lan englan tam

පුවත්

ප්‍රහසනය මැදදී රිකී ජවෙයිස් කියන ජීවන යථාර්ථය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ඉංග්රීසි ජාතික ප්රහසන ශිල්පියෙකු වන රිකී ජවෙයිස් 2018 වසරේ ලන්ඩනයේ දී පවත්වපු ඔහුගේ "හියුමැනිටි" ප්රසංගය අතරතුර මෙවැනි දෙයක් කියනවා.
"අපි සේරම වානරයෝ. වචනාර්ථයෙන්ම වානරයෝ. අපි ජානමය වශයෙන් 98.6%ක්ම චිම්පන්සීන්ට සර්වසමයි. ච්ම්පන්සියෝ ගෝරිල්ලන්ට සමීප වෙනවටත් වඩා අපි චිම්පන්සීන්ට සමීපයි. අවුරුදු මිලියන 6කට විතර කලින් අපි අපේ පොදු පූර්වජයාව හැර ගියා. ඒ වගේම අපේ ජීවන චක්රයත් සමානයි. ඒක අනික් සත්තුන්ට තියෙනවා වගේම ජීවන චක්රයක්. ඒ තමයි, අපේ දෙමාපියෝ ලිංගිකව එක් වෙනවා. අපි උපදිනවා. අපි වැඩෙනවා. අපි ලිංගිකව එක් වෙනවා. අපේ දෙමාපියෝ මිය යනවා. අපේ මිතුරන් එකා එකා මිය යනවා. ඊට පස්සෙ අපි මිය යනවා."
ඔහුගේ ඒ ප්රකාශය ප්රහසන ප්රසංගයක් අතරතුරේ කියපු එකක් වුනත්, ඒ ප්රකාශයට පස්සේ නරඹන්නන්ගේ සිනහ හඬින් ප්රසංග ශාලාව පිරී ගියත්, ඒ කතාවේ කොච්චර ගැඹුරක් තියෙනවා ද කියලා, මං හිතන්නෙ මේක මෙතනට එනකල් කියවපු ඔබටත් කල්පනා වෙන්න ඇති. කොහොමටත් ජවෙයිස්ගේ විහිලු කතා ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේත් අයිසින් දාපු කැත ඇත්තවල් තමයි.
"ජීවිත කාලයක්" කියන්නේ කාල මිණුම් ඒකකයක් විදිහට අරන් බැලුවොත්, අපි ජීවත් වෙන්නේ ජීවිත කාලවලින් හැදුණු කාල රේඛාවක් උඩ. ඒ රේඛාව මානව ශිෂ්ඨාචාරය කියලා හඳුන්වන්න පුලුවන්. ඒ කාල රේඛාව උඩ ලකුණු කරපු ඉතා පුංචි ඒකකයක් තමයි තනි ජීවිත කාලයක් කියන්නේ. ඒක හරියට, මේ ලියන මමත්, කියවන ඔබත් ඉන්න තැන් අතර ඇති දුර කිලෝමීටරවලින් ලකුණු කළාම එන රේඛාවෙන් එක් මිලිමීටරයක් වගේ දෙයක්.
ජීවිත කාලයක් කියන ඒ මිලිමීටර කාල ඒකකය පරම්පරාවක් කියලා හඳුන්වන්නත් පුලුවන්. ශිෂ්ඨාචාරය නමැති කිලෝමීටර ගාණක් දිග රේඛාවේ අපි ඉන්න මිලිමීටරයට/පරම්පරාවට එහා පැත්තේ තියෙන මිලිමීටරයේ/පරම්පරාවේ ජීවත් වුණු අය ගැන හිතලා බැලුවොත්, ඒ අය දැන් කෝ? "ඔවුන් මේ වෙද්දි ජීවත් වෙන්නේ නෑ" කියන දේ අනිවාර්ය සත්යයක් තමයි. හැබැයි ඔවුන් පිළිබඳ මතකයක් වත් තියෙනවද මේ ලෝකේ ඉතිරි වෙලා?
