම කාලයක් ම සිය අණසක පැතිරවූ මීනාගේ එකම දියණියයි. දැන්ම ඇය තලපති විජේගේ ප්‍රියතම ළමා නිළිය වී අවසන්ය. මින් පෙර තේරි සිනමා පටයේ ඇය විජේ සමඟ රඟපෑවාය. 2016 දී ‘තේරි’ රංගනය ඇය හොඳම ළමා නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූවාය.
අෆ්තාබ් ශිව්දසානි, සූරි, සිද්දික්, රොබෝ ශන්කර්, නිකේෂා පටෙල්, නාරායන් ලකි, රමේෂ් ඛන්නා ඇතුළු පිරිස සෙසු චරිතවලට රංගනයෙන් දායක වී සිටිත. සූරි, රමේෂ් ඛන්නා, රොබෝ ඛන්කර් හාස්‍ය රසය මැනවින් සිනමා පටයට එක්කර ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.
නළුවකු, තනු නිර්මාණකරුවකු හා ගායකයකු වන අම්රේෂ් ගනේෂ් මෙහි සංගීතය නිර්මාණය කර තිබේ. සිනමා පටයේ ට්‍රේලරය නිකුත් වූ වහාම මිලියන 2.5 ක ජනකායක් එය නරඹා ඇත. තූකනගූඩු ......, ඉප්පෝදු යෙන් ඉන්ධා කාදල්, අම්මා අයි ලව් යූ, බාස්කර් ඔරු රාස්කල් යන ගීතවලින් සිනමා පටය රසබරවී ඇත. ‘අම්මා අයි ලව් යූ’, ගීය ගයන්නේ ජනප්‍රිය ගායිකා ශ්‍රෙයා ගෝෂාල් සහ ළමා ගායිකා ග්රෙයා ජයදීප් විසිනි. දොළොස් හැවිරිදි ශ්‍රෙයා ගෝෂාල් වාගේම රියැලිටි තරුවකි. එමෙන් ම කවරදා හෝ ශ්‍රෙයා ගෝෂාල් ගෙන් හිස්වන තැන ඇයට පිරවීමට හැකිවනු ඇති බව බොහෝ දෙනකුගේ අදහසයි. අම්රිෂ්, කර්තික්, ඇන්ඩ්‍රියා ජියාමියා, ක්‍රිෂ්, වන්දනා ශ්‍රී නිවාසන් සිනමා පටයේ සෙසු ගායක ගායිකාවන්ය.
සිද්දික්ගේ පස්වැනි දමිළ සිනමා පටය වන බාස්කර් ඔරු රාස්කල් සිනමා පටයේ දර්ශන වැඩි ගණනක් රූගත කර තිබෙන්නේ කොචි වලදීය. 2017 අප්‍රේල් මුල රූගත කිරීම් ඇරැඹුණු අතර මුලින් ම සිනමාපටය තිරගත කිරීමට නියමිතව තිබුණේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
සිද්දික්ගේ ‘බාස්කර් ඔරු රාස්කල්’ පිපාසාව නිමවී නැත. ඔහු එය බොලිවුඩයට ගෙන ඒමට ද බලාපොරොත්තු වෙයි. මලයාලම් සිනමාපටයේ මැමූතිගේ, දමිළ සිනමා පටයේ අරවින්ද්ගේ චරිතයට දැනට බොලිවුඩයේ සංජේ දත් යෝජනාවී ඇත. මේ වනවිට ගූගල් භාවිතා කරන්නන්ගෙන් 94% ක මනාපය සිනමා පටයට ලැබී ඇත.
චම්පිකා දීපානි