මේ තිබෙන්නේ මියන්මාරයේ බගන් නුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන කැබිනට්ටුවක්. මෙහි තිබෙන්නෙ එකල බගන් රාජධානි කාලයේ , බගන් රජ මැදුරේ ඇතුලත භාවිතා වුනු කොන්ඩ මෝස්තර එකතුවක්. මේවා පිටපත් කරගෙන තිබෙන්නෙ මේ පළාතේ තිබෙන සිය ගණනක් වන වෙහෙර විහාර වල ඉපැරණි බිතු සිතුවම් වලින්.
බගන් රජ මදුර ඇතුලත සේවය කරපු නැත්නම් එම වකවානුවෙ එම රාජ්‍යයේ හිටපු විවිධ වෘතීන්ට සහ නිලතල දරන්නන්ට නියමිත කොන්ඩ මෝස්තර තිබිලා තියෙනවා. උදාහරණෙකට ගත්තොත් මුර සෙබළුන්ට එකක්. කෑම පිසින්නන්ට තව එකක්. සංගීත ශිල්පීන්ට තවත් එකක්.. මේ විදිහට.
මෙතන එහෙම හඳුන ගත්ත කොන්ඩ මෝස්තර හැට ගණනක අනුරූ තිබෙනවා. ගැහැණු සහ පිරිමි දෙකොට්ඨාසයේම මෝස්තර.
දැන් උදාහරණයකට හිතන්න සංගීත ශිල්පීන්ට නියමිත කොන්ඩ මෝස්තරයේ ගැට කිහිපයකින් යුක්ත කැරැල්ලක් වගේ එකක් තිබුන කියල. ඒ සංගීත ශිල්පීන්ගේ ජ්‍යෙෂ්ඨ භාවය අනුව තිබෙන ගැට ගණන තීන්දු කරන්න පුළුවන්. එතකොට යම් කෙනෙකු සේවයේ පහතට හෙලීමක් උනොත් කරන්නේ ගැටයක් අඩු කරන එක. උසස් වීමකදී මේකෙ අනිත් පැත්ත.
ඔය විදිහට කොන්ඩේ දැකපු ගමන් කෙනෙකුගෙ වෘත්තිය මොකක්ද සහ මට්ටම මොකක්ද කියල එක පාරටම අඳුන ගන්න පුළුවන්. මේ කොන්ඩ මෝස්තර වැඩේ සංකීර්ණ වගේම බොහොම විස්තීර්ණ වැඩක් නිසා එයට කැපවුණු වෙනම කුලයක්, නැත්නම් වෘත්තීය ශ්‍රේණියක් හිටියා වෙන්නත් පුළුවන්.
පුරාණ කාලයේ පෙරදිග කලාපයේ, කොණ්ඩයට බොහොම වැදගත් තැනක් හිමි වෙලා තියෙනව. විජය කුමාරය ඇතුළු පිරිවර එරටින් පිටමං කරා කියන්නෙත් හිස මුඩු කරල. ඒ කියන්නෙ අන්තිමටම පිරිහෙලනකොට කරල තියෙන්නෙ හිස සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් මුඩු කරන එක. ඊට ප්රතිපක්ෂව සමාජයේ විශේෂ සැලකිල්ලක් සහ සංඛේත බලයක් තිබුණු රාජකීය ශ්‍රේණි වල හිටපු උදවිය විවිධ කොන්ඩ මෝස්තර වලින් සැරසෙන්න ඇති.
මියන්මාරයේ බගන් නුවර විශේෂත්වය තමයි වසර දහසකට ආසන්න කාලයක් පැරණි වෙහෙර විහාර බිතු සිතුවම් , ස්ථාන ගණනාවකම ඉතාම අනර්ඝ මට්ටමින් සුරැකිලා තියෙන එක. ඒ සිතුවම් බොහෝමයක තිබෙන්නෙ , බුද්ධ චරිතයේ කතා විස්තර, ජාතක කතා විස්තර, ලංකාවේ මහාවංශයේ කතන්දර සහ එරට රජ වරුන්ගේ කතන්දර. මේ බොහෝ චිත්‍ර වල විවිධ වෘත්තීන් වල නියැලුණු මිනිසුන්ගෙ රූප හඳුන ගන්න පුළුවන්. ඒවා ආශ්රයෙන් තමයි මේ අනුරූ හදල තියෙන්නෙ.
හැම දෙයක්ම ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් කෙලවර වෙන්න ඕන කියල නීතියක් නැහැ. හැබැයි එහෙම උනොත් වැඩේ වාසියි. අපි මේ සියලු දේ වලින් අවසානයේ එබී බලන්නෙ දැනුම පිලිබඳ කාරණයකට. අපේ මේ උත්සාහය ඥාන විභාගය (Epistemology) සම්බන්ධ දෙයක්. මෙතැනදී අපිට පොදුවේ පෙරදිග සහ අපරදිග කියන කලාප වල ඥානය ගොඩ නැංවුණු හැටි කැපී පෙනෙන වෙනස් කම් සහිතව හඳුන ගන්න පුළුවන් (සමාන කමුත් තියෙනවා). පෙරදිග සහ බටහිර, දේවල් දැකපු හැටි, නාමකරණය කරපු හැටි, බෙදා වෙන් කරපු හැටි සහ ඒ බෙදීම් සමග ගනුදෙනු කරපු හැටි වෙනස්. මිෂෙල් ෆුකෝ (michel foucault: එයා කියල තමයි මතක ) තමන්ගේ රචනයක ලියල තිබුන වගේ මතකයි අතීත චීනයේ සතුන් වර්ගීකරණය කරපු හැටියක්. මට හරියටම මතක නැහැ , ඒකෙ හැටියට සත්තු වර්ග කරල තියෙන්නෙ එහෙ අධිරාජ්‍යයාට ඒ ඒ සතුන් දක්වපු ප්‍රතිචාර අනුව. ඒ අනුව අධිරාජ්‍යය දැකපු ගමන් කෑ ගහපු සත්තු එක කුලයක. අහකට පැනපු ගෙම්බෝ කටුස්සෝ වගේ අය තව කුලයක. පහර දෙන්න ආපු කොටි වලස්සු වගේ අය තව කුලයක. මේ විදිහට. මේ වර්ගීකරණය දකින අද කාලෙ සත්ත්ව විද්‍යාඥයකුට හිනා යන්න ඉඩ තියෙනව. මෙන්න මේ හිනාව නවත්ව ගන්න එක තමයි ප්‍රඥාව.
මම මේ අන්තිම ඡේදේ කියපු දේවල් බගන් කෞතුකාගාරයේ තිබෙන කොන්ඩ මෝස්තර වලට ඍජුව සම්බන්ධ කරන්න තේරෙන්නෙ නැහැ. නමුත් මට ඒක ලියන්න හිතුනා. මට මේ කොන්ඩ මෝස්තර ඇතුලෙ දැනෙනව මාර පෙරදිග ගතියක්.
සටහන සහ ඡායා: දිනෙත් මල්ලිකාරච්චි
https://mirrorarts.lk/ar/life/notes/5100-bhs-190416#sigProIdd71f2c47be