මම මීට කලින් සටහනක ලිව්වා වගේ, මම විශ්වාස කරන විදිහට අයෙක් මේ ලෝකය ඇත්තටම හැර යන්නේ ඔහුගේ නම මේ ලෝකෙ ඇතුලේ අන්තිම වතාවට සඳහන් වුණු දවසට. එතෙක් ඔහු අපේ මේ මානව ශිෂ්ඨාචාරය නමැති මහා සමූහ බුද්ධිය ඇතුලෙ ජීවත් වෙනවා, භෞතිකව හෝ නිර්භෞතිකව.
ඉතින් ඒ විදිහට මම අර කලින් ඇහුව "ඒ අය දැන් කෝ?" කියන ප්රශ්ණය අරන් බැලුවොත්, අපේ ජීවිත කාලයට කලින් 'ජීවිත කාලයක' කාලය තුළ ජීවත් වුණු අයගෙන් බහුතරයක් සදාතනිකවම මේ ලෝකය හැර ගිහින්. ඒ බහුතරයක් අයගේ නමක් හෝ අනන්යතාවක් හෝ මේ ලෝකෙ තවදුරටත් සඳහන් වෙන්නේ නෑ. ඒක හොඳින්ම තේරුම් ගන්න පුලුවන් මෙහෙම. කල්පනා කරලා බලන්න, ඔබේ සීයා හෝ ආච්චිගේ දෙමාපියන් ගැන. සමහර විට ඔබ ඔවුන්ව දැකලා ඇති; ඔවුන්ගේ නම් දන්නවා ඇති. ඒත් බොහෝ විට ඔබේ දරුවන් ඔවුන්ගේ නම් හෝ නොදනීවි. හැබැයි ඔවුන් සහ අපි අතර අවුරුදු වශයෙන් ගත්තම තියෙන කාලය බොහොම ළඟයි.
මේ ලියන මට සහ කියවන ඔබට අදාළවත් ඒක එහෙමයි. තවත් පරම්පරා දෙක තුනකට පස්සේ ඔබේත් මගේත් නම් හෝ අප සම්බන්ධ මතකයන් හෝ මේ ලෝකේ ඇතුලෙ තව දුරටත් නැති වෙන්න පුලුවන්. හැබැයි ඉතින් මේ දීර්ඝ කාල රේඛාව ඇතුලේ කෙස් ගහක තරම් පුංචි කොටසක හිටපු අපි කරපු යමක්, අපි නිසා සිදුවුණු දෙයක් තව දශක ගාණක් එහා පැත්තේ කෙනෙක් දකින්න පුලුවන්; පරිහරණය කරන්න පුලුවන්; සමරන්න පුලුවන්. අපි කවුද, අපේ නම් මොනවද කියන එකවත් නොදැන.
මගේ අම්මගේ මහගෙදර ලිපිනයේදි ඒ ගෙදර හඳුන්වන්නේ "ළිඳ ලඟ නිවස" යන නමින්. ගමේ මිනිස්සු ඒ ගෙදරට කියන්නේ "ළිඳ ගාව ගෙදර" කියලා. ඒකට හේතුව තමයි, විශාල ප්රමාණයේ ආශ්චර්යමත් ජල උල්පතක් ඒ ගෙදර ඉස්සරහා පිහිටා තිබීම. ඒ උල්පත වට කරලා සිමෙන්තියෙන් බැඳලා ඒක විශාල පොදු ළිදක් බවට පත් කරලා තියෙනවා. ළිඳකට වඩා ඒකට තියෙන්නේ ටැංකිමය ස්වරූපයක්. ප්රදේශයේ ජනතාවට ඒ ළිඳ මිල කරන්න බැරි සම්පතක්. ඒක යම් විදිහක "උණු දිය උල්පතක්" බව හොඳන්ම තේරෙනවා සීතල වැසි දවසක හෝ රාත්රී කාලයක දී ඒ ළිඳෙන් නෑවොත්. මට මේ ලෝකේ ගැන තියෙන පළමුවෙනි මතක අතර ඒ ළිඳත් තියෙනවා.
