lan englan tam

පුවත්

නිර්මාණ කරනවා කියන්නේ ක්‍රීඩාවක් නෙවෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවදත් යහපත් දේ ජාතියට තිළිණ කරන

ජාතික රූපවාහිනිය මේ දිනවල නව වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් සිටියි.

ඒ අතරින් ටෙලි නිර්මාණවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. හතු පිපෙන්නාක් සේ ටෙලි නිර්මාණ බිහිවන යුගයක හරවත් දේ උකහා ගනිමින් සමාජගත කරන්නට වෙහෙසෙන ඔවුන් පසුගිය 18 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30ට අමුතු ටෙලි නිර්මාණයක් විකාශය කිරීමට පටන් ගෙන තිබිණි. ‘අමුතු දොස්තර‘. බැලූ බැල්මට නම අමුතුය. කතාව ද අමුතුය. එමෙන්ම දැනෙන රසය ද අමුතුය. මෙතෙක් නොඇසූ, මෙතෙක් නොබැලූ අමුතු දේ එහි ගැබ්ව ඇත. මේක කාගෙ වැඩක් ද? මේ මේ දිනවල කාගේත් සිතට නැඟෙන ගැටලුවකි. එය නිරාකරණය කරගැනීමේ අරමුණින් අපි ඔහු ගැන සොයා බැලුවෙමු. ඔහු කෝරලගේ සමන්ය. ඒ නම ඔබට නුපුරුදු නොවන බව සැබෑය. ඔහු දක්ෂ රංගන ශිල්පියකු වුව ද අද අප කියන්නට යන්නේ ඔහුගේ වෙනත් පැතිකඩකි.

 කෝරලගේ සමන් කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. කවද ඉඳන් ද මේ අමුතු වැඩ කරන්න පටන් ගත්තේ?

මේ වෙද්දි මං නළුවෙක් විදිහට නිර්මාණ රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මං රංගනයෙන් දායක වුණු අකුරට යන වෙලාවේ, “SEE YOU“ නිර්මාණ මේ දිනවල විකාශය වනවා. තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියට විකාශය වෙන්නත් තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ ඉතාම ජනප්‍රිය වුණු “පාර දිගේ, තුම්පනේ, මෙට්‍රොහීන, අඳුන්ගිර“ වගේ ටෙලි නිර්මාණවලටත් රංගනයෙන් දායක වුණා. නළුවෙක් විදිහට අත්දැකීම් ගන්න අතරේ මට ඕන වුණා අධ්‍යක්ෂණය පැත්තේ අත්දැකීමත් ගන්න. අපි හැමෝම එකතුවෙලා ඒ අත්දැකීම විඳින්නයි මට ඕන වුණේ. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි “අමුතු දොස්තර” බිහිවෙන්නේ. මේ මගේ පළමුවැනි ටෙලි අධ්‍යක්ෂණය. මේ සඳහා දායක වුණු සෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක්ම දායක වෙන්නේ මට තියෙන ආදරයත් එක්කමයි. අපේ ජීවිත කාලෙ අපි බෙදාගත්ත දේවලුත් එක්ක තමයි අපි මේකට එකතු වුණේ. ඒ නිසාම වැඩේ අමාරු වුණෙත් නෑ. පහුගිය 18 වැනිදා ඉඳන් සතියේ දිනවල රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනියේ විකාශය ඇරඹුණා. කොටස් 50කින් සමන්විතයි. “අමුතු දොස්තර” බලලා ඒ අමුතු වෙනස විඳින්න කියලා මං ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා.

“අමුතු දොස්තර“. නමත් ටිකක් අමුතුයි. මොකක්ද මේ හරහා දෙන්න උත්සාහ කරන්නේ?

