lan englan tam

විශේෂාංග

චන්ද්‍ර මණ්ඩළේ සැතපුණු පුංචි සාවියේ...

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ස්වකීය කල්පනා ලෝකය නමැති පොතෙහි කිසියම් අත්දැකීමක් සාහිත්‍ය නිර්මාණයක් බවට ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒ සඳහා උපයුක්ත ලේඛන ශෛලිය සහ භාෂා භාවිතය සම්බන්ධයෙන් නිර්මාණකරුවා විසින් මනා සැලකිල්ලක් දැක්විය යුතු බව අවධාරණය කරයි. වෙසෙසින්ම අත්දැකීම නම් වූ අමුද්‍රව්‍යයය භාවිතා කොට සිදු කරනු ලබන නිර්මාණයක නිශ්චිත හැඩය තීරණය කරනු ලබන්නේ ඒ සඳහා ව්‍යවහාර කරනු ලබන භාෂාව සහ ලේඛන ශෛලිය බව ඔහු සඳහන් කරයි. 

නිර්මාණකරණයට උපයුක්ත භාෂාවෙහි භාවිතාව සම්බන්ධයෙන් ඔහු දරන මතය වූයේ ග්‍රාමවාසී වදන් නිර්මාණ සඳහා අනුචිත බවයි. ගැමි වදනරුතින් නිර්මාණයහි රස සුන්වන බව තරයේ ඇදහූ ඔහු ස්වකීය නාට්‍යාදී නිර්මාණ සඳහාද භාවිතා කළේ සංස්කෘත භාෂා නැඹුරුතාවකින් යුක්ත වූ අතිශය විදග්ධ භාෂා ශෛලියකි. 

භාෂාව ගැන උක්ත අදහස පළ කරන අතරම ඔහු වැඩිදුර අදහස් දක්වන්නේ ලේඛන ශෛලිය හෙවත් අත්දැකීම නිර්මාණයක් බවට ප්‍රතිනිර්මාණය කරන ආකාරය සම්බන්ධවයි. එහිදී කිසියම් සිදුවීමක් සිදුවූ බව නොව එය සිදුවූ සැටි කවියා හෝ සාහිත්‍යෙව්දියා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ අන්‍ය ආකාරයකටය.

කෙසේ වුවත් නිර්මාණයකදී වඩාත් වැදගත් වන්නේ භාෂාවේ විදග්ධබාවයට වඩා නිර්මාණකරුවා විසින් ස්වකීය අත්දැකීම නිර්මාණයක් තුළ පිහිටුවීමේදී පළ කරන ජීවන දෘෂ්ටියයි. වෙසෙසින්ම සාමාන්‍ය මිනිසකුගේ ජීවන දෘෂ්ටිය සහ කවියකුගේ ජීවන දෘෂ්ටිය අතර පැහැදිලි වෙනසක් තිබේ. සාමාන්‍ය මිනිසකු එදිනෙදා අත්දකින සිදුවීමක් උකහා ගන්නේ ඕපා දූපයක් ලෙස හෝ ප්‍රවෘත්තියක් වශයෙනි ප්‍රාදේශිය පුවත්පත් කරුවාගේ කාර්යය සාමාන්‍ය ගැමියාගේ කාර්යයෙන් මදක් වෙනස් වන්නේ ගැමියා අනන්‍යතාව නැතිව පළ කරන මතය පුවත්පත් කරුවා අනන්‍යතාවක් ඇතිව පළ කිරීමයි. නමුත් මේ දෙදෙනාගේම ප්‍රකාශන ස්වරූප දෙක තුළම ඇත්තේ කාලීන වැදගත් කමක් පඹනක් වන අතර ඉතා ඉක්මණින් එය මතකයෙන් ඉවත් වේ. නමුත් ජීවිතය තුළ තමා විසින් අත්දුටු සිදුවීමක් කවියකු හෝ නිර්මාණකරුවකු විසින් භාවිතා කරන්නේ අන්‍ය ආකාරයකටය.

ගාල්ලේ කොටුවෙහි ලේන්බාන් වීදයෙහි පිහිටි ස්වකීය නිවසෙහි වෙසෙන කාලයෙහි රත්න ශ්‍රී විජේසිංහ නම් වූ නිර්මාණ වේදීයාට සිය දියණිය රහසේ සරණ බැදුණු බැවින් ශෝකයට පත් පියෙකු මුණ ගැසේ. ඔහු සිටින්නේ එම නිවසට යාබද වඩු මඩුවෙහි පුරුද්දට කතා කරන මිතුරකු වූ වඩුමඩුවේ පියා ගෙන් එම ප්‍රවෘත්තිය දැනගත්තද ඔහු ඉන් උකහා ගන්නේ පියාගේ ශෝකය නමැති භාවය පමණකි. ඉන් නසු නිහඩවම ස්වකීය සිය නිවසට යන ඔහු අතින් පද පේළි කිහිපයක් නිරායාසයෙන් ලියවෙයි. 

