lan englan tam

පුවත්

නතාශාගේ පැත්ත ගත්තාට එරෙහි අභියෝගය දිනයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු ජනමාධ්‍ය, සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරීහු පිරිසක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකින් අධිකරණයට අපහාස කළ බවට වූ සිංහල රාවය සංවිධානයේ කරුණු දැක්වීමක් අභියෝගයට ලක් කරමින් එම මාධ්‍යවේදියා ඇතුළු පිරිස පිළිබඳව විමර්ශන අත්හිටුවීම සඳහා කළ ඉල්ලීම් අනුව එයට අදාළ නියෝග ප්‍රතිශෝධනය කිරීමට අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය.

එම සිදුවීම පැහැදිලි කරන තරිඳු ජයවර්ධනගේ ලිපිය මෙසේය.

අවසානයේ අපි දිනුම්!
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකින් උසාවියට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත මා ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් කොළඹ පළාත්බද මහාධිකරණයට යොමු කළ ප්‍රතිෂෝධන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් පී.එස්. නිශ්ශංක මහතා කළ නියෝගය ප්‍රතිෂෝධය කරන ලෙස ඉල්ලමින් මා විසින් ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය අද එම නියෝගය කළේය.
මහාධිකරණ විනිසුරුවරයා විසින් ලබා දුන් තීන්දුව ද ප්‍රතික්ෂේප කෙරිණි.
මාගේ පෙත්සම ගොනු කළේ නීතිඥ මනුෂිකා කුරේ මහත්මියයි. එහි වගඋත්තරකරුවන් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, අන්තර්ජාල බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස් එම් යූ සුබසිංහ සහ නීතිපතිවරයාය.
අද (30) මෙම තීන්දුව ලබා දුන්නේ සම්පත් බී අබේකෝන් සහ පී කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසිනි.
මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී නීතිඥ සු‌රේන් ඩී පෙරේරා, නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා සහ නීතිඥ මනුෂිකා කුරේ සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මා වෙනුවෙන් කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දෙමින් එම නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මම ඇතුළු ජනමාධ්‍ය, සිවිල් හා මානව හිමිකම් ක්‍රියාකාරීහු පිරිසක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. එම මාධ්‍ය සාකච්ඡාව මගින් අප අවධාරණය කළේ නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අත්අඩංගුවට ගැනීම වැරදි බවයි. මා පමණක් නොව නීති විෂාරධයකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකර පවා එහිදී අදහස්දැක්වීය.
අපගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු නතාෂාට අමතරව බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගත් අතර ඔවුන් සම්බන්ධ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරිපිටදී කැඳවූ අවස්ථාවේ දී සිංහල රාවය සංවිධානයේ ප්‍රභාත් මධුභාෂණ නැමැත්තකු වෙනුවෙන් පෙනී සිටින බව කියමින් නීතිඥවරයකු විවෘත අධිකරණයේ කරුණු දක්වමින් එම මාධ්‍ය සාකච්ඡාවේදී අප විසින් අධිකරණයට අපහාස කරනු ලැබූ බව කියා සිටියේය.
ඒ අනුව මා (තරිඳු ජයර්ධන), විදර්ශන කන්නංගර, බ්‍රිටෝ ප්‍රනාන්දු, තරිඳු උඩුවරගෙදර හ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. ඊට පසු පැමිණිල්ල කැඳවූ දිනයේදී එම නියෝගයම පරිගණක අපරාධ කොට්ඨාසයටද කළේය. ඉන් පසු පරිගණක අපරාධ කොට්ඨාසයේ අන්තර්ජාල බුද්ධි අවේක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා විමර්ශනයක් ආරම්භ කළේය.
