ටෙලි කර්මාන්තයේ සිටින බොහොමයකගේ මුවින් පිටවෙන වචනයක් ඒ. ඇත්තටම 'මෙගා' ටෙලි නාට්‍ය කර්මාන්තය විනාශකරන කොඩි විනයක්ද?
උත්තරය... නැහැ... කොඩි විනය 'මෙගා' නොවෙයි. 'මෙගා' සංකල්පය තුළ දිග හැරෙන නිර්මාණවල බාල බවයි. අපේ රටේ 'මෙගා' පිටරටවල හඳුන්වන්නේ ‘සොප් ඔපෙරො' (soap opera) නමිනි. එම නිර්මාණවල උසස් හෝ බාල බව ගැන නෙවෙයි. අපේ 'මෙගා' ගැන කතා කිරීමයි උචිතය.
'දූ දරුවෝ' කියන්නෙත් දීර්ඝ කතා නාට්‍යයකි. නමුත් එය කොඩිවිනයක් විදිහට අපි නොදැක්කේ එහි තිබුන සංයමය සහ අපේ ජීවිතවලට එය කෙතරම් අනුගතද කියන දේ හිත්වල තිබුන නිසා විතරක්ම නොවෙයි. නාට්‍යයේ රසය විනාශ නොවී අවසන් වුන නිසා.
අද නිර්මාණය වන මෙගා නාට්‍ය බොහොමයක අවසානය පෙනෙන මානයක නැත. ජනප්‍රිය නළු නිළියන් මෙන්ම නැගී එන නවක ශිල්පීන්ද යොදවාගෙන කරන 'මෙගා' ප්‍රේක්ෂකයන් අසීමිතව වැළඳ ගන්නවානම්, ඒ ඔවුන්ගේ රසවින්දනයේ බාල බව නිසා නොව යම් තරමකට ඔවුන්ගේ ජීවිත අත්දැකීම් ඒ තුළ ඇති නිසාය.
ඒ ප්‍රේක්ෂක වැළඳ ගැනීම ආයුධයක් කරගන්නා ඇතැම් නාලිකා ඒ ජනප්‍රියත්වය අතීශයෝක්තියකින් මවා පාන්නට දෙවරක් නොසිතයි. අවාසනාවකට ජනප්‍රිය සම්මාන sms වලින් තෝරාගන්නා නිසා, එම සම්මානවලට හිමිකම් කියන්නේ බොහෝ දෙනෙක් නොහඳුනන චරිතයි. පසුව ඔවුන්ට එම කිරුළුවල බර දරාගන්නට නොහැකිව උමතුව හැසිරෙයි.
මෙලෙස සම්මානනීය වුන එක් යොවුන් ශිල්පිනියක් සුබ සාධන වැඩසටහනකට ආරාධනා කළත් මුදල් ඉල්ලන්නට පෙළඹී තිබේ. එපමණක් නොව තම ජනප්‍රියත්වයට රුකුලක් වූ මෙගා ටෙලි නාට්‍යයට දින නොදී වෙනත් නිර්මාණවලට දින දී ඇත්තේ, ජනප්‍රියත්වය ලබාදුන් ටෙලි නාට්‍යයෙන් ලැබෙන මුදලට වඩා අනෙක් ඒවායේ ආදායම වැඩි නිසාය. අවසානයේ එය පෙන්වන නාලිකාවේ ප්‍රධානියා මැදිහත් වී ඇයට දෙන මුදලද වැඩි කරගෙන ඇත.
නිර්මාණයක් යනු අභව්‍ය සිද්ධීන් පෙළ ගැසෙන්නක් බව අපි දනිමු. එහෙත් වර්තමානයේ මෙගා දිග හැර ගැනීමට අසීමිත අභව්‍ය දෑ ඇතුලත් කිරීම සුලබය. 'මෙගා' විකාශනය වී කලක් යද්දී 'රේටින්' අඩුවවහොත් සාස්තර කාරයන් ගෙන්වා බලි තොවිල් හදි හූනියම් කරන දර්ශන ඇතුලත් කරන්නේ ප්‍රේක්ෂක බහුතරයක් ඒවාට අන්ධ භක්තියෙන් සිටින බව විශ්වාස කරමිනි.
ප්‍රේක්ෂකයන්හට අප්‍රසන්න වන තරමට කතාව දිගු කරන්නේ නාලිකාවේ ඉල්ලීමටය. එතැනදී ජනප්‍රිය තරු ඉවත්වෙයි. ඒ ඉවත් වීම නිර්මාණය තුල පිටරට යනවා හෝ මරා දමා පෙන්වයි. මුදල් පදනම මත මෙගා 'යෝධ මෙගා' වෙද්දී ඇතැම් නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරු ද සිතන්නේ මුදල් පසුම්බිය ගැන පමණයි. දක්ෂ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකු පවා මේ 'යෝධ මෙගා' අභියස නන්නත්තාර වනු ඇත. ඔහුව යම් නිර්මාණයක් නිසා පිළිගත් ප්‍රේක්ෂකයන්ට මේ 'යෝධ මෙගා' නිසා ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇති බව නොතෙරීම අවාසනාවකි.
යම් හේතුවක් නිසා 'මෙගා' නාට්‍යයක් තව තවත්, තව තවත් දීර්ඝ වෙද්දී කතාව හිස්ය. පිටපත දුර්වල වේ. කොටස් 200-250 කට කැටිකරන්නට හිඳ කතාවක් කොටස් 500 කට 1000 කට දීර්ඝ කරන්නට කටයුතු කරද්දී එසේවීම අරුමයක් නොවේ. එයින් වන්නේ නාලිකාවත් නළු - නිළියනුත් අධ්‍යක්ෂකවරයාත් මතක් වෙද්දිම වමනයට ඒමයි.
මුදල් ගැන නොසිතා, වීදුරු කැටවලට තරු සම නොකර, කතා රසයක් රඳවාගෙන 'මෙගා' නාට්‍යයක් 'යෝධ මෙගා' නාට්‍යයක් බවට පත් නොකර ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි නම් සැබැවින්ම 'මෙගා" කොඩි විනයක් නොවනු ඇත.....
පැපා...