ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!
පවුලෝ කොයියෝ
ඈ මෙන්ම අපත් හුස්ම වැටෙන මිනිස් ජීවීන් වීමු. මිනිස් ජීවීන් කියා නොනැවති, දුවනවාට වඩා නැවතී සිටීමෙන් හර්ද ස්පන්දනය බාල වෙනු අත් විඳින සත්ව ප්‍රාණීන් වීමු. වැටෙන හුස්මක් ඉහල ගෙන පහළ හෙලීමට පවා දිරියක් නැතිව , ආයාසයෙන් හුස්ම අල්ලා, ජීවත් වීමට හේතු කාරණාවක් සොයන්නට උපන් මොහොතේ පළමු හැඬීමේ සිට වෙහෙස වීමු.. වෙහෙස නිවා ගන්නට අප පා ඉක්මන් කොට බර අඩි තබා ජීවිත ගමන ඉක්මන් කරන්නෙමු. ගමන් වේගය බාල වෙද්දී 'නැවැත්ම' අප බිය ගන්වනු ඇත. 'පැවැත්ම' නවතිනු ඇත. පැවැත්මට නිමිත්තක් සොයා ගනු නොහැකිව, දිවිල්ලේ වේගය බාල වන විට හර්ද තන්තු කවදාවත් නොපැතූ සංඥාවක් නිකුත් කලහොත්.....
'දැන් ජීවත් වුනා ඇති!!!!!!' ???????
ජීවිතයේ එක වතාවක් හෝ ඔබට මැරෙන්නට සිතී තිබෙනවාද? කල්පිත හෝ යථාර්ථයන් වූ මාතෘකා වල මිනිසෙකු සිය දිවි නසාගන්නේ එක්කෝ පෙම් පලහිලවුවකින් සිත් බිඳී යාමෙන්, විභාගයක් අසමත් වීමෙන් , ණය බරින් මිරිකීමෙන් , විශාදය අවපීඩනය හෝ එවැනි මානසික අවපාතයකට ගොදුරු වීමෙන්... ඒත් ජීවිතයේ එක් වරක් හෝ ඔබ හිස්කමෙන් ආකූල වීමෙන් ජීවිතය හැර යන්නට තීරණය කර තිබෙනවාද?
ජීවිතේ මල්ට එහෙම හිතිලා තියෙනවා... ඈට වගේම වෙරෝනිකාටත් දවසක් එහෙම හිතුනා. ඔබ අහාවි... ඒත්.... ඇයි ඒ...? මොනවයින් අඩුවක්ද?
ආදරේ ....? නෑ
සල්ලි ....? නෑ
සමාජ තත්වය? නෑ
රස්සාවක්... ? නෑ
එහෙනම්?
මේ මොන ප්‍රශ්නයක්වත් නැති වීමත්, ජීවත් වෙන්නට හේතුවක් නොපෙනී යාමත් නිසා ඔබ එක් වතාවක් හෝ 'මැරෙන්නට තියනවානම් හොඳ' බව තීරණය කර තිබෙනවාද ? වෙරෝනිකා මේ විදියට ජීවිතයෙන් වෙහෙස වුනා.... මුකුත්ම නොදැනෙන,හැඟීම් දැනීම් විරහිත ලෝකයක දවස ගෙවන එක ඈට ප්‍රශ්නයක් වුනා.. සියල්ල ඉතා හොඳින් සිද්ද වෙද්දීත්...! වෙරෝනිකා උදේ හවා කාමරයේ වහලේ සිදුරු ගණිමින් ඔහේ උඩුබැලි අතට වැතිරී උන්නේ නෑ. ඈ රැකියාවට ගියා... ඈ ඉගෙන ගත්තා... දෙමාපියන් හමු වුනා.. ඒත් ඇගේ හිතේ හිඩැස පිරුනේ නැහැ. ඈ වටා බැඳුනු හිස්කමේ පටලය විසින් ඇයව ක්‍රමයෙන් උදාසීන කරන්නට වුනා.ඈ ජීවත් වීමෙන් වෙහෙස වෙමින් , බෙලහීන මිනිස් ජීවියෙක් බවට පත් වුනා. වෙනසක් සොයා යනු වෙනුවට වෙනසක් අනවශ්‍ය වුනා. වෙනස් වන්නට ඇයට උවමනාව නැති වුනා. ඇයට හිමි වෙන්නට හෝ අහිමි වෙන්නට දෙයක් නොමැතිකමෙන් ඈ පීඩාවට පත් වුනා...
ඉතින්.. වෙරෝනිකා තීරණය කලා මැරෙන්න.. කවුරු නවත්වන්නද ඈව? නිදි පෙති විශාල ප්‍රමාණයක් හෙමි හෙමින් එකින් එක පානය කරමින් ඈ මරණය අභියස මරණය බලාපොරොත්තු වන්නියක් වුනා.එක් වරම ඈ සලිත වුනා.... බලාපොරොත්තුවක්!! මරණය !! විටෙක මරණය හෝ වේවා , ජීවත් වීම උදෙසා , වෙනසක් උදෙසා නිමිත්තක් සපයන බව හඟින්නට ඈට පලමු අවස්ථාව උදා වුනා. ඒත් බලාපොරොත්තුවේ එලි දැල්වෙද්දීම වෙරෝනිකාගේ ජීවිත පහන් සිල නිවී යන්නට පටන් ගත්තා..
ඈ සිහි ලැබුවේ 'විලෙත්' හිදී.... ඒත් ඒ සිහි ලැබීම, ජීවත් වීමේ ආශාවන් දල්වද්දී දොස්තරවරයා සහ දෛවය එය යලිත් නිවා දමනවා. ඈට හිමිවන්නේ සතියක කාලයක් ! අඩකටත් වඩා මිය ගොස් සිටි හෘදය වස්තුව සමග 'මරණයේ බලාපොරොත්තුව' ජීවත් වෙන්නට පටන් ගන්නවා... ඒත් ඈට හැමදේටම ඉතිරි වන්නේ සතියයි ! කොටින්ම ජීවත් වෙන්නටත් !
වෙරෝනිකාට ජීවත් වන්නට බලාපොරොත්තුවක්! ඒත් ඈ ප්‍රමාදයි... ජීවිතයේ උත්කර්ෂය හැඟෙන මානයේදී , ජීවිතාශාව පණ ගසද්දී, මිය නොයා යුතු බව හැඟෙද්දී.... ඈ ප්‍රමාද වැඩියි !!!
ඈ ජීවත් කරවූයේ 'මරණයයි' ! මා එසේ කීවොත් ඔබ ඇතැම් විට මට එරෙහි වේවි... ඈ කුමක් කරාවිද? ඈ කෙසේ ඒ සතිය ගත කරාවිද? ඈ 'වෙනස' වටහා ගනීවිද?
මේ කෙටි සටහනට පාදක වූ , පවුලෝ කොයියෝගේ 'වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි' පොතෙහි එන අවසන් පේලි කිහිපයකින් මා මේ සටහන් අවසන් කරන්නම්....
'ඔබට ජීවත් වන්නට හේතුවක් උවමනා වූ විට... හොඳ හෝ නරක.... දුක හෝ සැප කුමක් හෝ හේතුවක් .... විටෙක මරණය පවා ජීවිතාශාව සපයන හේතුවක් වනු ඇත..'
කර්තෘ: පවුලෝ කොයියෝ
පොත : Veronika Decides to Die
අනුවාදය: වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි
දිල්ශාරා වීරසිංහ,