නිර්මාණයක මම දකින අගනාම දෙය වන්නේ ඒ නිර්මාණය ඔස්සේ ජීවිතාවබෝධයට කිසියම් බලපෑමක් කිරීමයි.
බාර්බි සිනමාපටය සැබැවින්ම ඒ අවබෝධයට අපූරු බලපෑමක් කරනවා. කුඩා දැරියන් ඉතාම ආදරය කරන සෙල්ලම් බඩුවක් වන බාර්බි ඉතා අපූරුවට වැඩිහිටි සිනමා අත්දැකීමක් බවට පත් කරන්න නිර්මාණකරුවන් සමත්වෙලා තියෙනවා.
බාර්බි කිහිප අතකින්ම අපගේ ජීවිතය ස්පර්ෂ කරනවා. බාර්බි වෙනුවෙන් සිදු කරන අලෙවිකරණ ව්‍යාපෘතිය ඔස්සේ සිනමා ශාලාවෙන් පිටත උන්මාදය හැදිලා තියෙන්නේ එය දරුවන් සහ නව යෞවනය ඔස්සේ දිවෙන විනෝදජනක හෝ රොමාන්තික සිනමාපටයක් ලෙසයි. සිනමාපටය බලන්න එන පිරිසගෙන් වැඩි පිරිසක් රෝස පාට ඇඳුම් ඇදගෙන පැමිණීමෙන්ම ඊට දක්වන උනන්දුව පෙනෙනවා. නමුත් එය ඊට හාත්පසින්ම වෙනස් සිනමාපටයක්. එය එක අතකින් මට නම් සොෆිගේ ලෝකය කෘතියේ රසවත්ම පිටු කිහිපයක් වගේම දාර්ශනිකයි.
සියල්ල කෙටියෙන් මෙන්න මෙහෙමයි
බාර්බිලන්තයේ ජීවත් වෙන බාබි නම් ජනප්‍රිය බෝනික්කාට අවස්ථාවක් ලැබෙනවා සැබෑ ලෝකයට එන්න. ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන ලෝකයට. හැමදේම රෝස පැහැයෙන් යුත් බාර්බිලන්තයේ ඉතාම පරිපූර්ණ යැයි සැළකෙන ජීවිතයක් ගත කරන බාර්බිට එහි ඒකාකාරි ජීවිතය එපා වෙනවා. අපි හැමෝටම වගේ ඉතිං ඇයටත් වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ වෙනස සොයා ගෙන සැබෑ ලෝකයට යන්න ඇය පියවර ගන්නවා. ඇයගේ ගමනට කෙන් කියන පිරිමි බෝනිකාත් එකතු වෙනවා.
ඔවුන්ට සැබෑ ලෝකයට පැමිණි පසුව යථාර්තය සුන්දර බාර්බිලන්තයට වඩා කටුකයි කියලා වැටහෙනවා. බාර්බිලන්තයේ නිතරම වෛරයෙන් , ක්රෝදයෙන් තොරව සිනාමුසු මුහුණින් ඉන්න බෝනිකන් වෙනුවට සැබෑ ලෝකයේ දුක, වේදනාව, සතුට, වයසට යැම, කෲරත්වය, රාගිකත්වය ආදී සියල්ල සමඟ මුසු වුණු සැබෑ මිනිසුන් හමුවෙනවා.
බාර්බි වගේම අනිත් සියලුම බාර්බිලා බාර්බිලත්තයේදී පෙනි සිටින්නේ ස්ත්‍රිවාදය, කාන්තාවන් බලගැන්වීම වගේ සංකල්ප වෙනුවෙන්. නමුත් බාර්බිලන්තයේදී ඔවුන්ට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. මන්දයත් බාර්බිලන්තයම ස්ත්රින් මුලික කරගත් ලෝකයක්. එහි ඉන්න කෙන් ඇතුළු පිරිමි බෝනික්කන් පිරිසත් එම කාන්තාවන්ට අනුව හැසිරෙන නිසා සැබැවින්ම ඒ තුළ බාර්බිලන්තයේ ස්ත්‍රිවාදය සංකල්පයක් පමණයි.
කොහොමහරි ඇත්ත ලෝකයට ආවට පස්සේ බාර්බිට වැටහෙනවා බාර්බි ඇතුළු කාන්තා සෙල්ලම් බඩු හදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයම පිරිමි කියලා. ඒ වගේම ඇත්ත ලෝකය තුළ ඇය බලපෑමක් රහිත ධනවාදය නිර්මාණය කළ තවත් සෙල්ලම් බඩුවක් පමණක් බව ඇය වටහා ගන්නවා. ධනවාදය තුළ ස්ත්‍රිවාදය විකිණෙන නිසා ඇය විකිණෙන බව වැටහෙනවා. ඒ සත්‍යය ඇය කණගාටුවට පත් කරනවා. ඇය වටහා ගන්නවා කාන්තාවන්ගේ බොහෝ ආශාවන් පිරිමින්ගේ යටි සිතේ ෆැන්ටසි කියලා. වානිජමය වශයෙන් පෙනෙන කාන්තා බල ගැන්වීම්, කාන්තා ඇඳුම් වගේම කාන්තා විරෝධතා රැසක් පිරිමින්ගේ යටි සිතේ ෆැන්ටසි තමයි. මට මෙය වඩාත් දැනුනේ මම රචනා කර 2017දී ප්‍රකාශයට පත් කළ පර්සෝනා නවකතාව ඔස්සේද ඉහළ පන්නයේ කාන්තා යට ඇඳුම් නිෂ්පාදන කර්මාන්තය පදනම් කරගෙන සංවාදයට බඳුන් කළේ මෙම කරුණමයි.
