යාත්‍රා දකුණු ඉන්දියානු සිනමාවේ අලුත්ම යාත්‍රාවය. යාත්‍රිකයා රාජසේකර රෙඩ්ඩි (වයිඑස්ආර්) ය. 2004, 2009 වසරවල ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයාවූ ඔහු තරග කළ සෑම මැතිවරණයකින්ම ජය ලැබූවෙකි.
2003 වසරේ ගිනි ගෙන දැවෙන තරම් උණුසුම් වූ මාසවල ඔහු කිලෝමීටර් 1475 - 1500 ක දුර තෙමසක් පුරා පාද යාත්‍රාවක යෙදුණේ සිය ඡන්ද ව්‍යාපාරයේ කොටසක් ලෙසිනි.
මේ චාරිකාවේදී ඔහු මිනිසුන්ගේ පොදු ප්‍රශ්න හඳුනා ගත් අතර ඔහු ගැන ද මිනිසුන් දැන ගත්තේය. 2004 වසරේ පැවැති සෑම ඡන්දයකින්ම ඔහු ජය ලැබීය. 2009 වසරේ ඡන්දයට ද ඔහු අනුගමනය කළේ ඒ පිළිවෙතමය.
2009 සැප්තැම්බර් දෙවැනිදා ඔහු හැට හැවිරිදි වියේදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියේය. ඔහු ගමන් ගත් හෙලිකොප්ටරය නල්ලාමල කැලෑවේ රුද්රාකොන්ද කඳු මුදුනේ තිබී හමුවිය. ඔහුත් ඔහු සමඟ ගමන් ගත් පස් දෙනකුගේත් මළ සිරුරු කොටස් කන්දේ තිබී හමු විය. මේ ආරංචියෙන් සියයකට වැඩි පිරිසක් සියදිවි නසා ගත්හ.
පස් දෙනකුගෙන් යුත් මධ්‍යම පාන්තික ක්‍රිස්තියානි පවුලක වැඩිමලා වූ රෙඩ්ඩි තිරුපති කෝවිලට නිතර ගිය බැතිමතෙකි.
දකුණු ආසියාව පමණක් නොව ලෝක දේශපාලනයම මඩ ගොහොරුවක් වෙමින් පවතින යුගයක වී රාගව් ලියා අධ්‍යක්ෂණය කළ ‘යාත්‍රා ‘යාත්‍රා කිරීම අරඹා ඇත. ඒ දෙසැම්බර් 21 වැනිදා සිටය. අධ්යක්ෂවරයා සිනමා පටය ගෙත්තම් කර තිබෙන්නේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ යාත්‍රාවන් මූලික කරගෙනය. ජීවිත කතාවක් වුව ද ඔහුගේ සමස්ත ජීවිත කතාවම සිනමාපටයෙන් විවරණය වන්නේ නැත.
දැන් සිදුවීමෙන් පහළොස් වසරක් පමණ ගත වී ඇති නිසා ආන්ද්‍රාවේ ගම් නියම් ගම් බොහොමයක් වෙනස් වී ඇති අතර 2003 වසරේ පැවැති මුහුණුවර ලබාදීමට කැමරා අධ්යක්ෂවරයාට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ.
මයාලම් සිනමාවේ අති විශිෂ්ට රංගධරයකු වන සුපිරි තරුව වන මමූති, රාජසේකර රෙඩ්ඩි චරිතයට පණ පොවන්නේය. දමිළ, තෙළිඟු, හින්දි යන ඉන්දියානු සිනමාවේ සෑම භාෂාවකම සිනමාව අතික්‍රමණය කළ ඔහු රාජසේකර රෙඩ්ඩි චරිතය සඳහා සූදානම් වීම සඳහා ආන්ද්‍රා ප්‍රදේශයේ නිවෙසක් ගාණේ ගොස් රෙඩ්ඩි ප්‍රධාන අමාත්‍යවරයාට ආදරය කරන මිනිසුන්ගේ හදවතින් නැඟෙන කතාවන්ට සවන් දී තිබේ.
ඔහු රෙඩ්ඩි චරිතයට හඬ දීම සඳහා තෙළිඟු බස තෙළිඟු භාෂා විශේෂඥයකුගෙන් හදාරන ලදී. දර්ශන තලයට ද ඔහු උපදේශකයකු ගෙන්වා ගත්තේය. මමූති තෙළිඟු දෙබස් කියවන ලද්දේ මලයාලම් බසින් ලියා ගෙනය. මමූති ජාතික සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබුවෙකි. කේරළ රාජ්‍ය සම්මාන පහකට ද ෆිල්ම්ෆෙයාර් සම්මාන දහතුනකට ද ඔහු හිමිකම් කියයි.
සිනමා පටයේ රාජා රෙඩ්ඩි ලෙස ජගපති බාබු, ජගන් මෝහන් රෙඩ්ඩි විලසින් සුධීර් බාබු, සබීතා ඉන්ද්‍රා රෙඩ්ඩි ලෙස සුහාසිනී මනිරත්නම් රඟති. සිනමා පටයේ සංගීතය ක්රිෂ්ණ කුමාර් (කේ ) ගෙනි. සමාරා ශන්කම් සිනමා පටයේ අන්තර්ගත එකම ගීතයයි.
“මට දැන ගන්න ඕන. සවන් දෙන්න ඕන. කුඩ්ඩාපාවලින් එපිට හැම නිවෙසකටම යන්න ඕන. මිනිසුන් සමඟ ඇවිදිනවා වගේ දැනෙන්න ඕන. ඔවුන්ගේ හද ගැස්ම ඇසේවායි මා පතනවා.“ රාජසේකර රෙඩ්ඩි වෙමින් මමූති පවසන ටීසරය මිලියන තුනකට අධික පිරිසක් නරඹා තිබේ. දැන් ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ සිනමා ශාලාවලට යාත්‍රා කිරීමටය.
සිළුමිණ