කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී හෙවත් රටක් දන්නා කලාකරුවා ජැක්සන් ඇන්තනි අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ අය පවසයි.
1958 ජූලි 08 වැනිදා උපන් ඔහු අභාවප්‍රාප්ත වූ අද (9) දක්වාම ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකාව සහ රූපවාහිනී නළුවෙකු හැටියට පවත්වාගෙන ආ දුර්ලභ ප්‍රතිභාව අනුස්මරණය නොකරන අයෙකු ශ්‍රී ලංකාව තුළ සොයාගත නොහැකිය.
කෙසේ නමුදු, මීට මාස 14කට පෙර සිදු වූ රිය අනතුරකින් කොළඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් අනතුරුව මිය යන තුරුම ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකය තුළ රඳවාගැනීම පිළිබඳව විවේචනාත්මක සහ සංවාදාත්මක තත්ත්වයක්ද රට තුළ පැවතිණි.
හොඳම නළුවා හැටියට සම්මාන දහසයක් දිනූ මේ කලාකරුවා අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන භූමිකා තුළද කාර්යක්ෂම ජීවත් වූ තැනැත්තෙකි.
රාගම, පොඩිවී කුඹුර ගම්මානයේ උපත ලැබූ ජැක්සන් හපුගොඩ ශාන්ත මරියා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ, පසුව ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලැබූ ජැක්සන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලැබූවෙකි.
සිය සාර්ථකත්වයේ දැවැන්තයා ලෙස සිය පියා වන බෙනඩික්ට් ඇන්තනී සහ මව රොලින් පෙරේරා හැඳින්වූ ජැක්සන්ගේ සීයා ලංකා විදුලිබල මණ්ඩලයේ අවේක්ෂකයෙකු ලෙස සේවය කළ පේදුරු ඇන්තනි විය. සහෝදරයන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයෙකු වන ජැක්සන්ගේ වැඩිමහල් සහෝදරයා මාධ්‍යවේදියෙකු වන සේනක ටයිටස් ඇන්තනි ය. ඔහුගේ අනෙක් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය. සේනක ටයිටස් මේ වන විට මියගොස්ය.
කලා ක්ටයුතුවල නියැලෙන කුමාරි මුණසිංහ සමඟ විවාහ වූ ජැක්සන්ට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටින අතර මාධවී වත්සලා, අකිල ධනුද්දර, සජිත අනුත්තරද රූපවාහිනී ඉදිරිපත් කරන්නන්, ගායකයකයන් සහ නළුවන්ද හැටියට කලා කටයුතුවල නියැලෙමින් සිටී.
විශ්වවිද්‍යාල වේදිකාවේ නාට්‍ය කිහිපයකම රඟපෑ ජැක්සන් නෙවිල් ඩයස් සුබසිංහගේ වරුවෙන් යන මිනිසුන් සහ මානවයෝ මෙන්ම ඊ.එම්.ඩී. උපාලිගේ මෙතැනින් මාරුවෙනු නාට්‍යයේද රංගනයෙන් දායක විය. මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල බීෂණ, අත්, මොර, තාරාවෝ ඉගිලෙති වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක රඟපෑ ඔහු ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවාද වූයේය.
1993දී ඔහු සිනමා කර්මාන්තයට බට ජැක්සන් ගුරු ගෙදර, චිත්ති, අයෝමා, ලොකු දුව වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී බව දුක, බව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා වැනි චිත්‍රපටවලත් රූපවාහිනියේ පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, පිටගම්ගරයෝ සහ අකාල සන්ධ්‍යා යන මාලා ඔස්සේ ජනතාව දිනා ගත්තේය. පිටගම්කාරයෝ කතාමාලාවේ රංගනය වෙනුවෙන් සුමති සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේද ජැක්සන් වේ.
1992දී සිය මංගල ටෙලි නාට්‍යය ඇසළ කළුවර අධ්‍යක්ෂණය කළ අතර 2014දී දෙවන ටෙලිනාට්‍ය දස්කොන් අධ්‍යක්ෂණය කළේය.
ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ ජුලියට්ගේ භූමිකාවයි. කළ දේශීය සම්මාන උළෙල කිහිපයකදී සම්මාන දිනූ ජැක්සන් සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ OCIC සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී ඔහු හොඳම නළුවා හැටියට සම්මාන 20කට වඩා ලබාගෙන ඇත. ධර්ම යුද්ධය ජැක්සන් රඟපෑ විශිෂ්ට චිත්‍රපට අතරින් එකකි. පහත දැක්වෙන්නේ ජැක්සන්ගේ අභාවය ගැන ඔහුගේ දියනිය පළ කළ සටහනකි.
2022 ජුලි 2 වැනිදා අනුරාධපුර තලාව ප්‍රදේශයේදී ඇන්තනි ඔහුගේ බාල සොහොයුරා වන සමන් ඇන්තනී සහ මිතුරෙකු ගමන් ගත් වාහනය තලාව ප්‍රදේශයේදී වන අලියෙකු හා ගැටීමෙන් සිදු වූ අනතුරකින් රෝහල් ගත කෙරුණේ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වී කාලයේය. අනතුරින් අනුරාධපුර ශික්ෂණ රෝහලටත්, ජුලි 3 වැනිදා පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයටත් ඇතුළත් කළ ජැක්සන් කොළඹ ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ මිය යන දිනය ද්ක්වාම පතිකාර ලැබීය. ජැක්සන් ගෙදර යැවීද, දැඩි සත්කාර ඒකකයේ කොපමණ කලක් ගත කළේද යන්න මේ දක්වා බොහෝ මාතෘකා වූ කාරණයක් විය.