ශක්තිමත් අරටුවක් සහිත මහා රූක්ෂ ගස් පෙළක සෙවණ යට හැදී වැඩෙමින් මෙරට රංගන ක්ෂේත්රයට දායාද වූ ඔහු ලාංකේය කලාව සතු වූ වටිනාම වස්තුවක් වන්නේය. අහිංසක පෙම්වතාගේ සිට, කපටි දුෂ්ටයා දක්වාත් එතැනින් ඔබ්බට හාසේයාත්පාදක රංගන ශිල්පියකු වශයෙන්ද වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනම ආවරණය කරමින් තම ප්‍රතිභාව පෙන්වා සිටින මෙම සම්මානනීය ප්‍රවීණ නළුවා පසුගිය සතියේ තම සම්මාන ගොඩට එකතු කර ගත් අලුත්ම සම්මානය වන්නේ “ජනප්‍රියම ප්‍රතිවීර නළුවාට හිමි සම්මානයයි” ඔහු ඔබ අප කවුරුත් හඳුනන බිමල් ජයකොඩි.
මේ දවස්වල මොකද වෙන්නේ?
මීට සතියකට විතර කලින් ප්‍රවීණ අධ්යක්ෂ පාලිත පෙරේරා මහත්මයාගේ එලිෆන්ට්පාස් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළේ. කුඩා දරුවන් හා වනජීවීන්, වන අලීන් ගැන කතා කරන හරි අපූරු තේමාවක් තිබෙන චිත්‍රපටයක් ඒක. ඊට අමතරව තව මාසෙකින් විතර පස්සේ සම්මානනීය අධ්යක්ෂ අරුණ ජයවර්ධන මහත්මයා කාලෙකට පස්සේ කරන ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ වෙන්න නියමිතයි.
ගෙවුණු සතියේ ඔබ මෙරට සිනමාවේ ජනප්‍රියම ප්‍රතිවීර නළුවා සම්මානය හිමිකර ගන්නවා?
ඇත්තටම ප්‍රතිවීර නළුවා කියන කැටගරි එකෙන් මට සම්මානයක් හිමි වෙන්නේ මේ දෙවැනි වතාවට. පළමුවැනි වතාවට මට නෙගටිව් රෝල් එකක් නිසා සම්මානයක් ලැබෙන්නේ බෙනට් රත්නායක මහත්මයාගේ ඉරහඳ යට චිත්‍රපටයේ චරිතයට. මේ අවස්ථාවේදී මට ලැබුණේ ජනප්‍රියම ප්‍රතිවීර නළුවට හිමි සම්මානය. ඒ සම්මානයට හේතුවක් වුණු ප්‍රධානම චිත්‍රපටය වන්නේ වෛද්‍ය කපිල සූරියආරච්චි විසින් අධ්‍යක්ෂණය කළ සිනේමා චිත්‍රපටය. එහි මම රංගනයෙන් දායක වුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ගේ චරිතයට. මම මෙතැනදි අවස්ථාවක් කරගන්නවා චිත්‍රපටයේ අධ්යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට වගේම, කාර්ය මණ්ඩලයට හා මා එක්ක රංගනයෙන් දායක වුණු සියල්ලටම ස්තූති කරන්න.
නෙගටිව් රෝල් භාර ගන්න අකැමැත්තක් නැද්ද?
ලැබෙන චරිතය සුදුද කළුද කියන එක මම බලන්නේ නැහැ. මම බලන්නේ මට ලැබෙන චරිතයේ තිබෙන නිර්මාණශීලී බව හා ගුණාත්මකභාවය. ඒ වගේම මේ චරිතය ඇතුළේ මට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන දේ පිළිබඳව තමයි මම සැලකිලිමත් වන්නේ. ඇත්තටම මෙතැනදි මට සම්මානය ලැබුණට වඩා සතුටට කාරණය තමයි එම සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා, හාස්‍යෝත්පාදක නළුවා හා ජනප්‍රියම ප්‍රතිවීර නළුවා කියන සම්මාන තුන සඳහාම නිර්දේශිත නාමයන් අතරේ සිටියා. මට සම්මානය ලැබුණටත් වඩා සතුටුයි විශේෂයෙන්ම හාස්‍යෝත්පාදක නළුවෙක් විදිහට නිර්දේශ වෙන්න ලැබීම ගැන.
