ඇය නමින් නිලූෂා ෆර්නැන්ඩෝ. දශක දෙකකට ආසන්න කාලයක් මෙරට විලාසිතා නිරූපණ ක්ෂේත්රයට සිය දායකත්වය සැපයු ජේෂ්ඨ නිරූපණ ශිල්පිනියක වන ඇය, මිරර් ආට් සමඟ කතා බහකට එක් වුණා.
විලාසිතා නිරුපණයට කැමැත්තක් ඇතිවුණේ කොහොමද?
මං පොඩි කාලේ ඉඳන්ම ෆැෂන් වලට හරි කැමතියි. ඒ කාලේ ඉඳන් මගේ හීනය වුණේ නිරුපිකාවක් වෙන්න. මගේ තාත්තා ගුවන් හමුදාවේ සේවය කළේ. ඒ පවුල් පසුබිමත් එක්ක මටයි මගේ අක්කලා දෙන්නටයි නීති රීති ගොඩක් යටතේ තමයි හැම දේම කරන්න සිද්ධ වුණේ. නමුත් මම හිතාගත්තා මම මගේ ඉලක්කයට කොහොම හරි යනවා කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරලා අත්දැකීම් ලබාගෙන ආපු ගමනක් තමයි මේ.
ක්ෂේත්රයේ මුල්කාලින අත්දැකීම ගැන කියමු?
ක්ෂේත්රයට පැමිණි මුල් කාලේදීම පිළිගත් නිරුපිකාවක් වීමේ වුවමනා මට තිබුණා. ඒවගේම හොඳ choreographer කෙනෙක් යටතේ වැඩ කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ අනුව 2000 වර්ෂයේදී වගේ මට අවස්ථාවක් හිමි වෙනවා ලෝ චින් වොන් කියන choreographer යටතේ වැඩ කරන්න. ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු කළ පාඨමාලාවකට සම්බන්ධ වීමටත් මට අවස්ථාව හිමි වුණා. ඉතාම සුළු පිරිසකට තමයි ඒ අවස්ථාව හිමිවුණේ. ඔහු choreograph කළ විලාසිතා දැක්මවල් සඳහා ඉන්පසු මට එකතු වෙන්න ඉඩකඩ ලැබුණා.
ඊට පස්සේ මම ජෙරල්ඩින් බණ්ඩාරනායක සමඟ වැඩ කරන්න පටන් ගත්තා. ඇය යටතේ වැඩ කරන විට විලාසිතා ක්ෂේත්රයට අදාළ වන සුළු කාරණයක් ගැන පවා ඉගෙන ගැනීමට අවස්ථාව හිමිවුණා. ඊට අමතරව බොහොමයක් වටිනා අත්දැකීම් ඇය යටතේ සිටින විටදී ලබා ගත්තා.
වඩාත් කැමති නිරුපන අංශය මොකක්ද?
නිරුපන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තමන් කැමති අංශය තෝරාගැනීමේ අයිතිය තිබෙනවා. මම වඩාත් ආස කළේ රෑම්ප් එකට. මම මේ රැකියාව ආරම්භ කලෙත් දැනට සිදු කරගෙන යන්නෙත් රෑම්ප් මොඩ්ල් කෙනෙක් විදියට. ඒ නිසා දිගටම මම එහි රැඳී සිටියා. මම මංගල විලාසිතා නිරුපනය සඳහා එකතු වුණේ නැහැ.
ඒ වගේම වසර 18 ක් වැනි කාලයක් මෙරට විලාසිතා ක්ෂේත්රය තුල රැඳී සිටීමට හැකි වීම සම්බන්ධයෙන් මම ඇත්තෙන්ම ආඩම්බර වෙනවා.
ජේෂ්ඨ නිරූපණ ශිල්පිනියක් වශයෙන් ක්ෂේත්රයේ වර්තමානය ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?
මිට අවුරුදු ගාණකට කලින් මේ ක්ෂේත්රයට එන්න ඉතාමත් අපහසුයි. අද වගේ අන්තර්ජාල, තාක්ෂණික පහසුකම් ඒ දවස් වල තිබුනේ නැහැ. ඒ නිසාම අපි බොහොම මහන්සියෙන්, අත්දැකීම් ගොඩකට මුහුණ දීලා ඒවායින් පන්නරය අරගෙන තමයි අද මේ ඉන්න තැන හදාගෙන තියෙන්නේ. නමුත් අද ඊට හාත්පසින්ම වෙනස්. පොඩි ෆොටෝෂූට් එකක් කරලා ෆේස්බුක් දැම්ම ගමන් නිරුපනයට අවස්ථා ලැබිලා එතනින් ඉදිරියටම යන්න තව තවත් අවස්ථා හිමිවෙනවා. එහෙම ගිහින් හොඳ නිරුපන ශිල්පිනියන් වශයෙන් වැඩ කරගෙන යන අයත් ඉන්නවා.
ඒත් සමහරු දන්නේ නැහැ මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න. මිනිස්සු සමඟ ගනුදෙනු කරන විදිය, කතාබහ කරන විදිය දන්නේ නැහැ. ප්‍රවීණ ශිල්පින් ශිල්පිනියන්ට ගරු කරන්න දන්නේ නැහැ. අපිට වඩා ප්‍රවීන ශිල්පිනියන්ට අපි ගරු කරනකොට නවකයින් එසේ නොකරන කොට ඇත්තටම ලොකු කලකිරීමක් ඇතිවෙනවා. එහෙම අයට ඉදිරි පැවැත්මක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.
https://mirrorarts.lk/ar/life/fashion/2760-nilusha-fernando#sigProId2a1f8aaa37
සාකච්ඡාව: අවාරා
ඡායාරූප: සුජිත් තුෂාර