එම විමර්ශනයට ප්‍රකාශ ලබා දෙන ලෙස මට සහ තරිඳු උඩුවරගෙදරට පරිගණක අපරැාධ කොට්ඨාසය දැනුම් දුන් අතර තරිඳු උඩුවරගෙදර ප්‍රකාශය ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට තීරණය කර ඔහු ගොස් ප්‍රකාශ ලබා දුන්නේය. කෙසේ වෙතත් මම එලෙස නොයා මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අත්හිටුවන ලෙස මහාධිකරණයට ප්‍රතිෂෝධන පෙත්සමන් ගොනු කිරීමට තීන්දු කළෙමි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ සුරේන් ඩී පෙරේරා‌, නීතිඥ මනුෂිකා කුරේ සහ නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා සමග සාකච්ඡා කළ අතර අවසානයේ පෙත්සම සකස් කර නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මහාධිකරණයට ඉදිරිපත් කළාය.
මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් පී එස් නිශ්ශංක මහතා ඉදිරියේ දී නඩුව කැඳවන අවස්ථාවේදී මා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු දැක්වීය. මා වෙනුවෙන් පෙනී සිටීමට සහ සහයෝගය දැක්වීමට නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ ප්‍රබෝධ රත්නායක, නීතිඥ මනුෂිකා කුරේ, නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා සහ නීතිඥ ඩිලාන් නාලක ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. ඊට අමතරව එවකට නීතිවේදී තරුෂි දිෂාරාත්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එම් එෆ් එම් ෆසීර්, චානක කරුණාරත්න, අනූ පියසේන ඇතුළු ජනමාධ්‍ය පිරිසකුත් අධිකරණයට පැමිණ සිටියහ.
කෙසේ වෙතත් මහාධිකරණය මූලික කරුණු දැක්වීම්වලින් පසුව වගඋත්තරකරුවන්ට සිතාසි නොයවාම නඩුව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු විය.
මහාධිකරණයේ නඩුව සඳහා මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා ද සහයෝගය ලබා දුන්නේය.
ඉන් පසු එම තීන්දුවට එරෙහිව ඉහළ උසාවියට යාහැකිදැයි පෙර කී නීතිඥවරුන්ගෙන් විමසා සිටි අතර ඔවුන්ගේ අදහස වූයේ මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් සහ ප්‍රතිෂෝධන පෙත්සමක් යන දෙකක්ම ඉදිරිපත් කළ හැකි බවයි. ඒ අනුව අපි අභියාචනාධිකරණයට අභියාචනයක් සහ ප්‍රතිෂෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර මුලින්ම කැඳවූයේ ප්‍රතිෂෝධන පෙත්සමයි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රතිෂෝධන පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වූ අතර නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ, නීතිඥ මනුජය ද සිල්වා ද අවස්ථා කිහිපයකදී පෙනී සිටියහ. පෙත්සම කැඳවූ පළමු අවස්ථාවේදීම සාලිය පීරිස් මහතාගේ කරුණු දැක්වීම අනුව පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළ අධිකරණය වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.
ඉන් පසු නඩු විභාගය පැවති අතර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මා වෙනුවෙන් දීර්ඝ්ඝකරුණු දැවීමක් කළේය. අධිකරණයට අපහාස කළායැයි කියමින් නතාෂාට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේදී නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් පදනම් කරගනිමින් පෙත්සම්කාර තරිඳු ජයවර්ධන (මා) ඇතුළු පිරිසට එරෙහිව විමර්ශනයක් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවත්, එය නීතිය අනුව කරන ලද නියෝගයක් නොවන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම් විභාගයේ දී පෙන්වා දුන්නේය.
පෙර කී නීතිඥවරයාගේ කරුණු දැක්වීමේ කිසිම තැනක පෙත්සම්කාර තරිඳු ජයවර්ධනගේ (මාගේ) නම නොතිබියදී මහේස්ත්‍රාත්ගේ නියෝගයේ තරිඳු ජයවර්ධන යනුවෙන් සඳහන් කර ඇති බවත්, මෙය ගැටලු සහගත බවත්, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණන බල ප්‍රදේශයේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ කළ මාධ්‍ය සාකච්ඡාවකට අදාලව කොටුව මහේස්ත්‍රාත්වරයා තීන්දුවක් ලබාදීම අධිකරණ බලය ඉක්මවා යෑමක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පරීස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අපහාසයක් ගැන