ප්‍රසන්න විතානගේ මෙරට වර්තමාන සිනමාවේ සිටින විශිෂ්ට කලාකරුවෙකු වගේම, විදේශීය රටවල විවිධ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් සමඟින් සබඳතා තිබෙන ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද ගාඩි (2019), තුන්දෙනෙක් (2018), ඔබ නැතුව ඔබ එක්ක (2012) වැනි සිනමාපටවලටත් විදෙස් ශිල්පීන්; විශේෂයෙන්ම මලයාලම් සිනමා ක්ෂේත්රයට සම්බන්ධ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වුනා.
1991දී ‘සිසිල ගිනි ගනී’ හරහා සිනමාවට පිවිසි ප්‍රසන්න විතානගේ මේ වනවිට වෘතාන්ත චිත්‍රපට 10ක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා. විදෙස් ශිල්පීන් සම්බන්ධ වූ නමුත්, ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කළ එම සියලුම නිර්මාණ සිංහල බසින් තිරගත වුනු ලාංකීය චිත්‍රපටයි.
නමුත් ලාංකීය සිනමාවට එහා අඩියක් තබමින්, ඉන්දියානු මලයාලම් බසින් තිරගත වන ඔහුගේ පළමු විදෙස් සිනමාපටය නුදුරු දිනකදීම තිරගත කිරීමට සියලු කටයුතු සූදානමින් තිබෙනවා. එලෙස ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පළමු විදෙස් සිනමාපටය නම් කොට තිබෙන්නේ “Paradise” (පාරාදීසය) යනුවෙනුයි.
මෙම වසර මුල භාගයේදී මාතලේ – රිවස්ටන් ප්‍රදේශ ආශ්‍රිතව චිත්‍රපටයේ රූපගත කිරීම් සිදුවූ අතර ජනප්‍රිය දකුණු ඉන්දියානු සහ ලාංකීය නලු නිළියන් රැසක්ම මෙහි රංගන දායකත්වය ලබා දෙනවා.
Paradise චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලෝ පුරා මලයාලම් සිනමා රසිකයින් අතරෙ හි අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින දර්ශනා රාජේන්ද්‍රන් (Darshana Rajendran) සහ රෝශන් මැතිව් (Roshan Mathew) දෙදෙනායි.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් විසින් පසුගියදා මාධ්‍යයට නිකුත් කළ මෙහි පළමු පූර්ව ප්රචාරක පෝස්ටරයයි.
Jaya Jaya Jaya Jaya Hey, C U Soon, Koode වැනි මලයාලම් සිනමාපට තුළින් ජනප්‍රියත්වයට පත් වුනු දර්ශනා රාජේන්ද්‍රන් රසිකයින්ගේ හදවතට වැඩියෙන්ම සමීප වූයේ 2022 වසරේ තිරගත වූ Hridayam චිත්‍රපටයත් සමඟයි.
රෝශන් මැතිව් Anandam, Thottappan, Kappela, Moothon ආදී මලයාලම් චිත්‍රපට රැසකට රංගනයෙන් සම්බන්ධ වූ අතර ඉන්පසුව චියාන් වික්‍රම්ගේ Cobra දමිළ චිත්‍රපටයටත්, ආලියා භාත්ගේ Darlings හින්දි චිත්‍රපටයටත් සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව ලැබුනා.
ප්‍රධාන චරිත රඟන දර්ශනා සහ රෝශන්ට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සුමිත් ඉලංගෝ, සංජීව දිසානායක, මොහොමඩ් සම්සුදීන්, රොහාන් රණතුංග, සමන්ත මංජුල වැනි ලාංකීය ශිල්පීන් බොහෝමයකුත් මෙහි චරිත රැසක් නිරූපණය කරනවා. මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන මහේන්ද්‍ර පෙරේරාගේ භූමිකාව ඉන් සුවිශේෂී වන අතර ඔහු රඟපාන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයයි. ශ්‍යාම් ප්‍රනාන්දු විසින් සංචාරක මඟ පෙන්වන්නෙකුගේ චරිතයක් රඟපානවා.
පැවසෙන පරිදි, Paradise සිනමාපටයෙ හි කතා තේමාව ගෙතෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිනෙන කේරළ ප්‍රාන්තයේ තරුණයෙකු සහ තරුණියක වටායි. ශ්‍රී ලංකාව පුරා අතිශය උග්‍රව පැතිරී යන ආර්ථික අර්බුදකාරී තත්වයකදී මෙරට සංචාරයට පැමිණෙන මෙම කේරළ ජාතිකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ ආදර සබඳතාවයට ලංකාවේදී මුහුණ දෙන්නට සිදු වන අර්බුදකාරී සිද්ධි දාමයයි, Paradise චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ…
Paradise හි කැමරාකරණය සිදුකළ රාජිව් රවී (Raajev Ravi), ප්‍රසිද්ධ මලයාලම් චිත්‍රපට රාශියකම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Kammatti Paadam, Annayum Rasoolum, Thuramukham ආදී චිත්‍රපට ලාංකීය ප්‍රේක්ෂකයින් අතරේ ද එක ලෙසම ජනප්‍රියයි.
The Ghazi Attack, Pizza, Yatra වැනි ඉන්දියානු චිත්‍රපට රැසක සංගීත අධ්යක්ෂණයට සම්බන්ධ වූ ක්රිෂ්ණ කුමාර් හෙවත් K, Paradise සිනමාපටයේ සංගීත නිර්මාණකරණය සඳහාත් එක්ව තිබෙනවා. රාජිව් රවී සහ ක්රිෂ්ණ කුමාර් දෙදෙනාම මීට පෙර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට සම්බන්ධ වූ ඉන්දියානු ජාතික ශිල්පීන්.
Paradise චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කරන්නේ ඉන්දියානු ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ ශිල්පියෙකු වන A. Sreekar Prasad විසිනුයි. වර්තමාන ඉන්දියාවේ සිටින ප්‍රමුඛතම පෙලේ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු වන ඔහු Ponniyin Selvan, RRR, Saaho, Kaala, Sarkar වැනි අතිශය දැවැන්ත නිර්මාණ ගණනාවක පසුපස සිටිනවා.
චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ ප්‍රසන්න විතානගේ සහ අනුෂ්කා සේනානායක එකතුවෙනි. කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුත්තයි. වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායකගෙනි. දමින්ද මඩවල චිත්‍රපටයේ සහාය අධක්ෂකවරයායි. චිත්‍රපටයේ පළමු Promo වීඩියෝපටයත් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹීමට හැකියි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ද ඉන්දියාවේ,කේරළ ප්‍රාන්තයේ පිහිටා තිබෙන Newton Cinema විසිනුයි. අග්‍රගණ්‍ය ඉන්දියානු සිනමාවේදියෙකු වන මනි රත්නම්ගේ Madras Talkies චිත්‍රපට ආයතනයත් මෙහි නිෂ්පාදනයට සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්!
කේරළයේ මලයාලම් බසින් පමණක් නොවෙයි; දමිළ – ඉංග්‍රීසි සහ සිංහල බාසාවලිනුත් මෙය ලෝ පුරා තිරගත කරන්නට සියලු කටයුතු සූදානම්. එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ලෝ ප්‍රකට Busan Film Festival හිදී නිර්මාණය පළමුවරට තිරගත කරන අතර බොහෝ දුරට මෙවසර අවසාන භාගයේදී “Paradise” හි සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹෙනු ඇති..!
Cinema.lk