කලාව යනු විවිධ වූ පැතිකඩයන් ඔස්සේ ව්‍යාප්ත වෙමින් නිර්මාණකරුවන් බිහිවන අංශයකි. ඒකාකාරී නොවූ මෙම කලාව වෙනුවෙන් ඇතැමුන් වෙහෙසෙනු ලබන්නේ බොහෝ ළැදියාවෙනි. බොහෝ නිර්මාණකරුවන් විවිධ වූ මාවත් ඔස්සේ නිර්මාණය කරනු ලබන නිර්මාණ අද වන විට ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එම නිර්මාණකරුවන්ගේ ඇති සුවිශේෂී වූ හැකියාවන් නිසාවෙනි. ඇතැම් නිර්මාණ සංකල්පයන් බොහෝ අනතුරුදායක මට්ටමේ පැවතියත් එවැනි නිර්මාණ නිපදවීමේදී ඉතාමත් ඉවසිලිවන්තව සහ ආරක්ෂාකාරීව සිදුකිරීමෙන් විස්මිත නිර්මාණයන් ලොවට දායාද වනු ඇත. එවැනි නිර්මාණාත්මක කලාකාරිනියක ලෙස Brenna Baker හැඳින්විය හැකිය. මැයගේ නිර්මාණාත්මක සංකල්පය යම් අනතුරුදායක බවක් ගෙන දෙනු ඇතැයි බොහෝ දෙනා පවසයි. Brenna Bakerගේ හැකියාව මේ වන විට බොහෝ දෙනා දන්නා කාරණාවක් වී තිබේ.
Brenna Baker විසින් සිදුකරන්නේ වීදුරු මගින් මූර්ති සහ මල්පෝච්චි වැනි දේවල් නිර්මාණය කිරීමයි. ඇයයේ මෙම නිර්මාණයන් බොහෝ ප්‍රසිද්ධියට පත්වන්නේ හොලිවුඩ් සිනමාව තුළයි. Brenna කුඩා කල සිට වයස අවුරුදු 14ක් පමණ වන තෙක් නිව්යෝර්ක්හි පදිංචිව හිඳ තිබේ. වීදුරු මූර්ති ශිල්පය පිළිබඳව ඇය පාසල් කාලයෙන් පසුව හදාරා ඇත. ඉන්පසු ඇය ඒ ඔස්සේ රැකියාවක් කිරීම සඳහා ඉතාලියේ මුරානෝ නම් නගරයට පැමිණ තිබේ. ඉතාලියේ මෙම වීදුරු නිර්මාණකරණයට විශේෂ ඉඩ ප්‍රස්ථාවක් ඇති රටක් බවයි සඳහන් වන්නේ. ඇය වසර කිහිපයක් ඉතාලියේ සිට වීදුරු මූර්ති නිර්මාණකරණය පිළිබඳව හදාරමින් රැකියාවේ යෙදී තිබේ. ඇය නැවත නිව්යෝර්ක් සඳහා පැමිණෙන්නේ 2013 වසරේදීය.
Brenna මෙම වීදුරු නිර්මාණකරණය පිළිබඳව බොහෝ ලෙස හදාරා ඇති අතර, ඒ පිළිබඳව විශාල අත්දැකීම් ගොන්නක් ඉතාලියේදී ඇයට හිමිවූ බවද පවසා තිබේ. ඇය විසින් ආරම්භ කරනු ලැබූ වීදුරු මූර්ති නිෂ්පාදනාගාරයේ සේවය කරනු ලබන්නේ ඇය පමණි. සිය දැනුම තුළින් විවිධ මූර්ති නිර්මාණයන් සිදුකර ලොව පුරා අලෙවි කිරීම සඳහා ඇයටම වෙන්වූ වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ.
අවදානමක් සහිතව සිදුවන මෙම නිර්මාණ කලාව ඉතාමත් සියුම් ලෙස ඉවසීමෙන් යුතුව සිදුකළ යුතු බවයි ඇය පවසන්නේ. ගිනියම් වූ වීදුරු සමගින් සිදුකරන මෙම ගනුදෙනුව ඉතා අවදානම් බවද ඇය පවසයි. මන්ද සුළු අතපසු වීමක් තුළ විශාල අනතුරක් සිදුවීමට ඇති හැකියාව වැඩි බවයි ඇගේ මතය වන්නේ. කෙසේ වෙතත් Brenna විසින් සිදුකරනු ලබන මෙම වීදුරු නිර්මාණ සහ මූර්ති සඳහා විශාල වටිනාකමක් හිමිවන්නේ එම නිර්මාණයන් සඳහා බොහෝසෙයින් වෙහෙසන බැවිනි. මේ හේතුවෙන් ඇය මෙන්ම ඇයගේ නිර්මාණයන්ද මේ වන විට ලෝකයේ බොහෝදෙනා අගයන බව සඳහන් වේ.