මේ ජීවිතය මේ විදියට අවබෝධ කරගත්තු කෙනෙකුට, ජීවිතය මැනවින් තේරුම් ගත්තු කෙනෙකුට, ජීවිතය මැනවින් අධ්‍යනය කරපු කෙනෙකුට, සමාජය යනු කුමක් දැයි මැනවින් වටහාගන්න උත්සහ කරපු කෙනෙකුට ජීවිතය පිළිබද කිසියම් වැටහීමක් තියෙනවා.
ඒ වැටහීමම තමයි ඔහුට අනාගත ජීවිතය සාර්ථක කරගන්නට පාර කියල දෙන්නෙ. තමා විසින් ලද අවබෝධයම තමයි අනාගතයට පාර කියන්නේ. අතීතය තුල එබඳු යහපත් අත්දැකීම් ලැබූ පුද්ගලයන් ඉන්නවා. එබදු යහපත් අත්දැකීම් නොලැබූ පුද්ගලයනුත් ඉන්නවා. අතීතය සිහිනයක් වෙන්නෙ ඒ ජීවිත අත්දැකීම් වර්තමානයට අත්දැකීම් හැටියට ගන්නෙ නැත්නම්. මේ ගීතයේ ආරම්භය සනිටුවන් වන්නෙ ගී පද වැලේ අන්තිම හරියෙ. ඒ කියන්නෙ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ කියල කියන තැනින් තමයි, මගේ රස විඳීමේ හැටියට මේ ගීතයේ හරය සහ ගැඹුර පාඨක පිරිස දැන ගන්නේ.
පල්ලේගම නායක හාමුදුරුවන් විසින් රචනා කල, නාලක අංජනකුමාර තනු නිර්මාණය කල, කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කල මේ ගීතය හැමදාමත් අපේ හිත් වල රිදුම් වළකාලමින්, සැනසුම් සුසුම් ඇති කරමින්, සැහැල්ලු මනස තැන්පත් කරමින්, භාවනානුයෝගී සිතුවිල්ලකට ගැඹුරු චින්තනය යොමු කරන විශිෂ්ඨ ගීත නිර්මාණයක් හැටියට මේ ගී පද වැල අගය කරන්න පුළුවන්.
අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – නාලක අංජනකුමාර
පද රචනය – පල්ලේගම හේමරතන හිමි
සිංහල සාහිත්‍යයේ භික්ෂු කාව්‍ය රචකයන් පිළිබඳ අපට අසන්නට ලැබෙන්නේ ඈත අතීතයේ සිට ය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ හෝ වීදාගම මෛත්‍රිය හිමියන් ප්‍රධාන යතිවරුන් විසින් රචිත සංදේශ කාව්‍ය හා අනෙකුත් කාව්‍ය නිර්මාණ බොහොමයකි.මේ අතරින්ද තොටගමුවේ ශ්‍රී රාහුල හා වීදාගම මෛත්‍රිය හිමියන්ගේ නිර්මාණ භික්ෂු සාහිත්‍යයේ විශිෂ්ට කෘති සේ අදත් අපගේ ඇගයීමට ලක්වේ. මෑත භාගයේ කවි ලියූ යතිවරයන් අතර ප්‍රමුඛ හිමිනම වන්නේ ටිබැට් ජාතික එස්. මහින්ද හිමියන් ය. උන්වහන්සේ විසින් රචිත දේශාභිමානී කාව්‍ය මෙන්ම ළමයින් සඳහා රචනා කරන ලද පද්‍ය කාව්‍ය ද අප සාහිත්‍යයෙහි රන් අකුරින් ලියැවී ඇති නිර්මාණ වේ.
එහෙත් යතිවරයන් විසින් ගීත හෝ ගේය කාව්‍ය රචනා කළ බවට අපට සාක්ෂි හමු නොවේ. ඉඳහිට හෝ භික්ෂුවක් විසින් ගේය කාව්‍යයක් රචනා කරන ලද්දේ වී නම් එය බොදු බැති ගීයක් හෝ දහම් පාසල් ගීතයක් පමණක් බවයි, මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත්තේ. එහෙත් අපගේ ගේය සාහිත්‍යයෙහි යතිවර ලකුණ සටහන් කරන්නා වූ ප්‍රමුඛයා වන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් ය.