"ළිඳ ගාව ගෙදර" ජීවත් වුණු මගේ සීයා හෙවත් ජී. එච්. ප්රේමදාස, ඒ ළිඳේ යහපැවැත්ම ගැන ගොඩක් සැළකිලිමත් වුණු කෙනෙක්; තමන්ගේ දරුවෙක් වගේ ළිඳ බලාගත්තු කෙනෙක්. 1997 වසරේදී ඒ ළිඳ අලුත්වැඩියා කරනවා ප්රාදේශීය සභාව මැදිහත් වෙලා. ඒ අලුත්වැඩියාවෙන් අලුත් වුණු ළිඳේ ගැට්ටේ ලියලා තියෙනවා මෙහෙම.
"මිණිපේ ප්රාදේශීය සභාවෙන් කරවන ලදී - 1997.10.17".
ඒ අකුරු මගේ සීයාගේ කියලා අද වෙද්දි දන්නේ කවුද? 2010 වසරේ දී මගේ සීයා, ඒ කිව්වේ ජී. එච්. ප්රේමදාස මේ ලෝකේ හැර යනවා භෞතිකව. ඔහුව ඇහැටවත් දැකලා නැති, ඔහුගේ නමවත් අහලා නැති පරම්පරාවක් අද ඒ ළිඳේ නානවා. කවුරුන් ලිව්වාදැයි ඔවුන් නොදන්නා ඒ අකුරු, ඔවුන්ගේම බාල්දි වැදීමෙන් ළිං ගැට්ට පලුදු වෙලා සදහටම මැකෙන්න ඉතාම කිට්ටුයි.
වනසතුන් ගැවසුණු මහා කැලෑවක්, ගමක් බවට පත් කරවපු අයගෙන් පුරෝගාමියෙකු වුණු ජී. එච්. ප්රේමදාස, ඒ ළිඳ පරිහානියට ලක් නොවෙන්න කරපු නිහඬ කැපකිරීම දන්න කිසිවෙක් තව පරම්පරාවකට දෙකකට පස්සේ නැතිවෙනවා. සමහර විට ගෝලීය උණුසුම හමුවේ පරම්පරා කිහිපයකට පස්සේ එතන ළිඳක් කියලා දෙයකුත් නැතිවේවි.
ඒත් හැබැයි අනික් අතට පහුගිය අවුරුදු කිහිපය ඇතුලේ මේ ලෝකෙ හැම අතින්ම වෙනස් වෙලා. අපේ ෆේස්බුක් මිතුරු ලැයිස්තුව ඇතුලේ මිය ගිය යහළුවන්ගේ ප්රොෆයිල, ඔවුන් ලියපු දේවල් අපි නිතර දකිනවා; ඒ හරහා අපි ඔවුන්ව සමරනවා. ඉතිං, පුද්ගලයෙක් මිය ගියාට පස්සෙ ඔහු නිර්භෞතිකව ලෝකේ ඇතුලෙ ඉන්න කාලය ඉස්සරට සාපේක්ෂව දැන් ටිකක් දීර්ඝ වෙලා. ඒත් ඉතිං කිසිම දෙයක් සදාකාලික නැහැනේ. 1 සහ 0 වලින් හැදුණු ඒ යහළුවන්ගේ ප්රොෆයිල හෙට උදේ වෙද්දි තියෙයිද නැද්ද කියන එක කාටද කියන්න පුලුවන්?
කාලය වේගයෙන් ගත වීම ගැන පහුගිය දවස් කිහිපයේ මම මීම් දෙකක් දැක්කා. එකක තිබුනේ 2024 නව වසර සමරලා ඇහිපිය ගහද්දි දන්සැල් මාසය ඇවිත් කියන අදහස. අනිකේ තිබ්බේ, "පුදුම වයසට යෑමක්නෙ මේක; හෙට අනිද්දට 40ක් වෙයි මේ යන විදිහට" කියන වාඛ්ය දෙක.
