උපුල් ශාන්ත සන්නස්ගල නොහොත් සන්නා මුහුණූ පොතේ මිය ගිය උපාලි කන්නන්ගර සහෘදයා පිලිබඳ තබා ඇති සටහන අතිශය සංවේදීය.මනුෂයත්වයෙන් පිරි කලාකරුවන් දුලබය.මේ එවන් දුලබයෙකු පිළිබඳ සන්නස්ගල තැබූ සටහනයි
අසූව දශකයේ අග භාගයේ දෙල්කඳ ඇන්ටික් සාප්පුවේ තුන් වැනි තට්ටුවේ මමත්, ලලිත ප්රියංකර ඇතාකඩත්, ධම්මික බණ්ඩාරත් බෝඩිංගත ව සිටි ගොඩනැගිල්ලට ඉස්සරහ බස් හෝල්ට් එක ගාව ගෙදර උඩ තට්ටුවේ පදිංචි ව සිටි ජනප්රිය ගිටාර් වාදකයා ඔහු ය.
ඉන්දු අක්කා සමග දවසක් සිංදුවක් ලියා ගන්නට පැමිණ මගේ කාමරයේ දොරට ගැසූ විට, පොඩි තුවායක් ඇඳගෙන සිට දොරේ කොක්ක බාන්නට අත ඉස්සූ විට තුවාය බිමට වැටී අමු හෙළුවෙන් සිටි මට, ගණන් ගන්න එපා මල්ලී කියා ලැජ්ජාව තුනී කොට මිතුරු වූයේ ඔහු ය.
අජන්තා රණසිංහත් ඔහුගේ බිරිඳ සරෝජි අක්කාත් බන්දුල පද්මකුමාර හා සමන්මලී අක්කාත් ඉන්දු අක්කාත් සමග සියවස් කාලකට පෙර මගේ මනමාලිය බලන්නට ගාලු ගිය ගමන ගැනත්, අජන්තා අයියාගේත් සරෝජි අක්කාගේත් මරණ ගැනත් අවසන් වරට තුන් මසකට පෙර කතා කරමින් සිටියදී මරණය හා ජීවිතය ගැන අලුත් යමක් සැහැල්ලුවෙන් කීවේ ඔහු ය.
තිස් වසරකට පෙර මගේ මගුල් සූට් එකත් මගේ දෙවන මනමාලයාගේ සූට් එකත් පිටකොටුවේ ජයතිස්ස සහෝදරයන් වෙතින් මසා දී මගුල් කෑ අයුරුත් මට මගුල් කන්නට කළ නොවක් උපකාර ලේඛනයත් කියද්දී මගේ හිස සිඹ අපි මිනිස්සු නෙ මල්ලී කීවේ ඔහු ය.
මගේ මගුල් ගෙදර සංගීත කණ්ඩායම, සවුන්ඩ්ස්, ලයිට්ස් සපයා දී පමණක් නොව, අනේක උපකාර නොමිලේ සපයා, ඉන් නොනැවතී ඉන්දු අක්කා වීඩියෝ කරන විට ලයිට් එක පවා අල්ලා මට ලොකු අයියා වූයේ ඔහු ය.
තෙමසකට පෙර මගේ දෙවන මනමාලයා වූ ඇතාකඩගේ මරණය ගැන කතා කරද්දී, වසර දහයකට පෙර නුවර සුවසෙවණේ තම පළමු හෘද සැත්කමේ දී ඇතා කළ උදව් සිහි කළේ ඔහු ය.
තිස් වසරකට පෙර මගේ මගුල් ගෙදර සුපර් ෆෝචූන්ස් සමග වාදකයෙකු ලෙසත් ගායකයෙකු ලෙසත් සම්බන්ධ වූ රොනී ලීච්, සත පහක් ඒ වෙනුවෙන් නොගත් බව රොනීගේ මරණය දා සිහි කළේ ඔහු ය.
මං කසාද බැඳ හපුතලේ යන්නට සූදානම් වූ විට මට උඩරට මැණිකේ ට්රේන් එකේ නැරඹුම් මැදිරිය වෙන් කොට දී, සිය වන් ටෙන් කැමරාව ද දී, ඒ ගිය ගමනේදී ඒ කැමරාවෙන් මගේ බිරිඳ ගත්, අම්මා අප්පච්චි මැද්දේ මං ඉන්නා ෆොටෝ එක, සන්නා අම්මා තාත්තා අනාථ මඩමට ගෙන ගිය දා යනුවෙන් මඩ පෝස්ට් එකකට යොදාගෙන තිබු අයුරු උපේක්ෂාවෙන් විඳ, අප වටා ඉන්නා නොමිනිසුන් ගැන කම්පා වූයේ ද ඔහු ය.
මගේ අම්මා මියගියා. ඔහුගේ අම්මා මියගියා. අපි කතා කළා.
අජන්තා රණසිංහ මියගියා. සරෝජි අක්කා මියගියා. අපි කතා කළා.
රොනී ලීච් මියගියා. අපි කතා කළා.
ඇතාකඩ මියගියා. අපි කතා කළා.
ඔහු අද මියගියා.
උපාලි අයියේ,
කතා කරන්න ඉක්මනින් එන්නම්.