ඉස්සර වීරයාට විතරක් තිබුණු රසික ආදරය දැන් දුෂ්ටයාටත් බෙදිලා ගිහින් වගේ නේද?
දැන් වසර කිහිපයක ඉඳලා ප්රතිවීරයන්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක් හැදෙමින් පවතිනවා. වීරයා හෝ ප්රතිවීරයා වුණත් මේ වෙද්දි රසිකයෝ දන්නවා ඒ චරිතයට ආරෝපණය වෙන ශිල්පියා කරන්නේ රංගනයක් බව. එතැනදි ඒ චරිතය රසිකයන්ට දැනෙන ප්‍රමාණය අනුව ඔවුන් ඒ චරිතයට ආදරය කරනවා. එතැනදි ප්රතිවීරයා චරිතය ඇතුළේ සාර්ථක වෙන තරමට ඔවුන් දන්නවා රංගන ශිල්පියා තමන්ගේ කාර්යය නියමාකාරයෙන් ඉෂ්ට කරලා කියලා. ඇත්තටම දැන් ප්‍රේක්ෂකයා බොහෝම බුද්ධිමත්. ඔවුන් ආදරය කරන්නේ චරිතයට නෙවෙයි රංගනයට. එතැනදි මගේ දැක්ම තමයි ප්රතිවීරයා ලෙස ආදරය ලබන්න නම් අපි ඔහුව හරියට නිරූපණය කළ යුතුයි කියන දේ.
ජීවිතයේ එක් දවසක් සුරේන්ද්‍රට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒක කියන්නත් සංතෝසයි. මොකද මමත් මේ ක්ෂේත්රයට ආවේ ටෙලි නාට්‍යයේ ස්වර්ණමය යුගයේ අගභාගයේ. විශේෂයෙන් මම ජීවිතයට ඉඩ දෙන්න නාට්‍යය කරපු කාලයේ රසිකයෝ ඒ චරිතයේ ජීවත් වුණා. ඔවුන් ඒ චරිතය ගැන කතා වුණා. නමුත් මෑත කාලයේ මට ලැබුණේ “ආ ඔයා අර නාට්‍යයේ හොඳට රඟපානවා නියමයි” වගේ ප්‍රතිචාර, මොකද දැන් වෙද්දි රසිකයාට එක චරිතයක් වෙනුවෙන් වැය කරන්න ලොකු කාලයක් නෑ. ඒත් ජීවිතයේ එක් දවසක් නාට්‍යයත් සමඟ මට දැනෙනවා රසිකයන්ට මාව හම්බුණාම ආයෙත් ඉස්සර වගේ චරිතය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තිබෙනවා. ඔවුන් සුරේන්ද්‍රගේ චරිතය ඇතුළේ ජීවත් වෙනවා. ඒක මට පමණක් නෙවෙයි ඒ නාට්‍යයේ හැම ශිල්පියෙක්ටම පොදු අත්දැකීමක්. කාලෙකට පස්සේ ලැබෙන ඒ ප්‍රතිචාර එක්ක මම බොහෝම සතුටින් ඉන්නේ. එහි විශේෂ ස්තූතිය ලලිත් රත්නායක මහත්මයාට හිමි වෙන්න ඕනි.
අද වෙද්දි ලංකාවේ කලාව ඇතුළේ ලොකු පිබිදීමක් වෙලා තිබෙන බවක් පේනවා?