මම මේ මොහොතේ දී ගත කරන්නේ මගේ ජීවිතයේ තුන් වැනි දශකය ඇතුලේ. මං හිතනවා, මේක කියවන අයගෙන් වැඩි කොටසක් මේ වෙලාවේ ඉන්නවා ඇත්තෙත් ඊට ආසන්න තැනක. ඉහත සඳහන් කරපු මීම්වල තියෙන අදහස, ඒ කියන්නේ "කාලය ගතවීම පුදුමාකාර විදිහට වේගවත් වෙලා නේද" කියන සිතුවිල්ල 30 පැනපු හැමෝටම වගේ දැනෙනවා ඇති කියලා මම හිතනවා. ඒ වගේම "ජීවිත කාලය පුදුම තරම් කෙටියි නේද" කියලා අපිට ඇත්තටම හිතෙන්න ගන්නේ මේ කාලෙදි කියලා මම හිතනවා.
පාසල් ගිය කාලය ගැන මතක් කරද්දි ඒක ලොකු කාලයක් වගේ අපිට දැනෙනවා. ඊට සාපේක්ෂව අපේ විසි ගණන් ඉක්මනට ඉවර වුණා වගේ දැනෙනවා. ඊටත් වඩා පුදුමාකාර වේගයකින් 30 සිට දැන් ඉන්න තැනට එනකල් අවුරුදු කිහිපය ගෙවිලා ගියා නේද කියලා හිතෙනවා. හතලිස් ගණන්වලදී කාලය දැනෙන විදිහ ඊටත් වඩා වේගවත් වේවි. ඒ විදිහට වයසින් වැඩි වෙද්දි කාලය ගතවීමේ වේගය වැඩියි වගේ දැනෙන්න හේතු වෙන බවට සැලකෙන උපකල්පන කිහිපයක්ම තියෙනවා. ඒවා ගැන පුංචි අන්තර්ජාල සෙවුමකින් ඔබට හොයාගන්න පුලුවන් වේවි.
මේ සටහන පටන් ගද්දිම මම උපුටා දක්වපු රිකී ජවෙයිස්ගේ කතාව ගැන ආපහු හිතුවොත්.. "අපේ දෙමාපියෝ ලිංගිකව එක් වෙනවා. අපි උපදිනවා. අපි වැඩෙනවා. අපි ලිංගිකව එක් වෙනවා. අපේ දෙමාපියෝ මිය යනවා. අපේ මිතුරන් එකා එකා මිය යනවා. ඊට පස්සෙ අපි මිය යනවා." කියන ජීවන චක්රයේ ඉස්සරහට යද්දිත්, ඒ කියපු කොටස් නිසා ජීවිත කාලයේ කෙටි බව අපිට දැනෙන්න ගන්නවා.
සීයාට වගේම ආච්චිටත් මම ගොඩක් ආදරෙයි. මේ සටහන ලියන වෙලාවේ ඇය ජීවතුන් අතර ඉන්නවා. ඒත්, මේ සටහන ෆේස්බුක් මෙමරීස් හරහා මමම නැවත කියවන මීලඟ අවස්ථාවේ දී ඇය භෞතිකව ඉඳියිද කියලා මම දන්නෙ නෑ. මෙමරීස් හරහා බොහෝ වාරයක් මෙය කියවන තෙක් ඇය ජීවතුන් අතර ඉන්න කියලා මං ප්රාර්ථනා කරනවා. කොහොම වුනත්, ඇය ගත කරමින් ඉන්නේ ඇගේ ජීවිතේ අවසාන භාගය.