පර්සෝනා නවකතාවේ සටහනත් මෙය තහවුරු කරන්න මම සම්බන්ධ කරනවා. “පිරිමි නෙත්වලට කාර්යාලය, මහ මඟ, බස් රථය, අවන්හල, පන්සල, පල්ලිය සහ වීදිය අන්ත:පුරයක් ලෙස දිස් වෙමින් යන කාලයක් නිසා ගිනිසිළු වැනි ශ්‍රී ලාංකේය ස්වාධීන කාන්තාවන්ගේ අනුරාගී සුන්දරත්වය පිරිමින්ට රස විදින්න පුළුවන් ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීමේ කටයුත්ත පර්සෝනා කණ්ඩායම අති සාර්ථකව කරගෙන ගියා.
කාන්තාවකට වස්ත්‍රයෙන් උපරිම නිදහස දීම මගින් ඇයගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ දිගු කාලීන පුළුල් දැක්ම යටතේ පර්සෝනා ක්‍රියාත්මක වන බව සෙලීනා මාධ්‍යයට අභිමානයෙන් ප්‍රකාශ කළා. බටර් වගේ පාද, චිස් වගේ බෙල්ල, තැඹිලි වගේ පියයුරු, ෆුට් බෝලයක් වගේ පස්ස සහ සිහින් ඉණ යන ශරීර අංග මනාව නිරූපණය වෙන විලාසිතා නිර්මාණය වෙලා තිබුණත් තවමත් කාන්තාවන්ගේ නාභිය මනාව ප්‍රදර්ශනය නොවීම තුළ ලාභදායි ව්‍යාපාරික අවස්ථාවක් පර්සෝනා කණ්ඩායම හඳුනා ගත්තා.” පර්සෝනා නවකතාවේ උපුටා ගැනීම අවසන්.
වත්මන් පරිභෝජනවාදී ලෝකය තුළ ක්‍රියාත්මක වුණත් නැතත් එම සංකල්පයෙන් යහපතක් වුණත් නැතත් සංකල්පයක් කියන්නේම සල්ලි මවන යන්ත්‍රයක්. බාර්බි සිනමාපටයේ අවසානයට බාර්බි රෝස පාට ඇඳුම් වෙනුවට සරල ඇඳුමක් ඇඳගෙන, අඩි උස සපත්තු ගලවා, පැතලි සපත්තු පැළඳ පොලොවට සැබෑ ලෙසම පය තබා ජීවත් වීමට තීරණය කරනවා. නමුත් බාර්බි සිනමා කරුවන්ට හැකිවෙනවා නරඹන්නන්ට සරාගී රෝස පාට ඇඳුම් අන්දවන්න. එහි අපූරුම දේ වෙන්නේ අපිට සමිප කරන යාථාර්තයේම පාරිභෝගිකයා බවට නොදැනුවත්ව පත්වෙන්න අපිට සිද්ධ වෙනවා.
පිරිමි ලෝකය සහ ගැහැණු ලෝකය එකිනොට වෛර කරමින් සම අයිතිවාසිකම් ඉල්ලුවත් ඔවුන් වෙනස් ලෝක දෙකක් බව අපුරුවට පෙන්වන්න සිනමාපටය සමත් වෙනවා.ඒ ලෝක තුළ එකිනෙකාටම අනන්‍ය වේදනාවක් තියෙනවා. ඒ වගේම බාර්බිලන්තමය ප්‍රේමය තුළ එකිනෙකාට ඔවුනොවුන්ගේ අනන්‍යතා අහිමිවීම, අපි කවුද යන්න අපිවත් තේරුම් නොගැනීම නිසා සිදු කරන සටන, නිතර සටනටම සුදානම් වුණ නියම පිරිමියැයි සැළකෙන බොළඳ තිරිසන් පිරිමි ස්වභාවය ගැන බාර්බි අපටත් නොදැනීම ඉතා ලස්සනට ස්පර්ෂ කරනවා.
අවසානයට සිනමාපටය මෙන්ම මෙහෙම දෙයක් සරාංශ කරලා කියනවා. අපි හැමෝම ජීවත් වන්නේ බාර්බිලන්තයක වගේ සෙල්ලම් ලෝකයක. අපි නටවන්නේ මොන බලවේගයද යන්න අපි දන්නේ නැහැ. එය විශ්ව විඥාණයද, දෙවියන්ද, දේශපාලඥයන්ද, ආගමද නැත්නම් වෙළෙඳපොළ ඇතුළු මේ සියල්ලමද? නමුත් කෙනෙක්ට මේ පෙනෙන සෙල්ලම් ලෝකයෙන් මිදිලා යථාර්තයට ගමන් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රබල සිතිවිල්ලක් සහ දැනීමක් පමණයි. ඒ සඳහා තමයි ඇත්තටම ආත්ම විශ්වාසය අවශ්‍ය වන්නේ. එහෙම එහෙම නැතුව ඒ සෙල්ලම් ලෝකයේ නීති රීති හෝ ඒ සංස්කෘතියට අනුව ලස්සනට නටන බෝනික්කෙක් වෙන්න නෙවෙයි.
නියම බාර්බි කෙනෙක් වෙන්න නම් ලෝකයට ඕන විදියට රෝස පාට අදින්න එපා. ඔයාගේ බර සැහැල්ලු කරන්න ස්වභාවයට ආදරය කරන්න. එය පවත්වාගෙන යන්න.
කැලුම් වැලිගම