සෙවීමට මහේස්ත්‍රාත්වරයාට කිසිම බලයක් නැති බවත්, ඒ සඳහා පරීක්ෂණ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද හැකියාවක් නැති බවත්, පෙත්සම්කරු (මම) භාෂණයේ ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් පොලිසියේ වැරදි ක්‍රියාකලාපය විවේචනය කළ ද කිසිම අවස්ථාවක අධිකරණයට අපහාස නොකළ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මා විසින් කළ කරුණු දැක්වීම ඇතුළත් සංයුක්ත තැටියක් පෙත්සම සමග අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා දීර්ඝ කරුණු දැක්වීමක් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ද දීර්ඝ කරුණු දැක්වීමක් කළේය. දෙපාර්ශ්වයේම කරුණු විමසීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 23 දිනට කල් තැබිණි. සැප්තැම්බර් 23 රජයේ නිවාඩු දිනයක් වීම හේතුවෙන් එදින සියලුම නඩු අද දිනට ලැයිස්තු ගත කර තිබූ අතර ඒ අනුව අද නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම නඩුවට අදාලව සෑහෙන පිරිසක් සහයෝගය දැක්වූ අතර ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ, නීතිඥ පවත්‍ර මනුජයද සිල්වා ඇතුළු සියලුම නීතිඥවරුන් මා වෙනුවෙන් පෙනී සිටියේ නොමිලයේය. ඔවුහු මේ නඩුව වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දැරූහ. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ද අවස්ථා ගණනාවකදී මේ ගැන විමසමින් සහයෝගය ලබා දුනේය.
එසේම නඩුවට අදාලව සහයෝගය දැක්වීමට මහාධිකරණයට පැමිණි නීතිඥ ප්‍රබෝධ රත්නායක, නීතිඥ ඩිලාන් නාලක ඇතුළු සියලුම නීතිඥවරුන්ටත්, මහාධිකරණයට පැමිණි ෆසීර්, තරුෂි, අනූ, සීකේ ඇතුළු සියලුම මිතුරන්ටත්, අභියාචනාධිකරණයට පැමිණි හිරුණි, නුරේකා, සචින් ඇතුළු සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමි.
එසේම ශාලික අයියා, නිරෝෂ් අයියා ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සියලුම මිතුරන්ටත් ස්තුතිවන්ත වෙමි.
එසේම මහාධිකරණ නඩුව ප්‍රතික්ෂේප වූ අවස්ථාවේදී අභියාචනාධිකරණයට යාහැකිදැයි සාකච්ඡා කරද්දී ඊට ධෛර්ය සැපයූ මාගේ බිරිඳ දිලිණිටත්, මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ලුසිල් අක්කාටත්, සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා, රුකී ප්‍රනාන්දු ඇතුළු සියලුම මිතුරනුත්, ජගත් ලියන ආරච්චි මහතා ඇතුළු පිරිසත් අමතක කළ නොහැකිය.
එසේම මෙම සිදුවීමට මුල සිට ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා දුන් සියලුම මාධ්‍ය මිතුරන්ටත්, සාමජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා දුන් සියලුම මිතුරන්ටත් ස්තුතිවන්ත වෙමි.
නතාෂා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී නොපැකිළිව ඇයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් මුල් අවස්ථාවේම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, නීතිඥ ස්වස්තිකා අරුලිංගම්, බ්‍රිටෝ ප්‍රනාන්දු, විදර්ශන කන්නංගර, තරිඳු උඩුවරගෙදර ඇතුළු සියලුම දෙනාට ද ස්තුතිවන්ත වෙමි.
අපිට සටන් කිරීමට හැකි ක්‍රම රැසක් ඇත. මහපාර එක් තැනක් පමණි. මෙවැනි මාධ්‍ය සාකච්ඡා තවත් තැනකි. සමර අවස්ථාවල යුක්තිය පතා අධිකරණයට යෑමටද හැකියාව ඇත. මේ එවැනි අවස්ථාවකි. අරගලයට සීමා මායිම් නැත.
අපි මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළ පරිදිම නතාෂාටත් බෘනෝටත් අයිසීසීපීආර් යටතේ තබා වෙනත් නීතියක් යටතේවත් නඩු පැවරිය නොහැකි බව නීතිපතිද පිළිගෙන තිබේ. ඒ අනුව ඔවුන් නිදහස් කර තිබේ. අපට විරුද්ධව දුන් නියෝගය ද අධිකරණයෙන් අත්හිටුවා තිබේ.
අවසානයේ අපි දිනුම්....
හැමෝටම ස්තුතියි.

තරිඳු ජයවර්ධන

Back to top
Go to bottom

Popular News