උන්වහන්සේ ප්‍රථමයා වන්නේ නම් දෙවැන්නා වන්නේ, අනුරපුර රුවන්මැලි සෑයෙහි නායක හිමිපාණන් වන පල්ලේගම හේමරතන හිමියන් යයි සිතමි. හේමරතන හිමියන් විසින් පළමුව පද්‍ය කාව්‍ය ද දෙවනුව ගේය කාව්‍ය ද රචනා කොට ඇති අතර, ඇතැම් චිත්‍රපට ගේය කාව්‍යයක් සඳහා උන්වහන්සේ සම්මානයෙන් ද පුද ලබා ඇති බව දනිමි.
උතුරුමැද පළාත්වාසීන්ට දිවුල්ගනේ ආණ්ඩුකාරයා වුව අපට නම් තවමත්, අනූව දශකයේ සිට හඳුනන සමීප හිතවත්කමකින් බැඳුණු දිවුල් නමින් හඳුන්වන්නට පුරුදුව සිටි මිත්‍රයා ම ය. සහෝදරයා ම ය. නිදහස් කලා සන්ධානයේ ආරම්භක අවධියේ දී ක්‍රියාකාරිකයකු වූ ඇතැම් සැඳෑවක බණ්ඩාර ඇහැලියගොඩ මිතුරා ද සමඟ මධුවිතක රස බලමින් කලාව, සාහිත්‍යය, දේශපාලනය පිළිබඳ අප නිවසේ දී හමු වී කතාබහ කරන්නට පුරුදුව සිටි දිවුල්මය.
ඔහු ගැයූ ඇසට අසුවන මායිමේ ගීතයේ සිට ඔහුගේ ගායනාවට පෙම් බැඳි මා හට, ආණ්ඩුකාර පදවි ප්‍රාප්තියෙන් පසු සජීවීව, මා ඉතා සිත්ගත් හේමරතන හිමියන්ගේ ගේය පද රචනය දිවුල්ගේ හඬින් අසන්නට ලැබීම, උළෙල ඇරඹුමේදී ම සිදු වූ අසිරිමත් සිදුවීම යයි මට දැනුණි.
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ....
මේ ගීතයේ වාච්‍යාර්ථයෙන් ඇඟවෙන්නේ හුදු ප්‍රේමයක් පිළිබඳ අත්දැකීමක් යයි හැඟුණ ද හේමරතන හිමියන් විසින් එම ගීයෙන් බුදු දහමේ කියවෙන අනිත්‍ය සංකල්පය පිළිබඳ අරුතක් මතු කරන්නේ යයි කර්තෘ ඉලංගසිංහයෝ පවසති. “අතීතය සිහිනෙන් ගෑ සුවඳක් බඳු ය. එදා බැඳුණේ නොමැති නම් මෙදා කනගාටුවක් ද නැත. ඇලීම් බැඳීම් තණ්හාවෝ ය.මනෝ මන්දිර සුනු විසුණු වී ගිය ද කිසිදු දුකක් නොදැනේ. සිනාසීමට ප්‍රීති වීමට අවස්ථාවක් නොලත් හිත පිරිසුදුව පවතී. භව තණ්හාවෙන් මිදී සිත සැහැල්ලු කර ගැනීමත්, එමඟින් හරයාත්මකව නිර්මාණය කොට අති ප්‍රශංසනීය වේ.”
“තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
සොබාදහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...”
හේමරතන හිමියන්ගේ ගේය පද රචනයෙහි ප්‍රාතිහාර්යය, දිවුල්ගනේගේ ගායනාවෙහි මධුර, එහෙත් භාවාත්මක ගුණය මේ ගීතය පුරා දැවැටී නැත්තේද? අප සිත් ඊට සමීප වන්නේ දිවුල්ගේ හඬට මෙන්ම, ඔහු විසින් අරුත් ගන්වන හේමරතන හිමිගේ ගේය පද සංකල්පනාවෙහි අපූර්වත්වය නිසා නොවේද? එම ගීතය ඇසුණු මඳ විරාමයෙහි මට අවංකව සිතුණේ “දිවුල්, අනේ ඔබ ආණ්ඩුකාරයෙක් නොවුණා නම්” කියායි.මන්දයත් ආණ්ඩුකාර දිවුල්ගනේට වඩා ගායක දිවුල්ගනේට අපි කැමති බැවිනි.
බුද්ධදාස ගලප්පත්ති මහතාගේ ලිපියක් ඇසුරිණි.