නර්තනය යනු ලොව සියලු දෙනාටම පාහේ මානසික සුවය මෙන්ම ශාරීරික සුවය සදන කලා අංගයකි.
ලාංකේය නර්තන කලාවේ උඩරට නැටුමින් එවන් සුවයක් ලැබූ මෙන්ම මියෙන තුරු ඉන් සුවය ලබන අය කොතෙකුත් වේදැයි කිවහොත් බෙර පදයක් ඇසෙන කල හුන් තැන හිඳ නැටවෙන මිනිස්සු කොතෙකුත් සිටිති.
ඔවුන්ට බෙර හඬකදී පා සෙලවීමට තැනක් නොමැත. සිරුරෙන් නටන්නට නොහැකි නම් දෑත් බෙර තාලෙට දෙපසට විහිදුවන මිනිසුන් වයස් භේදයකින් තොරව ලංකාව තුළ දකින්නට ලැබේ. පසුගිය දිනක බෙර තාලෙට අසුනක හිඳ නැටූ නර්තන ආචාරිනියක් බොහෝ තැන්වල දකින්නට ලැබුණේ බෙර තාලයට, වෙස් නර්තනයට ඇබ්බැහි වූ අයකුගේ ජීවිතය ඇත්තේ එතැනම යැයි පවසනමිනි.
ඇය නමින් මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ වන්නීය. ශ්‍රී ලංකාවේ ඉපැරණි නර්තන පවුලකට අයත් ඇය නර්තන ආචාර්යවරියක ලෙස පමණක් කටයුතු නොකරන, සිය විෂය සම්බන්ධයෙන් ලේඛනයේද නියැලෙන කාන්තාවකි.
වෙස් නැටුම් කලාව සුරැකීමට ඇය සහ ඇගේ පවුල විසින් දක්වනු ලබන දායකත්වය ගැන මීට පෙර ලියැවී ඇතත් පසුගිය දිනෙක ෆේස්බුක් සහ තවත් සමාජ ජාලවල බොහෝ අවධානය දිනා ගත් ඇගේ වීඩියෝව ඇගේ ඉතිහාසයේ ගැඹුර කියා පෑ තත්පර කිහිපයකි.
මහනුවර රජුන් වෙත නර්තනයෙන් සේවය සැපයූ ඇයගේ පවුලේ පැරණි සමාජිකයන් එහි අමුණුගම නම් ගම්මානයට අයත් වෙති. ජනප්‍රිය බෙර වාදකයකු වන, බොහෝ දෙනෙකු නමින් දන්නා කියන මහනුවර සුරඹා ගුරුන්නාන්සේ ඇගේ පියා වේ. ශ්‍රී ලංකාවේ පළමු නර්තනවේදී මහාචාර්යවරිය වන්නීද වෛද්‍යවතී රාජපක්ෂ වන්නීය.
ඇගේ වීඩියෝව නැරඹූ බොහෝ දෙනෙකු ඇගේ නර්තනය ගැන ලැදියාව අගයමින් ඇය ගැන තමන් දන්නා අදහස් දක්වා තිබිණි.
එක් අයකු පවසා තිබුණේ නර්තන තිලක, කතක් විශාරද, මහාචාර්ය යන හැඳින්වීම් ලත් ලංකාවේ පළමු සහ තවමත් එකම නර්තන ශිල්පිනිය ඇය වන බවය.
රාජකීයත්වයට පක්ෂ, වෙදකමට අලංකාරයක් වූ, මාණික්‍යයකට අධිපති වූ, නක්ශස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් ඇති යන හැඳින්න්වීම සමග "රාජපක්ෂ වෛද්‍යාලංකාර රත්නාධිපති ගණිත ගෙදර" යන හැඳින්වීම ඇගේ පවුලට කීර්ති ශ්‍රී රාජසිංහ රාජකීය සමයේදී ලැබී තිබේ.
"කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ගේ නම්බුනාම ලැබු පරපුරෙන් පැවත එන, අමුනුගම සුරඹා ගුරු අදුරු තුමන්ගේ, ආදරනීය දියණියන් වන, ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ආදරණීය ඇදුරුතුමිය. නිහතමානීකමෙහි සංකේතයක් වූ ඔබතුමියට දීර්ඝායුෂ වේවා!!!" යනුවෙන් ඇයට බොහෝ දෙනා දීර්ඝායු පතා තිබිණි.