ඇයගේ පියා මිය යද්දී මම ඉපදිලා නැහැ. ඒත්, ඇයගේ මවගේ (ආච්චිගේ අම්මාගේ) ආදරය විඳින්න මම වාසනාවන්ත වුණා. ඇය මිය යද්දී මම ළමයෙක්. තමන්ගේ අම්මා, තාත්තා වයස්ගත වී මිය යද්දි "මම දැන් වයසට ගිහින් නේද" කියන සිතුවිල්ල කෙනෙකුට එනවා ඇති කියලා මම හිතනවා. ආච්චිටත් ඒක දැනෙන්න ඇති.
ඒ වගේම තමන්ගෙ මිතුරු මිතුරියන් වයස්ගත වී මිය යද්දි, ඒ සිතුවිල්ල වඩාත් ප්රබලව දැනේවි කියලා මම කල්පනා කරනවා. මගේ ආච්චි ඒ සිතුවිල්ල විඳිමින් ඉන්නවා. ඇයගේ පරම්පරාවේ, ඇයගේ මිතුරු මිතුරියන් පහුගිය කාලයේ සිට එක ළඟ මිය යමින් සිටිනවා. ඉතින් අපේ ජීවිත කාලය ගොඩක් කෙටියි. ඒ වගේම ජීවිත කාලයක් පරිහරණය කරන කෙනාට ඒ කෙටි බව ගොඩක් තදට දැනෙනවා.
"මලානික නිල් තිත" (Pale Blue Dot) කියන්නේ 1990 වසරේ දී "වොයේජර් 1" යානාවෙන් ලබා ගත්තු ඡායාරූපයක්. අපෙන් කිලෝමීටර බිලියන 6ක් ඈතින් ඉඳන් ගත්තු ඒ ඡායාරූපයේ, පෙනෙන නොපෙනෙන අඳුරු තිතක් වගේ අපේ මේ පෘථිවිය දර්ශනය වෙනවා. විශ්වයේ විශාලත්වය එක්ක බලද්දි පෘථිවිය කොච්චර පොඩිද, අපි කොච්චර පොඩිද, අපේ ප්රශ්ණ කොච්චර පොඩිද, මානව වර්ගයා ඉතිහාසයේ ඉඳන් විඳපු, විඳිමින් ඉන්න සෑම දේම තියෙන්නේ ඒ තිත ඇතුලේ නේද වගේ අදහස් රැගත් සංවේදී සටහනක් ශ්රේෂ්ඨ විද්යාඥ කාල් සේගන් තබලා තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕනි දෙයක්.
"මලානික නිල් තිතෙන්" ඒත්තු ගැන්වෙන්නේ අනන්ත විශ්වය හමුවේ ප්රමාණාත්මකව අපි කොච්චර පොඩිද කියන එක. හැබැයි අනික් අතට, කාලය කියන මානයෙන් බලද්දිත් අපි කොච්චර පොඩිද? මෙච්චර කෙටියි කියලා අපිටම හිතෙන අපේ ජීවිත කාලය, මානව ශිෂ්ඨාචාරයේ වයස දිහා බලද්දි, පෘථිවියේ වයස දිහා බලද්දි, අන්තිමට මහා පිපිරුමේ සිට විශ්වය මේ තාක් ගතකරලා තියෙන කාලය දිහා බලද්දි ගණන් ගන්නවත් පුලුවන්ද?
අපේ ජීවිත කාලය අවුරුදු 100ක්ම කියලා හිතුවත්, අවුරුදු 160,000ක් තිස්සේ ලෝකය ඇතුලේ ඉන්න නූතන මානවයාගේ ඉතිහාසය එක්ක සසඳද්දි ඒක බොහොම පොඩි කොටසක්. ඊටත් වඩා ලස්සන පැහැදිළි කිරීමක් තියෙනවා. ඒක කෙටියෙන් මෙහෙමයි.
