lan englan tam

දූස්රා - වැඩේ මරු; සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මම ‘දූස්රා’ චිත්‍රපටය බැලුවේ දැන් සතියකට විතර කලින්. චිත්‍රපටය අවසන් වුනාට පස්සේ මට හිතුනා චන්න අයියට (චිත්‍රපටයේ අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය මහතාට) කෝල් එකක් ගන්න. ලංකාවේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කෝල් එකක් ගත්ත ගමන් ඒකට ‘හලෝ’ කියන්න තරම් නිදහසේ ඉන්නවා වෙන්න බැහැ කියලත් මට නිකමට වගේ හිතුනා. ඒ හිතුවා වගේම චන්න අයියා ආන්සර් කලේ නැහැ. හැබැයි පැය කීපයකට පස්සේ මට ආපහු කතා කලා.

“චන්න අයියේ මම දූස්රා බැලුවා... වැඩේ මරු...” මම කතාව පටන් ගත්තේ එහෙම. ඉතිං මම හිතුවා මම “දූස්රා” ගැන චන්න අයියට කියපු දේවල ලියන්න ඕනේ කියලා.
මම කිව්වා වගේ “දූස්රා” මරු වැඩක්. උසස් ගණයේ සිනමා කෘතියක තියෙන්න ඕනේ කියලා ‘මම’ හිතන දේවල් ඒ චිත්‍රපටය ඇතුලේ තියෙනවා. ඉස්සල්ලම කියන්න ඕනේ තිලක්ෂිනීගේ රංගනය. චිත්‍රපටක් ෂූට් කරන්නේ, දර්ශන අංක 1 සිට දර්ශන අංක අනුපිලිවෙලට නෙමෙයි. ඒ නිසා රංගන ශිල්පියෙක්ට, ශිල්පිනියකට පැවරෙන ලොකුම අභියෝගය වෙන්නේ තමන් ඒ මොහොතේ රඟපාන සීන් එකේ දි චරිතය තියෙන්නේ කොතනද කියලා තේරුම්ගන්න එක. මේ චිත්‍රපටයේ තිලක්ෂිනී රඟපාන්නේ දර්ශන අංක 1 ඉදන් අනුපිලිවෙලට ෂූට් කරලා වගේ හරියටම තමුන්ගේ කැරැක්ටර් ආර්ක් එක ඇතුලේ. ඒක පොඩ්ඩක්වත් එහා මෙහා වෙන්නේ නැහැ. ‘මයි රෙඩ් කොම්රේඩ්’ බැලුවට පස්සේ මේ අවුරුද්දේ ‘හොඳම නිළිය’ තරින්දි කියලා හිතුන මට, ‘දූස්රා’ එකේ තිලක්ෂිනීගේ චරිතේ බැලුවට පස්සේ හිතුනා ‘ඒක එහෙමම ද?’ කියලා.
සජිත කොහොමත් දක්ෂ නලුවෙක්. ඒ නිසා මේ චිත්‍රපටියේ විතරක් සජිත ‘මරු’ කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සජිත එයාට හම්බ වෙන ‘ඕනෙම’ චරිතයක් එයාගේ උපරිමේටම කරන කෙනෙක් නිසා. ඒ වගේම මට හිතුනා සජිතගේ මේ දක්ෂකම, තිලක්ෂිනීගේ චරිතය ඔය ලෙවල් එකට එයාට කරන්න උදව්වක් වෙන්නත් ඇති කියලා. ඕවරෝල් ‘දූස්රා’ චිත්‍රපටයේ ඇක්ටින් හොඳයි. හැම චරිතයක්ම එයාලට කරන්න පුලුවන් උපරිමය කරනවා. ඒ කියන්නේ එහෙම කරන්න ‘උපරිමයක්’ තියෙන අයව කාස්ටින් කරන්න චන්න අයියා දක්ෂ වෙලා තියෙනවා.
සංස්කරණයට මම කැමතියි. දෙවල් ‘කියනවා’ වෙනුවෙට ‘පෙන්නන්න’ සංස්කරණ ශිල්පියාට පුලුවන් වෙලා කියලා මම දැක්කා. චිත්‍රපටය කලේ ඩිරෙක්ට් සවුන්ඩ් කියලා මම දැනගත්තේ චන්න අයියා කිව්වට පස්සේ. මගේ මිත්‍ර ඇඩම්ස් මැක්ලේන් කැමරාකරණයට වගේම ශබ්ද පටිගත කිරීමටත් දක්ෂයෙක් කියලා මම දන්න නිසා ඩිරෙක්ට් සවුන්ඩ් වැඩේ සාර්ථකව කරලා තිබ්බ එක ගැන මට අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් තිබුනේ නැහැ.
ඔය මම චන්න අයියා එක්ක කතා කරපු දේවල්. එහෙනං ‘දූස්රා’ සිනමා ශාලාවට ගිහින් බලන්න. මොකද අපේ ‘සිංහල’ සිනමාව පවතින්නේ සිනමා ශාලාවට ගිහින් බලන ප්‍රේක්ෂකයින් නිසයි.

සිනමා අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා

Back to top
Go to bottom

Popular News