කුලියාපිටිය දණ්ඩගමුව මහලේකම් තෙල් මෝල ඉස්සරහ බඹ අටක් දහයක් ගැඹුර ළිඳේ තිබිල තමයි පේමසිරිගෙ මිණිය ගොඩට ගත්තෙ. මිණිය පුටුවක වාඩිකරල කඹවලින් ගැටගහල පොලිසිය ඉදිරිපිටදිම නිර්වස්ත්රයෙන්මයි මිනිය ගොඩට ගත්තෙ.
මිනිය ගොඩට ගද්දි " පුතා මරලා මරලා" කියල පේමසිරිගෙ අම්ම පපුවට ගහගන ගහගන ගියා. ඉන්පස්සෙ සිහිනැතුව බිමට ඇදගන වැටුන.සිද්ධියට මේ වෙනකොට අවුරුදු විසිපහකටත් වැඩියි..........!
ඒ මිණිය ගොඩට ගද්දි
මං එතන හිටියා......!!!
කලබල වෙලා දියරැළි
සැල්වීනියා නලවති
දිය මත නිදන පාසි උඩ
දරදඬුව පාව යයි පේමසිරි......!
(මල්ලිකා - කාව්‍ය සංග්‍රහය.)
මම හිතන්නෙ ඉතාමත් මාරාන්තික, ප්‍රේමනීය, සංවේගජනක, ආන්දෝලනාත්මක, දුක්මුසු, අප්‍රසන්න සිදුවීම් ගොන්නක් රැගත් කවිපොතක් මේ පොත. මං දන්නෙ නෑ සත්‍යය සිදුවීම් පාදක කරගෙනම කවිපොතක් ලියන්න මට හිතුනෙම ඇයි කියල. නමුත් මෙහි ඇත්තෙ ඉතාමත්ම ව්‍යාකූලතාවයන්ට සංවේගයට පත්කරන පදවැල්.ඔබට දිරවයිද ඇලජික් වෙයිද කියල දන්නෙ සරස්වතී තමයි............!
ඔබ දන්නව කවියො, විචාරකයො, පත්තරකාරයො,දේශකයො මගෙ කවි ගැන කතාකරන්නෙ නෑ. එහෙම කියල මං අඬන්නෙත් නැති බව ඔබ දන්නව.නමුත් මට " අඬවන්න " පුළුවන් මොකක්ද ගති ලක්ෂණයක් පිහිටවල තියෙනව කවියට අනුබද්ධව. එනිසා පැහැදිලිවම මේ පොතෙන් මං ඔබව අඬවනව. ඒ කඳුළුවලින් ඔබ ජීවිතයේ අවර්ණ බව දකින්න. සුද බැඳුනු, වර්ණ අන්ධතාවයෙන් යුත් අහිංසක ඇස්වලට ප්‍රාණයක් දෙන්න මම මේ පොත ලිව්ව. ඔබ කඳුලෙන් සිනාව වෙත ගමන් අරඹන්න. ඔබ හිනාවෙන්නම් මට හෙට හිනාවෙන්න පුළුවන්.............!
පොතේ වැඩ අවසන්වේගන එනව. සමහර විට අම්මගෙ සොහොන උඩින් පලමු පිටපත තිබ්බායින් පස්සෙ ලබන අඟහරුවාදා වෙනකොට පොත ඔබ අතට පත්වෙයි........!
ඔබ දන්නවා දොරට වැඩීමක් නෑ. දේශන නෑ. පිළිගැන්වීම් නෑ. මාව ඔබට දැකගන්නට හෝ ඔබව මට දැකගැන්මට අවකාශයක් නෑ. අඩුම තරමින් බුක් ෆෙයාර් එකටවත් මං එන්නෙ නෑ. ආඩම්බරයකට නෙවෙයි. ඒ මගෙ ජීවිතේ ප්‍රාර්ථනාවන්.
කොහෙ හරි කුණු ගොඩක " මල්ලිකා " කියල පොතක් තිබුනොත් ඒ මම තමයි. කිරි හබරල කොලේකින් දාඩිය පිහදාල ඔබ ඒක අරගන්න. යුගයක කැළි කසළ තවත් යුගයක වටිනා වස්තූන් වෙයි.
බොහෝ අය විසිකළ මගේ කවි කිසියම්ම වූ අවිනිශ්චිත මොහොතක පපු මත සෙනේහෙන් දැවටේවි. ඒ නිස්චිත තත්පරයේ සමහරවිට මම නොසිටීවි........!
මාව ඔබගේ හදවත් පහන්වල දැවි දැවී නොනිවී තියේවි.........!!
මගෙ ප්‍රකාශකයා අමිල.
වගන්ති දහසයකින් යුක්ත නීති මාලාවක් කර්තෘ විසින් ප්රකාශකයාට පනවා ඇති. අකුරු එක්ක බූරු ගහන්න මුදලාලිලාට ඉඩ දෙන මිනිහෙක් නෙමෙයි මං. එහෙම ස්ථාවර කොඳු සහිතව හිඳීම
ලංකාවේ කර්තෘවරුන්ගේ ආත්ම අභිමානයට හොඳයි. අමිල මං උඹට ආදරෙයි. ඉල්ලල ඇති අයට පොත දීපං. කියපු සීමාවෙන් එහා පොත් ගැහුවොත් ජීවිතේට වැදගත්වෙයි කියල හිතෙන හිඟන්නෙක් උඹට නැතිවෙයි. පුතිභාව හා සමාජ කාර්යභාරයන් සල්ලිවලින් යට කරන්න ඕනෙ නෑ මචං............!!
මම යන්නම්......!
අඟහරුවාදා වෙනකොට මල්ලිකාගෙ ඇඟ උඩට ඔයාලගෙ කඳුළු වැටෙයි.......!
සුභ රාත්‍රියක්.........!!!
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
මුහුනු පොතෙන් උපුටා ගන්නා ලදී