මේ වෙද්දි පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.5ක්. එච්චරට පැරණි පෘථිවියේ මෙතෙක් ඉතිහාසය එක් දිනකට හකුළලා ගත්තොත්, 00.00ට පෘථිවිය නිර්මාණය වෙනවා. පාන්දර 5.30ට ඒකසෛලිකයෙක් විදිහට පෘථිවියේ ජීවය ආරම්භ වෙනවා. මුහුදට පමණක් සීමා වුණු ජීවීන් ගොඩබිමට එන්නේ රාත්රී 9.10ට. රාත්රී 9.45ට ප්රථම සිව්පා සතුන් නිර්මාණය වෙනවා. රාත්රී 10.34ට ඩයිනෝසරයින් නිර්මාණය වනවා. 11.26ට උල්කාපාතයක් කඩා වැටීමෙන් ඩයිනෝසරයින් ලෝකයෙන් තුරන් වෙලා යනවා.
දවස ඉවර වෙන්න විනාඩි දෙකකට කලින්, 11.58ට චිම්පන්සීන් බිහිවෙනවා. ඊට තප්පර 15කට පස්සෙ ආදි මානවයින් දෙපයින් ඇවිදින්න පටන් ගන්නවා.11.59යි තප්පර 23ක් ගත වෙද්දි මිනිස්සු බිහි වෙනවා. දවස අවසන් වෙන්න තප්පර දෙකකට කලින්, ඒ කිව්වේ 11.59යි තප්පර 58ට, භාෂාව, උපකරණ, ආයුධ ආදිය නිර්මාණය කරගත්තු වර්තමාන සංකීර්ණ මිනිස් වර්ගයා බිහි වෙනවා.
ඉතින්, පෘථිවියේ වයස පැය 24ක් නම්, සමස්ත මිනිස් ඉතිහාසයම තියෙන්නේ තප්පර 2ක් ඇතුලේ. අනික් අතට වර්තමාන ගණනය කිරීම්වලට අනුව විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක්. ඒ අවුරුදු බිලියන 13.8 ඇතුලේ ඔබේත් මගේත් ජීවිත කාලය මකුළු හුයකටත් වඩා කුඩායි.
හැබැයි අපේ ජීවිතය ගණන් ගන්නවත් බැරි තරම් කුඩා එකක් වුනත්, මේ සටහනේ මැදදිත් කිව්වා වගේම අපි කරපු යමක්, අපි නිසා සිදුවුණු දෙයක්, කොටින්ම අපි මේ අවකාශකාලයේ (Spacetime) ගත්තු ඉඩ හේතු කොටගෙන සිදුවුනු වෙනසක්, තව දශක ගාණක් - සමහර විට අවුරුදු බිලියන ගාණක් එහා පැත්තේ කෙනෙක් දකින්න පුලුවන්; පරිහරණය කරන්න පුලුවන්; සමරන්න පුලුවන්. අපි කවුද, අපේ නම් මොනවද කියන එකවත් නොදැන.
Everything is connected; connection is everything. විශ්වයේ සෑමදේම එකිනෙකට සම්බන්ධයි; එකිනෙකට සම්බන්ධකම කියන්නෙ සෑමදෙයයි. ඇමරිකානු ලේඛක රේ බ්රැඩ්බරිගේ "A Sound of Thunder" (ගිගුරුම් හඬක්) විද්යාප්රබන්ධ කෙටිකතාවේදී සපත්තුවකට පෑගුණු සමනලයෙක් නිසා මුලු අනාගතයක් වෙනස් වුනා වගේ, මම ලියන මේ වාඛ්යයේ අන්තිමට යොදන නැවතීමේ තිත හේතු කොටගෙන තව වසර ගණනාවකින් මට හිතාගන්නවත් බැරි දෙයක් වුණත් සිද්ධ වෙන්න පුලුවන්. ඒකට ඕනි නම් "සමනළ ආචරණය" (Butterfly effect) කියලත් කියන්න පුලුවන්; ඕනෙ නම් "කර්මය" වගේ ආගමික වචනයක් දෙන්නත් පුලුවන්.
