සූරියා යනු දකුණු ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ දිනවල ඔහු නැවතත් පුවත් මවන්නකු බවට පත්ව සිටින අන්දම දකින්න පිළිවන්.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ සූරියා රඟපාන අලුත්ම චිත්‍රපටයේ පළමු කෙටි පූර්ව ප්රචාරක පටය මාධ්‍ය වෙත නිකුත් වීමයි.
මෙම සිනමාපටයේ නම ‘කන්ගුවා’. එය ‘ගින්නෙහි බලය ඇති මිනිසා’ වැනි අරුතක් ගැබ් වන වදනක් බවයි පැවසෙන්නේ. මෙම චිත්‍රපටය සූරියා රඟ පෑ චිත්‍රපට අතරින් වෙනස්ම මාදිලියක චිත්‍රපටයක් වනු ඇති බවටත් තොරතුරු පළ වෙනවා. එය වර්තමාන කාලය මෙන්ම වසර 1500 කට පෙර කාලවකවානුවක් ද පසුබිම් කරගත් නිර්මාණයක් බව සඳහන්. මෙහි සූරියා රඟපාන්නේ ගෝත්‍රික රණවිරුවකුගේ චරිතයක් බව ‘කන්ගුවා’ ගැන පළවන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඔහුගේ රණකාමී ස්වරූපය පසුගිය දා නිකුත් වූ පූර්ව ප්රචාරක පටයේ ද දැකගත හැකියි. මෙහි සූරියාගේ පෙනුම ඔහුගේ සාමාන්‍ය පෙනුමට වඩා බෙහෙවින් වෙනස්.
පූර්ව ප්රචාරක පටය නිකුත් වූයේ ජූලි 23 වැනි දිනයි. සූරියාගේ 48 වැනි උපන් දිනය යෙදී තිබුණේ ද එදිනටයි. ඒ නිසා මෙය ඇතැමුන් හඳුන්වා තිබුණේ ඔහුට ලැබුණු උපන් දින තෑග්ගක් හැටියට යි. මෙම පූර්ව ප්රචාරක පටයට මේ වනවිට සිනමා රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. එය නිකුත් වී ගත වූ පළමු පැය 24 තුළ මිලියන 22 ක පිරිසක් එය නරඹා තිබූ බව වාර්තා වෙනවා. මෙම වසරේ නිකුත් වූ ඉන්දියානු කෙටි පූර්ව ප්රචාරක පට අතරින් පළමු පැය 24 තුළ වැඩිම පිරිසක් නරඹා තිබුණේ අල්ලු අර්ජුන් රඟපාන පුෂ්ප-2 චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය යි. එම ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගැනීමට සූරියාගේ ‘කන්ගුවා’ ට හැකි වී ඇති බව සඳහන්.
‘කන්ගුවා’ චිත්‍රපටය ගැන පළවන ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ මෙහි සූරියා චරිත පහක් රඟපාන බවයි.! මෙය සත්‍යයක් නම් එයත් ‘කන්ගුවා’ නරඹන ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් වනු ඇති. නළුවකු හෝ නිළියක එකම චිත්‍රපටයක් තුළ එකවර මේ තරම් චරිත සංඛ්‍යාවක් රඟපාන අවස්ථා අතිශයින් දුර්ලභයි.
සිරුතායි සිවා නමැති දක්ෂ චිත්‍රපට අධ්යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘කන්ගුවා’ භාෂා 10 කින් ප්‍රදර්ශණය සඳහා මුදා හැරීමට නියමිත යි. එය ඉන්දියානු රුපියල් කෝටි 300 කට වැඩි වියදමක් දරා නිෂ්පාදනය කරන දැවැන්ත සිනමාපටයක් බවත් පැවසෙනවා. ‘කන්ගුවා’ ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ත්‍රිමාන චිත්‍රපටයක් හැටියට වීමත් විශේෂත්වයක්. සූරියාගේ චිත්‍රපට අතරින් මෙතරම් දැවැන්ත පරිමාණයකින් නිෂ්පාදනය කෙරෙන පළමු සිනමාපටය මෙය යි.
