අසරණ විදි සුනඛයන් සඳහා රැකවරණයක් ලබා දීමේ අරමුණින් පසුගියදා (29) කොළඹ තුරඟ තරග පිටිය අසල පැවැත්වුණු රැකවරණ දිනය සඳහා ඔබ හොඳින් හඳුනන ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙක් ද එක් වී සිටියා.
ඒ වෙන කවුරුත් නෙවෙයි රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා, නදීෂා හේමමාලි සහ රංගන ශිල්පී ලාල් වීරසිංහ යි.
එහිදී මාලනී ෆොන්සේකා සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියා.
“සුනඛයන්ගෙන් ලබා ගන්නා ආදරය වෙන කොතනකින්වත් ලබා ගන්න බැහැ. නිවාස අහිමි පැටව් 6 දෙනකු මම මේ වනතෙක් රැකබලා ගත්තා. ඉතින් ඒ පැටවුන්ට වාසස්ථානයක් හොයා ගන්න උදව් වෙන්න මම අද එකතු උනා. මා ළඟ තව සුනඛයන් 2 සහ පූසෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම ගැහැණු ළමයි. ගැහැණු සතුන්ට ටිකක් සලකනවා මදි. ගැහැණු සත්තු කරදරයක් ලෙස සලකනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම එයාලව අරන් හදා ගන්නවා,”
“මම සුනඛයන් 20 දෙනෙකු රැකබලාගන්නවා. ඔවුන් සිටින්නේ මගේ අලුත් නිවහන පිහිටා ඇති මිරිස්සේ. ගොඩක් උදවිය පිටරටින් අරගෙන එන සුනඛයන්ව හදා ගන්න තමයි උත්සහ කරන්නේ. ඒත් අපේ රටේ සිටින මේ අසරණ සුනඛයන්ට අපේ රැකවරණය වඩාත් අවශ්‍යයි. ඉතින් මම කියනවා අපි හැමෝම එකතු වෙලා ඔවුන්ට ඒ දේ ලබා දෙමු කියලා,” යනුවෙන් රංගන ශිල්පිනි නදීෂා හේමමාලි ප්‍රකාශ කර සිටියාය.
“අපි දියුණු සත්වයන් කොටසක්. මේ අහිංසක සතුන්ට කතා කරන්න මොන යම් හෝ දෙයක් ඉල්ලන්න බැහැ. ඉතින් දියුණු සත්වයින් හැටියට අපි දැනගන්න අවශ්‍යයි ඔවුන්ව වඩාත් හොඳින් රැකගන්න. එහෙම නොකරනවානම් අපි ලජ්ජා විය යුතුයි,” ඒ රංගන ශිල්පී ලාල් වීරසිංහගේ අදහසයි.
මෙම අවස්ථාව සංවිධානය කිරීමට දායක වූ ඔටාරා ගුණවර්ධන මහත්මියට ද ඔවුන් තිදෙනා විශේෂ ස්තුතිය පල කර සිටියහ.