නම දැම්මේ පිටපත් රචක සුසිත් විජේමුණි. මේක අපි ප්ලෑන් කළේ මීට අවුරුදු 7කට විතර කලින්. කතාව ගැන කිව්වොත් මේක කලපුවක් මූලික කරගෙන ලියැවෙන ගමක කතාවක්. ඉස්සන් කොටු එක්ක හැප්පෙන මිනිසුන්ගේ එදිනෙදා ජීවිකාව වගේම ඔවුන් මුහුණදෙන ගැටලු ගැන කතා වෙන නිර්මාණයක්. අපේම ජීවිත ගැන කතා වෙනවා කිව්වත් හරි. ප්‍රධාන භූමිකාව වෙන්නේ දොස්තර. ඒත් දොස්තර කෙනෙක් කියලා බාහිර පෙනුමෙන් හිතාගන්නවත් බෑ. අමුතු වැඩ කරන, අමුතු විදිහට හිතන, අමුතු ඇඳුම් අඳින, අමුතු දොස්තර කෙනෙක්. පුළුල් රංගන පරාසයක් තියෙන චරිතයක්. එයා අවශ්‍ය දේ කළා වුණත් මිනිස්සුන්ට ඒක පේන්නේ පිස්සු වැඩක් විදිහට. අමුතු දොස්තර විදිහට රංගනයෙන් දායක වෙන්නේ මම. මං හිතනවා මේක අමුතුම වැඩක් වේවි කියලා.

අධ්‍යක්ෂවරයා විදිහට නිර්මාණය සඳහා දායකවූවන් ගැනත් මතක් කරමු?

කලණි දොඩන්තැන්න, සේමිණී ඉද්දමල්ගොඩ, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරි කුමාර, සම්පත් ජයවීර, මැල්කම් මචාඩෝ, චමිලා පීරිස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, නිලංක දහනායක, සමන්ත පරණලියනගේ, සුලෝචනා වීරසිංහ, සම්පත් පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.

ප්‍රධාන වශයෙන් ඉස්සන් කොටු හා බැඳුණු ජීවිත එක්ක දිවෙන කතාවක් මේක. කොහොමද ඒ අත්දැකීම?

අපි මේ සඳහා යොදාගත්තේ දැනට තියෙන ඉස්සන් කොටුමයි. උඩප්පුව ප්‍රදේශය ආශ්‍රිතව තියෙන ඉස්සන් කොටු මේ සඳහා යෙදාගත්තා. ඒ වගේම රෝහල සඳහා මාදම්පේ ගල්මුරුව රෝහල යොදාගත්තා. මේක රූගත කරන්න පටන් ගත්තේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. මගේ පළමු අත්දැකීම සෑහෙන්න සංකීර්ණ ක්‍රියාවලියක් කියලා හිතෙනවා. ලොකු පිරිසක් සහභාගි කරගෙන කරපු නිර්මාණයක්. ආර්ථික ගැටලු රැසකට මුහුණදෙන්නත් වුණා. උඩප්පුව නගරයේ ජනතාව සෑහෙන සහායක් දුන්නා. ඒ වගේම මාදම්පේ, ගල්මුරුව රෝහලේ සේවක මණ්ඩලය සහ අවට ප්‍රජාව. දමිළ ජනතාව බහුලව ජීවත් වන ප්‍රදේශයක් වුණත් ජාති, ආගම් භේදයක් නොතකා ඔවුන් අපට ලබා දුන් සහයෝගයට ස්තුතිය පළ කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.

නිර්මාණ සඳහා තරගකාරී මෙවන් යුගයක මේ හරහා යමක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනව ද?

මේකෙ කතා වස්තුව වෙනස්. නම ඇතුළෙම ඒ වෙනස තියෙනවා. අනිත් එක තමයි නිර්මාණ කරනවා කියන්නේ ක්‍රීඩාවක් නෙවෙයි. නිර්මාණයක් කරන්නේ රසවිඳින්න. මට හිතෙන විදිහට ගොඩක් අය ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදියට. තරගයකට වැදිලා රසවින්දනය කියන කොටස අතහරිනවා. මොන දේ කළත් වැඩක් නැහැ අවශ්‍ය රසය නැත්නම්. අමුතු දොස්තර කියන්නේ අන්න ඒ රසය ගැබ්වෙලා තියෙන නිර්මාණයක්.

 නාමලී ගමගේ(රසඳුන)
Back to top
Go to bottom

Popular News