ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්රී දිනය අද (24) දිනට යෙදී තිබේ.
හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි.
ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්ර ගායනය ශිව රාත්රී දිනයේ දී සිදු කරයි.
හින්දු දහම අනුව දෙවියන් අතුරින් ලොව බලවත් ම දෙවියන් තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනයයි.
ලොව බලවත් ම දෙවියා පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්රහ්මයා හා ශිව දෙවියන් අතර ඇති වූ මතගැටුමේදි, ශිව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කිරණයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසී ය.
සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්රහ්මයාටත් දෙකෙළවර සොයා ගැනීමට නොහැකිවූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසය යි.
ඒ අනුව, ලොව බලවත් ම දෙවියා ශිව දෙවියන් බවට හින්දු බැතිමත්හු විශ්වාස කරති.
හින්දු බැතිමතුන් මහා ශිව රාත්රී දිනය ලෙස සමරන්නේ, ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත් කළ නැකත උදාවන දිනය යි.
මේ අනුව හින්දු බැතිමත්හු අද රාත්රියේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්රී දිනය සමරති.