සූරියා සමඟ මෙහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ දීශා පටානි යි. ඊට අමතරව බොබි ඩියොල් ද මෙහි දුෂ්ට චරිතයක් රඟපාන බව සඳහන්. ‘කන්ගුවා’ සුපිරි නළු සූරියා ප්‍රධාන චරිතය රඟපාන 42 වැනි සිනමාපටය යි. ඔහු පළමු වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 1997 වසරේ තිරගත වූ ‘නෙරුක්කු නේර්’ නමැති සිනමාපටයේ යි. ඒ වනවිට ඔහු වයස අවුරුදු 22 ක තරුණයෙක්.
අද වනවිට සූරියා අතිශයින් ජනප්‍රිය නළුවකු වුවත් මුල් කාලයේ ඔහුට නළුවකු වීමේ වුවමනාවක් නොතිබූ බවත් සඳහන්. සූරියාට පළමු වරට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබී තිබුණේ 1995 වසරේ යි. ඒ වසන්ත් නමැති අධ්යක්ෂවරයාගේ ‘ආසෙයි’ නමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා යි. නමුත් නළුවකු වීමේ ආසාවක් නොතිබූ නිසා ඔහු එම ඇරියුම ප්‍රතික්ෂේප කර තිබුණා.
සිනමා රංගනයට පිවිසීමට පෙර සූරියා ඇඟලුම් කර්මාන්ත ශාලාවකත් සේවය කළ බවට කතාවක් තිබෙනවා. ඔහුගේ මුල් නම වූයේ සරවනන් සිවකුමාර් යන්න යි. සූරියාගේ පියා සිවකුමාර් දෙමළ සිනමාවේ සිටි ජනප්‍රිය නළුවෙක්. නමුත් සූරියා කිසි විටෙක තම පියාගේ නම භාවිත කර වාසි ලබා ගැනීමට කැමැත්තක් නොදැක්වූ බව පැවසෙනවා. කලින් සඳහන් කළ ඇඟලුම් කම්හලේ සේවය කරද්දී පවා ඔහු තමා සිවකුමාර්ගේ පුතා බව කිසිවෙකුට පවසා තිබුණේ නැති ලු! නමුත් කම්හලේ හිමිකරුවන් පසුව ඒ බව දැනගෙන තිබුණා.
සූරියා විවාහ වී සිටින්නේ ද ජනප්රිිය නිළියක වන ජෝතිකා සමඟයි. 2006 වසරේ යුග දිවියට එළැඹුණු ඔවුන් දෙදෙනා මේ වනවිට දරු දෙදෙනකුගේ මවුපියන්.
මෑත කාලයේ සූරියා රඟ පෑ චිත්‍රපට අතරින් ‘සූරාරයි පොත්රු’, ‘ජායි භිම්’ වැනි චිත්‍රපට බෙහෙවින් කතාබහට ලක් වුණා. සිනමා විචාරකයන් ද එම චිත්‍රපටත්, ඒවායේ සූරියාගේ රංගනයත් ඉහළින් අගය කර තිබෙනු දැකිය හැකි වුණා. ‘සුරාරයි පොත්රු’ හි රංගනය වෙනුවෙන් ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උලෙළේ දී ඔහු හොඳම නළුවා සම්මානයෙන් ද පිදුම් ලැබුවා. ඊට අමතරව මෙම චිත්‍රපට වෙනුවෙන් සූරියා තවත් බොහෝ සම්මාන දිනාගෙන ඇති බව රහසක් නොවෙයි. ‘සූරාරයි පොත්රු’ හින්දි බසින් නිර්මාණය කිරීමට ද මේ වනවිට කටයුතු කෙරෙමින් තිබෙනවා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ජනප්‍රිය නළු ආක්ෂේ කුමාර්.
ජූලි 23 වැනි දින සූරියා උපන් දිනය සැමරූ අවස්ථාවේ අජේ දේව්ගන්, මෝහන්ලාල්, මම්මුති ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් ඔහුට සුබ පැතුම් පිරිනමා තිබුණා