ටක්කෙටම දින වකවානු මතක නැතත් ඒ අසූවේ දශකය ඇරඹීමට ඔන්න මෙන්න ය.ඊයෙ පෙරේදා අපෙන් වියෝවූ චින්තන ජයසේන හා මම උපහාසය හා යාංහෑලි පිරුනු සතිපතා පුවත් සඟරාවක් පලකලේ මල්ටිපැක්ස් ආයතනය වෙනුවෙනි.එහි පිටු දෙකක පලකළ පොකට්කාර්ටූන් වල අදහස හා වැකි මගේය. එක සතියක කාර්ටූන් චිත්රයක වූයේ අනාගතවාදින්ගේ සාකච්ඡාවකදී ඇතිවන කතා බහකි.මා එයට ලියූ වැකිය මෙයයි.
ප්රශ්නය:ක්‍රි.ව.2000 දි සිදුවිය හැකි විශේෂ සිද්ධියක් කියන්න?මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකාට වයස අවුරුදු පණස්තුන ලබනව.
කොහොමත් තමන්ගේ ඇත්ත වයස හංගන එක ගැහැනුන් ගෙ පොදු ලක්ෂණයක්.ඉතින් නිළියො එහෙම කරන එක පුදුමයක් නෙවි.කොහොමත් හැත්තෑව අසූව දශකවල කිසිම නිළියක් තමන්ගෙ ඇත්ත වයස එලිදරවු කරේ නැහැ.කවදත් නිළියන් තමන් තරුණයි කියල පෙන්නන්න වයස අඩුවෙන් කිවුවෙ.දැන් නලුවොත් වයස හංගන්න නොයෙක් උප්පරවැට්ටි දානව.2000 විශේෂයෙන්ම වෙනත් වසරකට වඩා විශේෂ වුනා.දෙවැනි සහශ්රකය ඉවර වෙන නිසා.මාලිනි ගේ වයස ගැන මට ඔයිතරං නිවැරදි මතකයක් තිබුනෙ ඇය මට වඩා පැය විසිහතරක් වැඩිමහල් නිසා.මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා ගේ උපන්දිනය 1947 අප්‍රේල් 30.මගේ උපන්දිනය 1947 මැයි පලමුවැනිදා.විජය මාලිනී තදින්ම පෙම්කල කාලයේ දෙදෙනා පදිංචිව සිටි උද්‍යානය පාරේ(park road colombo 6)තට්ටුනිවසක මිතුරුපිරිවර අප්‍රෙල් 30 රැට පටන් ගන්නා සාදය ඉවර කරන්නෙ මැයි 01 රෑට ය. මගේ උපන්දින වුනත් නැතත් මැයි දිනය කොහොමත් නිවාඩුය.
මම මාලිනී දන්නෙ ඇය ධර්මදාස ජයවීර ගේ “අකල්වැස්ස”රඟපාන කාලයේ සිටය.ඒ දවස්වල වේදිකා නාට්‍යයක හුදකලාව තනියම රංගනය තිබුනේම නැත. කවුරුත් එම අභියෝගයට මුහුන නොදෙන එවැනි යුගයක මාලිනි විනාඩි පහකට නො අඩු කාලයක් වේදිකාවේ තනියම රංගගත වූයේ නාට්‍යයේ ආතතිය මැනවින් නඩත්තු කරමිනි.මාලිනී පුද්ගලිකව මම දැන අඳුනගන්නේ මගේ එවක මිතුරෙක් වූ සුමන ආලෝකබන්ඩාර ගේ “නිදිකුම්බා” නාට්‍යෙනි.සුනන්ද මහේන්ද්‍ර ගේ “සයුරෙන් ආ ලඳ”නාට්‍යයේ ඇය කරුනාරත්න අමරසිංහ සමග විශිෂ්ටතම රංගනයෙන් එම නාට්‍යයට මහත් ආලෝකයක් ලබාදුන් ආකාරය සැබැවින්ම මම දුටුවෙමි.හෙන්ඩ්‍රික් ඉබ්සන් ගේ නාට්‍යයක් සිංහල වේදිකාවේ ජයග්‍රහණය කල එකම අවස්ථාව “සයුරෙන් ආ ලඳ”බව මම සහතික කර කියමි. ඒ මාලිනී ගේ රංගනයෙන් නාට්‍ය ලැබූ ආලෝකයයි.
ඉන් පසු මම ධර්මසේන පතිරාජ ගේ චිත්‍රපටවල විවිධ ඉසවු රකිමින් සිටින යුගයේ මාලිනී හොඳින්ම හඳුනා ගත්තෙමි.”බඹරු ඇවිත්” හා “සොල්දාදු උන්නැහේ” චිත්‍රපට දෙකෙහි ඇය ගේ රංගනය මහා ඉන්ද්රකීලයන් ය.වැල්ලේ ඉපදී එකට කාපුබීපු පෙම්වතා සිරිල් අමතක කර නගරයෙන් ආ ජේත්තුකාර වික්ටර් වැළඳ ගත් හෙලන් හා කොඩිගහ යට ඕනම පේමාතුරයෙක් එක්ක නිදිවදින්නට සූදානම් පේමක්කා-චරිත දෙකම එකම මාලිනී ෆොන්සේකා තුල නිදන්ගත වී තිබින.ජීවිත වන්දනා වේ ඕනෑම චරිතාංගයක් ප්‍රතිනිර්මාණය කිරීමට හා කැමරාව කොයිමුල්ලක තියා රූපගතකරත් ෆොටෝජෙනික් වීමට ඇයට තිබූ ශක්‍යතාවය ලංකාවේ වෙනත් කිසිම නිළියකට නො තිබින.මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ට ලංකාවේ නිලි රැජින ලෙස විරුදාවලිය ලැබුනේ එ නිසාය.බොහෝ රූමත් පෞරුෂය ඇති නැති තරුණයන් මාලිනී පිටුපස පෝලිමේ සිටි අතර ඒ හැම දෙනෙක්ම ඇගෙන් ප්‍රයෝජන ගත්හ.ඇය ද නිර්ලෝභීව ඒ හැමදෙනෙකුටම නො මසුරුව ඉල්ලන හැම දෙයක්ම දුන්නාය.ඇය නිළි රැජින පමනක් නොව හිත හොඳ අම්මන්ඩි ද විය.හිත හොඳ අම්ම්න්ඩි හැමදාම බඩින් යයි කතාවක් තිබේ. එහෙත් ඇය කිසි දිනක දරුවන් වැදුවේ නැත.වරක් අපිට සිටි මහා නාට්‍ය කරුවෙක් වූ ගුණසේන ගලප්පත්ති “සෙනෙහෙලතා”නමින් වේදිකා නාට්‍ය පිටපතක්
ලියාගෙන මාලිනී සමඟ එම පිටපත වේදිකා ගත කිරීමට සිහිණ දැක්කේය.ඒ දිනවල ගලප්පත්ති උන්නැහේ දුටු හැම හීණයකම මාලිනී සිටියාය.මෙය මොනතරම් බලවත් වූවා ද කිවහොත් ඔහු උමතුව පාරක් පාරක් ගානේ ඇවිද ගිය බව දන්නේ ටිකදෙනෙකි.සිංහල සිනමාවට හා මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට වයස හැත්තෑව පිරී හැත්තෑ එකට ලබයි.
මාලිනී,එන්න,මල් පිපීලාදැයි බලන්න...............
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.