නිමේෂ - මග නොහැරිය යුතු ප්‍රදර්ශනයක්...
මංගලනාත් උඩුකලගේ ඡායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 22 - 25 වන දින දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් හී හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ.
අද සවස මා එහි ගියේ දැඩි අකුණු සහිත අනෝරා වැස්සේය.
මංගලනාත්ගේ ඡායාරූප කියවා ගැනීමට කෘතිය විසින්ම ඉල්ලා සිටින විෂය සාක්ෂරතාව, සකල කලාවන් සාහිත්‍යයමය පසුබිමක තබා කියවීමට හුරුවී සිටින මා වැන්නෙකු ඉදිරියේ තබන අභියෝගය ජය ගැනීමට අපහසු එකකි.
එසේ වුව මම උත්සාහය අත් නොහරිමි.
යුරෝපයේ නගර කිහිපයකදී ගත් ඡායාරූප එකතුවකින් යුතු මෙම ප්‍රදර්ශනය 'නිමේෂ' ලෙස නම්කර ඇති අතර People at rest ද එහි අතුරු නාමකරණයකි.
මේ සමස්ත ප්‍රදර්ශනයේ ඇති ඡායාරූප 38 තුළම පැණෙන තනි ප්රකාශනයක් වන්නේ ප්‍රාග්ධන අතිරික්තය විසින් ඇතිකරන අතිරේක කාලය සමාජයක් අර්ථ ගන්වා ගන්නා විධිය අනුව තනි පුද්ගල ජීවිත වෙත හිමිවන පැවැත්මේ සැහැල්ලුව (Lightness of being) ශරීර භාෂාව තුළ ප්‍රකාශ වන ආකාරයයි.
මංගලනාත්ගේ ඡායාරූප අතිමහත් ප්‍රමාණය නිමේෂයකදී ගත් ඒවාය. ඒවායේ පාත්‍ර වර්ගයා දෙනලද හැඩයක් නිමවනවා වෙනුවට ශිල්පියා විසින් ඒ අහඹු මොහොතේ ඒවා තුළින්ම ගොඩ නගාගන්නා හැඩයන් තම කැමරාවට හසුකර ගනී. මේ සියලු ඡායාරූපවල චමත්කාරය ඇත්තේ ඒ නිමේෂ සුවිශේෂතාව තුළය.
කෘතිය තුළ රූප හා වර්ණ සංරචනයේ වන සුවිශේෂ රටාව විසින් එක්කරන ඇතැම් ජ්‍යාමිතික හැඩතලයන් මංගලනාත් හසුකර ගන්නා අයුරු විශ්මිතය. ඔහුගේ ශිල්පීය නිපුණ බව ද, දෘෂ්ටිමය පෘතුල බව ද ඒතුළ අපට මොනවට විදහා දක්වයි.
රෝමයේ පැරණි නගරය හා නව නගරය වෙන්වන සීමාවේදී වැඩිහිටියෙකු හා කුඩා දරුවෙකුව නිරූපිත ඡායාරූපය මේ ප්‍රදර්ශනයේ මගේ වඩාත්ම සිත්ගත් එක ය. රෝමයේ පැරණි නගරය පුරා ඉබාගාතේ ඇවිදගිය මතකයන් හිමි මට එය තදින්ම දැනුණි.
මෙය මග නොහැරිය යුතු ඡායාරූප ප්‍රදර්ශනයකි.
පැවැත්මේ සැහැල්ලුව වෙනුවට වෛරයේ බරම ඉල්ලා සිටින සමාජ මොහොතකදී මංගලනාත්ගේ ඡායාරුප අපට යෝජනා කරන ජීවිතය වෙත අප යා යුතු දුර අපි අපිම සෑම නිමේෂයකදීම දුරස් කර ගනිමින් සිටිනවා නොවේ ද යන කාංසා සහගත හැඟීම නිරතුරුවම දැනේ.
මංගලනාත්ගේ www.udukala.com වෙබ් අඩවියෙන් උපුටාගෙන මා මේ සමග අමුණන ඡායාරූප මේ ප්‍රදර්ශනයේ මගේ වඩාත් සිත්ගත් කෘතීන්ය.
ජනක ඉනිමංකඩ
https://mirrorarts.lk/ar/life/notes/6055-nimesha-191124#sigProIdf5ee94eb7e