චන්ද්‍ර මණ්ඩළේ සැතපුන පුංචි සාවියේ
නුඹ මන්ද කියාපං නොකියා හැංගිලා ගියේ
පාන නිව්ව සේ පාලුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ

වඩුමඩුවේ සගයාගේ ප්‍රවෘත්තියට ඔහු තමාද දියනියන් සිටින පියකු ලෙස විදින සංවේදනා අන්තර්ගත කරයි. තම දියණියට වටිනාකමක් දෙන්නට ඕනෑම පියකු කැමතිය. ලයින් කාමරය තුළ දැල්වූ එකම පහන ලෙස සිය දියණියව හැදින්වීමෙන් ප්‍රතිරූප දේස වාසෝච නොවූ අනුචිත පරිසර පසුතලක වුව ස්වකීය දියණිය තමාහැර යනතුරුම නිවසෙහි පහන වූ බව පවසයි. ඒ ඇයට වටිනාකමක් අගනාකමක් තවමත් තම හදවතෙහි ඇති බව හගවන්නටය. ඔහු කිසිවිටක ඇයට අවමන් නොකරයි. එමෙන්ම ඔහු ගොඩනගන පරිකල්පනීය ලෝකය අතිශය සෞන්දර්යාත්මකය. එමෙන්ම සඳමඬළ යන මව වෙනුවෙන් වෙන් වූ සාහිත්‍යමය පර්යාය පදය ඔහු පියා වෙත විතැන් කරයි.

එමෙන්ම නොගැලපෙන තරුණයකු හා ඇගේ පෙම්වත්වීම ඔහු නොදුටු කරුණක් නොවේ. නමුත් මේ පියා කිසි දිනක තම දියණිය මෙන්ම අනෙකාවද සැක නොකරයි.ඔහු කෙරේ ඇත්තේ තම දරුවා කෙරෙහි පමණක් ලඝුවූ දාරක ප්‍රේමයක් නොවේ. එය විශ්වීයය.මේ ගීතය හුදු ප්‍රවෘත්තියක් හෝ විලාපයක් නොවන්නේද එම ඉදිරිපත් කිරීමේ අපූර්වත්වය නිසාමය. 

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ ‘
හීනෙනුත් දැනුණ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තවමත් ගේ ළගයි දුවේ.. 

ස්වකීය දියනියගේ සිත ගත් තරුණයා සුදු යකඩ මාල බැඳගත් රෝසමල් වනයක් අතරමංවූවෙකි. ඉන් මැවෙන චිත්ත රූපය සිය දියණියක පාවා දීමට කිසිදු පියෙකු හෝ මවක පතන ආකාරයෙහි සම්ප්‍රදායක් නොගනී. ලයිම්කාමර පසුබිමක හැදුණු වැඩුණු දියනියට බෝසත්වරුන් කිසිදා නොගැසෙන බව වටහා ගන්නට තරම් පියාගේ විඥානය පොහොසත්වේ.නමුත් මේ තාත්තා සිය දියණිය රවටා සෙයිලමට රැගෙන යන්නට පැමිණි තරුණයා පෙනෙන්නේ නොසංඩාලයකු ලෙස ඛාණ්ඩ නොකරයි. තම දියණිය රවටන්නට මාන බලන සුදු යකඩ ගෙල පැළදි එම තරුණයාව පවා මාල ගිරවකු ලෙස දකින මේ තාත්තා එම තරුණයාගේ වහසි බස මාලගිරා ගීයක් ලෙස අරුත් ගන්වයි. එමෙන්ම කනටම ඇසෙන දේ දෑසට දකින දේ ඉක්මවා ස්වකීය දරුවා ගැන ඔහු තුළ තිබූ අහිංසක විශ්වාසයේ විශාලත්වයද ඉන් නිරූපණය වී ඇත.දියණිය අයිති ස්වභාදහමටය. මේ වෙන්වීම එහි නියතියයි. ඔහු තුළ ඇත්තේ පරිදේව දුක්ඛයක් නොවේ. ශෝක භාවයකි. ඉන් කවියා ගෙනෙන දෘෂ්ටිය හුදු සානුකම්පිතභාවය ඉක්මවයි. 

ලාබ රත්තරං දිලිසෙන පාලු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මේ පියා දුක්වන්නේ සිය දියණිය තමා හැරගිය නිසා නොවේ. මාල ගිරා ගී කනටම ඇසෙද්දීත් සිය දියණිය කිසිසේත්ම සැක පහළ නොකොට නිවසෙහි පහන සේ අවසන් මොහොත දක්වාම සැළකූ ඔහු තමාට නොකියාම ඇය ගිය ගමන ගැන දුක්වෙයි. අනෙක් අතට ඔහුගේ දුක තීව්‍ර වන්නේ තම දියණියට පෙර පියාඹා ගිය කිරිල්ලියන්ට වූ අභාග්‍යයන් පිළිබඳ දුක්ඛිත ව්‍යුත්පත්තී ස්මරණය වන නිසාය. සැබැවින්ම ඔහු දුක්වන්නේ හැරයාම පිළිබඳ නියතිය නියතව නොදන්නා නූගත් ගැමියකු පරිදි නොවේ. ඔහුට ඇති සැබෑ දුක දියණිය මග නොදැන දුර ගමනක් ගියාද යනුවෙන් නිරන්තරව සිත පෙළන විඩාවයි. මේ ගීතයෙන් නිරූපණය වන පියා කවියාට සැබැවින් මුණ ගැසෙන , පරිදේව දුක්ඛයෙන් පීඩිතවූ ගැමි වඩුවා ඉක්මවා යයි. 

මෙම ගීතයෙහි භාවිත භාෂාව සාමාන්‍ය ලේඛන වහර සහ ගැමි වහර මුත් ගීතය භාෂා පෙළහර ඉක්මවා ශ්‍රේෂ්ටත්වයට පත් වන්නේ අහිමි වීම පිළිබඳ උපේක්ෂාව සහ විශ්වය කෙරෙහි සම මෙතින් යුක්ත පියකු ගේ භූමිකාවක් තුළින් රචකයා විසින් ගේය පද රචනය තුළින් හරහා මතුකරනු ලබන ගැඹුරු ජීවන දෘෂ්ටිය නිසාවෙනි. 

-උපේක්ෂා නුවන්ශ්‍රීනි -

 

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News