මේක ලියන්න පටන් ගද්දි හිතුවට වඩා දේවල් ලියවුණු නිසා හිතුවට වඩා දීර්ඝ වුණා. මෙතනට එනකල් කියවපු ඔබට, ඔබේ ජීවිතේ කෙටියි කියලා යම් දුකක් දැනුනා නම්, සතුටු වෙන්න(?) දෙයක් කියලා මේක ඉවර කරන්නම්.
මානව ශිෂ්ඨාචාරයේ මුල සිට මේ වෙනකල් බැලුවොත්, මිනිස් ආයු අපේක්ෂාව අද වෙද්දි බොහෝ සෙයින් වැඩි වෙලා. 1900දි සාමාන්ය ආයු අපේක්ෂාව අවුරුදු 32යි. 1960දී අවුරුදු 51යි. 2021දී ඒක අවුරුදු 71ක් බවට පත් වෙලා තිබෙනවා.
ඉතින් මීට දශක ගණනකට කලින් ජීවත් වුනු කෙනෙක් අපේ වර්තමානය දිහා බැලුවොත්, ඔහුට විශාල ඉරිසියාවක් දැනෙන තරමට ආයු අපේක්ෂාව අද ඉතා ඉහළයි. වෛද්ය විද්යාව සහ අනෙකුත් විද්යා ක්ෂේත්රවලින් මිනිස් වර්ගයා ලබා තියෙන දියුණුව ඊට හේතු වෙලා තියෙනවා. ඉතින් මානව ඉතිහාසයේ අතීතයට සාපේක්ෂව බැලුවොත් අපේ ජීවිත කාලය දීර්ඝ එකක් කියලා හිතන්න පුලුවන්.
තවත් දෙයක්! අමරණීයත්වයට යන්න පුලුවන් ක්රම ගැන මේ වෙද්දි ලෝකේ විවිධ පර්යේෂණ සිද්ධ වෙමින් පවතිනවා. ඒක, කෙනෙකුගේ විඤ්ඤාණය පරිගණකයක් වෙත උඩුගත කිරීම හෝ ක්ලෝනකරණයෙන් සැකසූ තමන්ගේම තරුණ සංස්කරණයක මොළයට පිටපත් කිරීම හෝ විය හැකියි. එවැනි තාක්ෂණයක් ලෝකයට එන තෙක් ඔබේ මොළය හෝ මුලු සිරුරම සංරක්ෂණය කරගන්න පුලුවන් ආකාරයේ මුදල් ගෙවා ලබාගත හැකි සේවාවන් පවා අද වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා.
අමරණීයත්වය වගේ දෙයක් ගැන එකපාරට හිතුවොත්, අපි හැමෝම ඒකට කැමතියි තමයි. හැබැයි, අන්තිමට අපිට අපෙන්ම අහන්න ඕන ප්රශ්ණයක් තියෙනවා. ජීවිතයේ අවසානය කියලා දෙයක් නැත්නම්, ඊයේ දවසක් හෝ හෙටක් අපිට තියේවිද? කාලය කියන දේ අපිට දැනේවි ද? කාලය අපිට වටීවි ද? අමරණීය වුනොත්, අපිට අපේ ජීවිතයෙන් වැඩක් තියේවිද?
2011දී තිරගත වුණු "ඉන් ටයිම්" (In Time) විද්යාප්රබන්ධ චිත්රපටයේ එන "අමරණීය" චරිතයක් වුනු හෙන්රි හැමිල්ටන් අවුරුදු 105ක් ජීවත් වුනාට පස්සේ, ජීවත් වීමෙන්ම හෙම්බත් වෙලා මෙහෙම දෙයක් කියනවා.
"ජීවත් වෙලාම ඇතිවෙන දවසක් එනවා. ඕනවට වඩා ජීවත් වීමෙන්, සිරුර කෙසේ වෙතත් මනස ගෙවී යන්න පුලුවන්. අපි මැරෙන්න ඕනේ. මරණය කියන්නේ අපිට අවශ්ය දෙයක්."
සහන් පද්මසංඛ පීරිස්
2024.05.17
Back to top
Go to bottom

Popular News