කෙටි කාලයක් තුළදී බොලිවුඩයේ ඉහළටම ආපු සාර්ථකම රංගන ශිල්පිණියක් තමයි ක්‍රිති ෂැනොන් කියන්නේ. ජනප්‍රියත්වය ඉහළින්ම දිනා සිටින ක්‍රිති වර්තමානය වන විට බොලිවුඩ් සිනමාව තුළ කාර්යබහුලම රංගන ශිල්පිණියක්ද වෙනවා. ශේසාදා, අදිපුරුෂ් චිත්‍රපටවලින් දුටු ඇයව මේ වසරේදී තවත් චිත්‍රපට කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට ක්රිතිව දැකගන්න පුළුවන්. තිරගත වෙන ඒ චිත්‍රපට අතර අති සාර්ථක වනු ඇතැයි අනුමාන කළ හැකි චිත්‍රපට කිහිපයක්ද තියෙනවා.
ක්‍රිති සිනමා රංගනයට එන්නේ 2014 වසරේ. ඒ සුපිරි නළු මහේෂ් බාබු සමග රංගනයෙන් දායක වූ නෙනොක්කාඩින් කියන තෙළිඟු චිත්‍රපටය හරහා. මහේෂ් බාබු රඟපෑවත් චිත්‍රපටය නම් ලොකු සාර්ථකත්වයක් හිමිකර ගත්තේ නැහැ. ඒ වසරේම තිරගත වු හිරෝපාන්ත් බොලිවුඩ් චිත්‍රපටය තුළත් ක්රිතිව ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණා. ටයිගර් ෂෙරොෆ් සමග රඟපාපු මේ චිත්‍රපටය නම් සාර්ථක ආදායමක් උපය ගන්න පුළුවන් වුණා.
වරලත් ගණකාධිකාරීවරයෙකු වන රාහුල් ෂැනොන් සහ දිල්ලි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරියක වන ගීතා ෂැනොන්ට දාව ක්‍රිතිගේ උපත සිදුවෙලා තියෙන්නේ නව දිල්ලි නගරයේදි. ඇය පන්ජාබි හින්දු පවුලකින් පැවත එන්නියක්ද වෙනවා. සිනමාවට සම්බන්ධ වීමට පෙර ක්‍රිති ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තාක්ෂණ උපාධියක්ද හිමි කරගෙන තිබිම විශේෂත්වයක්. රංගන ශිල්පිණියක් වන්නට පෙර ඇය කෙටි කාලයක් නිරූපිකාවක් ලෙසද වැඩ කරලා තියෙනවා.
2019 වසර වන විට ක්‍රිතිගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක්. එය ඒ වසරේ ෆෝබ්ස් සඟරාව විසින් නම් කළ ඉන්දියාවේ ධනවත්ම තරු අතර 38 වැනි ස්ථානයද වෙනවා. පසුගිය වසරේ ඉන්දියාවේ ප්‍රකට සඟරාවක් විසින් වඩාත්ම බලගතු තරුණ ඉන්දියානුවන් 30 දෙනා අතරටද ඇයව ඇතුලත් කර තිබෙනවා. වර්තමානය වනවිට චිත්‍රපට රංගනයක් සඳහා ක්‍රිති විසින් ඉන්දීය රුපියල් කෝටි 08ක් අය කරන බව තමයි ආරංචි වෙන්නේ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා හි වඩාත්ම කැමති කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුවේ, ඇය 2017 වසරේදී 14 වැනි ස්ථානයත්, 2018 වසරේදී 13 වැනි ස්ථානය, 2019 වසරේදී 15 වැනි ස්ථානය සහ 2020 වසරේදී 19 වැනි ස්ථානය ලබා ගැනීමට ක්‍රිති සමත් වුණා. පසුගිය වසර දෙක තුළ නම් ඇය මේ ලැයිස්තුවේ හිටියේ පළමු දස දෙනා අතරේ. වර්තමානය වනවිට ඇයගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ පමණක් අනුගාමිකයින් මිලියන 54 කට අධික පිරිසක් එකතු වී තිබෙනවා. ඒ හරහාම දැනගන්න පුළුවන් ඇයට තියෙන රසික කැමැත්ත.
දැනට ව්‍යාපාර කිහිපයක්ම ආරම්භ කර ඇති ක්‍රිති පසුගිය වසරේ ආරම්භ කළ මිස් ටේකන් කියන ඇඳුම් ව්‍යාපාරය ඉමහත් ලාභ ලබන ව්‍යාපාරයක් බවට අද පත්වෙලා තියෙනවා. මෙම ව්‍යාපාරයට අමතරව ඇයට උතුරු ඉන්දියාව තුළ ශාරීරික යෝග්‍යතා කායවර්ධන ව්‍යායාම් ආයතන රාශියක්ද අයිතිව තිබෙනවා. තව ඇය සම ආරක්ෂා කරන ආලේපන නිකුත් කරන වෙළෙඳ ආයතනයක හිමිකාරියක්ද වෙනවා. මේ වනවිට කෝකා කෝලා, ටයිටන් ඇතුළු ලොව ඉහළ පෙළේ වෙළෙඳ ආයතන කිහිපයකම සන්නාම තනාපතිනි ලෙසද කටයුතු කරන්නේ ක්‍රිති.
ක්‍රිති මීට දින කිහිපයකට පෙර ඉන්දීය ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඒ වසරේ හොඳම නිළිය ලෙස. ඇයට මෙම සම්මානය හිමි වූයේ පසුගිය වසරේ තිරගත වුණ ලක්ෂ්මන් උටේකාර්ගේ මිමි කියන චිත්‍රපටයේ කළ රංගනය උදෙසා. ජාතික සම්මානය දිනාගැනීමත් සමග ලෝකයේ බොහෝ දෙනෙක් ඇය ගැන සොයන්නට උනන්ඳු වී තිබෙනවා කියලා තමයි ඉන්දීය මාධ්‍යය කියන්නේ.
සිනමා විචාරකයින් සඳහන් කරන විදිහට ඇය දිපිකා, ආලියා, කත්රිනා වැනි සුපිරි නිළියන්ද අභිභවා බොලිවුඩයේ අංක එකේ නිළි කිරූළට නුදුරේම ළඟා වෙනවා කියලා. අද වෙන කොට ක්‍රිති කියන්නේ ගොඩ දෙනෙක් ආදරය කරන බොලිවුඩ් සිනමා තරුවක් හින්දා විචාරකයෝ කියන මේ දේ සැබෑ වෙන්නත් ඉඩ තියෙනවා කියලා තමයි අපටත් කියන්න වෙන්නේ.
බුද්ධික සේනාධීර