යූරි බොන්දරෙව් (උපත 1924 මාර්තු 15) සෝවියට් ලේඛකයෙකි. රතු හමුදාවේ හිටපු කාලතුවක්කු හමුදා නිලධාරියෙකි. සමාජවාදී ශ්‍රමයේ වීරයා පදක්කම (1984), ලෙනින් සම්මානය (1972), සෝවියට් රාජ්‍ය සම්මානය (1977, 1984) ආදී සම්මානලාභියෙකි. 1944 සිට සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු විය.
රුසියාවේ ඕර්ස්ක් නගරයේ දී උපන් යූරි බොන් දරෙව්ගේ පියා වසීලි බොන්දරෙව් (1896 – 1988) නම් විය. මව ක්ලෝඩියා බොන්දරේවා (1900 – 1978) ය. දෙවන ලෝක යුධ සමයේ සෝවියට් දේශය ජර්මනිය විසින් ආක්‍රමණය කරන ලද පසු, 1942 දී, යූරි කාලතුවක්කු භටයකු ලෙස පුහුණුව ලැබීය. පසුව ඔහු රතු හමුදාවේ කාලතුවක්කු හමුදා නිලදරුවකු ලෙස ගත කළ සමය යුද්ධය පිළිබඳ ඔහුගේ නිර්මාණවලට පසුබිම සැපයීය.
මුල්ම වරට ඔහුගේ නිර්මාණයක් මුද්‍රණය වූයේ 1949 දී ය. 1951 දී බොන්දරෙව් මැක්සිම් ගෝර්කි සාහිත්‍ය ආයතනයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර 1953 දී ඔහුගේ පළමු කෙටිකතා එකතුව На большой реке (On a Large River – “මහා ගංගාවක් මත”) නමින් නිකුත් විය. මීළඟ කෙටිකතා එකතුව වූ Поздним вечером (Late Evening – “සන්ධ්‍යා යාමය”) පළ වූයේ 1962 දී ය.
බොන්දරෙව් වඩාත් ම ප්‍රසිද්ධ වූයේ යුධ නවකතා පිළිබඳවය. 1956 දී නිකුත් වූ Юность командиров (Young Commanders – “තරුණ අණදෙන්නෝ”) මින් පළමුවැන්න වූ අතර Батальоны просят огня (Battalions Request Fire – “බැටෑලියන වෙඩි බලය ඉල්ලයි”) වඩාත් ප්‍රසිද්ධ වූ නවකතාව 1957 දී පළ කරනු ලැබුණි. මෙය 1985 දී රූපවාහිනී කතා මාලාවකට නැගුණි. Последние залпы (The Last Volleys – “අවසන් වෙඩිමුර”) නම් 1959 දී පළ වූ නවකතාව 1961 දී චිත්‍රපටයකට පාදක විය. 1962 පළ වූ Тишина (Silence – “නිහඬතාව”) නවකතාව 1964 දී චිත්‍රපටයකට නැගුණ අතර එහිම දෙවන කොටස වූ Двое (Two – “ද්විත්වය”) 1964 දී පළ කරන ලදී. Родственники (Relatives – “ඥාතිවරු”) සහ Горячий снег (Hot Snow – “උණු හිම”) 1969 දී පළ කරන ලදී. Берег (Beach – “වෙරළ”) නවකතාව 1975 දී පළ කරන ලද අතර එයින් 1984 දී චිත්‍රපටයක් නිමවන ලදී.
එමෙන්ම 1972 දී තිරගත වූ “උණු හිම” චිත්‍රපටය සඳහා (නවකතාව මත පදනම් වූ) තිර රචනය ද බොන්දරෙව් විසින් කරන ලදී. ස්ටාලින්ග්‍රාඩ් සටනේ එක්තරා අවස්ථාවක් නිරූපණය වන නවකතාවක් වන මෙය සිංහලයට ද පරිවර්තනය වී තිබේ.
Освобождение (Liberation – “විමුක්තිය”) චිත්‍රපටය සඳහා තිර රචනා කළ එක් ලේඛකයකු වූයේ බොන්දරෙව් ය.
සෝවියට් දේශයේ අවසන් සමයේදී මිහායිල් ගොර්බචොෆ්ගේ පෙරෙස්ත්රොයිකාවට එරෙහි “ජනතාවට වචනයක්” නම් ලියැවිල්ලට අත්සන් තැබූ එක් ප්‍රකට තැනැත්තකු වූයේ බොන්දරෙව් ය. සෝවියට් දේශය බිඳ වැටුණ පසු බොරිස් යෙල්ට්සින්ට එරෙහි කොමියුනිස්ට් සහ ජාතිකවාදී පිරිස්වලින් සැදුම්ලත් ජාතිය ගලවාගැනීමේ පෙරමුණේ සාමාජිකයකු ලෙස ද ඔහු කටයුතු කළේය.