මම දකිනවා මෑත කාලය තුළ වේදිකාවෙන් ලොකු පිබිදීමක් සිදු වෙලා තිබෙනවා. මම හිතන විධියට එකම වට්ටෝරුවේ නිර්මාණ නැතුව වේදිකාව අතහැර නොගිය අතිදක්ෂ අධ්යක්ෂවරු නැවත වැඩ කරන්න යොමු වීමත් සමඟ ලොකු ප්රබෝධයක් සිද්ධ වුණා. විශේෂයෙන් රසිකයෝ මේ වෙද්දි වේදිකාවෙන් ලැබෙන සජීවී අත්දැකීම ලබාගන්න බොහෝම කැමැත්තෙන් එකතු වෙන බවක් පේනවා. ඒ වගේම ටෙලි නාට්‍ය ගැන කතා කරද්දි ස්වාධීන රූපවාහිනිය වගේ ආයතනයක් ලොකු පිම්මක් ඉදිරියට තබනවා. ඔවුන් කිසිම බෙදීමකින්, දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව දක්ෂ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් ඉඩ ලබා දෙනවා. ඒකත් අපේ රටේ ප්‍රේක්ෂකයා නැවතත් ගුණාත්මක දේශීය ටෙලි නිර්මාණ කරා යොමු වීමට හේතුවක් වුණා.
සිනමාව ගැනත් කතා කරමු?
සිනමාව ගැන කතා කරද්දි සිනමාවේ පිබිදීමට ලොකු හේතුවක් විදිහට අලුත් ආකාරයට නවීන පහසුකම් සහිතව ඉදිවෙන සිනමා ශාලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම පසුගිය කාලයේ මිනිසුන් රසවිඳින ආකාරයේ නිර්මාණ බොහෝමයක් බිහි වුණා. ඒවා ගැන විවිධාකාර මතවාද තිබුණත් රසිකයන් ඉල්ලන දේ ලබාදීමට හැකිවීම නිසාම ප්‍රේක්ෂකාගාරය නැවතත් ක්‍රමයෙන් දේශීය නිර්මාණ දෙසට යොමු වෙන ආකාරයක් පේන්න තිබෙනවා.
ලංකාවෙන් දකුණු ඉන්දියානු සිනමාවට එක්විය යුතු නළුවෙක් විදිහට රසිකයන් ඔබව හඳුන්වනවා?
ඇත්තටම පසුගිය කාලේ මලයාලම් සිනමාපට දෙකක වැඩ කටයුතු කරන්න සියල්ල සූදානම් කරලා තිබෙද්දි අතරමඟ නතර කරන්න සිදු වුණා. එකක් අවාසනාවන්ත ලෙස ආපු කොවිඩ් ගැටලුව නිසා. අනෙක් සිනමාපටයේ මතු වුණු නිෂ්පාදන ගැටලුවක් නිසා ඒක අහිමි වුණා. ඇත්තටම ඒ වෙනුවෙන්ම වැඩ කරනවා නෙවෙයි. නමුත් අවස්ථාවක් ලැබෙනවානම් නම් බොහොම කැමැතියි. මේ වෙද්දිත් යම් යම් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා. බලමු ඉදිරියෙදි.
බිමල් ජයකොඩි කියන ගායකයා ගැනත් කතා කරමු?
ඇත්තටම මගේ මුල සංගීතය. මම පසුගිය කාලේ එක හුස්මක් නමින් ගීතයක් කළා. මට ඕනි ආවට ගියාට නිර්මාණයක් කරන්න නෙවෙයි. හොඳ ගුණාත්මක දෙයක් රසිකයන්ට ලබා දෙන්න. ඉදිරියෙදි සංගීතය ගැන තවදුරටත් හොඳින් හදාරලා හොඳ ගුණාත්මක ගීත නිර්මාණ කිහිපයක්ම රසිකයන්ට ලබා දෙන්න කටයුතු කරනවා.
මේ සියල්ලටම සහාය වෙන ඔබේ ආදරණීය බිරියවත් මතක් කරමු?
ඇත්තටම මගේ ජීවිතයේ සියල්ල ඇය. ජීවිතයේ අත්විඳින හැම උස් පහත් වීමකදි ඇය තමයි මාත් එක්ක ඉන්නේ. මට ශක්තියක් වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ඇය මටත් වඩා පරිණතයි වගේම ශක්තිමත් කියලා. මොකද ඇයට ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ඇතැම් අවස්ථාවල මාව පවා ශක්තිමත් කරන්නේ ඇය.
සංවාදය : අක්ෂි මාපා වීරසිංහ - මව්බිම හදගැස්ම