(අරුණ පුවත්පත)
සිංහල භාෂාව සම්බන්ධයෙන් වටිනා කෘති රැසක් රචනා කළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සංස්කරණය කළ ‘භාෂාධ්‍යයනය හා වාග්විද්‍යාව සිද්ධාන්ත, ක්‍රමවේද හා මතවාද’ කෘතිය ඇස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේදී එළිදැක්විණි.
මේ සංවාදය එම කෘතිය පිළිබඳවය.
සංවාදකයා - නීතිවේදියෙක් වෙන්න සුදුසුකම් තිබුණු ඔබ අද බැබළෙන්නේ භාෂාවේදියෙක් ලෙසින්. ඔබේ භාෂා ප්‍රේමයේ මූලය ඔබේ පියා සඳදස් කෝපරහේවා ද?
සඳගෝමි කෝපරහේවා - ඔව්, පියාණන් තමයි මගේ මුල්ම භාෂා ගුරුවරයා. අපේ ගෙදර වැඩිපුර තිබුණේ හෙළ හවුලට අයත් විද්වතුන්ගේ පතපොත. හෙළ හවුලේ සාමාජිකයෝ අපේ ගෙදර ආවා. මට මතකයි මාර්තු 02 වැනිදා කොළඹ පැවැත්වෙන කුමාරතුංග මුනිදාස සමරු උත්සවවලට මා පියා සමඟ සභභාගි වුණ හැටි. පියාගේ අත් අකුරු ඒ තරම් පැහැදිලි නැහැ. ඒ නිසා එතුමා ලියූ පොත් පිටපත් කළේ මම. එතනදි මට හෙළ හවුලේ පද බෙදීම් ගැන හොඳ අවබෝධයක් ලැබුණා. උසස් පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබාගෙන නීති පීඨයට සුදුසුකම් ලැබුවා. ඇත්තටම මම නීති පීඨයේ ශිෂ්‍යයෙක් නොවී ශාස්ත්‍ර පීඨයට එන්නේ භාෂාවට, සාහිත්‍යයට තිබූ ඇල්ම නිසා.
කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ භාෂා ප්‍රවේශය විෂය අපට ඉගැන්වුවේ මහාචාර්ය ජේ. බී. දිසානායක. ඉන් පස්සේ මගේ නම ලියූ ආකාරය පවා මා වෙනස් කළා. හරිසන් සඳගෝමි කෝපරහේවා කියන මගේ නම මම පාසල් කාලයේදී ලිව්වේ හ. ස. කෝපරහේවා කියලා. විශ්වවිද්‍යාලයෙදි තමයි මම සඳගෝමි කෝපරහේවා වුණේ. ඒ වුණත් මා හැදුවේ හෙළ හවුලෙන්.
මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා තමයි මෙරට විශ්වවිද්‍යාලයකට පළමු වතාවට වාග්විද්‍යාව විෂය හඳුන්වාදෙන්නේ. ඒ අනුව තමයි ජේ. බී. දිසානායක, කේ. එන්. ඕ. ධර්මදාස, පී. බී. මීගස්කුඹුර වැනි වාග්විද්‍යාඥයන් බිහිවෙන්නේ. ඒ තෙවැනි පරම්පරාව තමයි ඔබ නියෝජනය කරන්නේ. ඔබ වාග්විද්‍යාව හදාරන සමයේ ඒ පිළිබඳ තිබුණු උනන්දුව කෙබඳු ද?
මා කොළඹ විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යාව හැදෑරූ සමයේ එම විෂය ඉගැන්වූ ආචාර්යවරු දෙදෙනෙක් හිටියා. ඒ මහාචාර්ය ජේ. බී. දිසානායක සහ ආචාර්ය තිස්ස ජයවර්ධන. මගේ අවසන් වසර නිබන්ධනයට ‘භාෂා සැලසුම්කරණය’ මම තෝරගත්තාට, ඒ වගේ භාෂාව පිළිබඳ නිබන්ධයන් අවසන් වසරේ ලියන විද්‍යාර්ථීන් හිටියේ බොහොම ටික දෙනයි. වැඩි දෙනෙක් නැඹුරුවුණේ සාහිත්‍යය, නාට්‍ය වගේ අංශවලට. නමුත් භාෂා ප්‍රවේශය පාඨමාලාව පළමු වසරේ ජනප්‍රිය පාඨමාලාවක්. එයට හේතුව වුණේ ජේ. බී. සර්.
දශක තුනක් තිස්සේ වාග්විද්‍යාව සමඟ සක්‍රීය ලෙසින් වැඩකරන මහාචාර්යවරයා ඔබ. එලෙස රැඳී ඉන්න ඔබට උත්තේජනය සපයන්නේ කිනම් කරුණු ද?
කාරණා කිහිපයක්. පළමු දේ පාසල් අවධියේ, ළමා කාලයේ තිබුණු පදනම. දෙවැන්න ජේ. බී. සර්ගේ ඉගැන්වීම්. තෙවැන්න එංගලන්තයේ ලැන්කැස්ටර් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය හැදෑරීම. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. බී. මීගස්කුඹුර සමඟ දර්ශන උපාධිය කිරීම. පශ්චාත් උපාධියෙදි මට අවස්ථාවක් ලැබුණා භාෂාව ගැන නොයෙක් දේ ගැන හොයන්න.
දීර්ඝ කාලයක් මම කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂාව, වාග්විද්‍යාව වගේ විෂයයන් ඉගැන්වීමත් එක හේතුවක්. භාෂාව ගැන ශාස්ත්‍රීය පුහුණුවක් සහිතව විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම වැදගත්. නැත්නම් සිංහල භාෂාව මළ බසක් වෙනවා, සිංහල භාෂාව නැතිවෙයි වැනි මිථ්‍යා මත පළවෙන්න පුළුවන්. මගේ වැඩි උනන්දුව සමාජ වාග්විද්‍යාව ගැන. එහි ප්‍රධාන දෙයක් තමයි සමාජීය අවශ්‍යතාව එක්ක භාෂාව වෙනස් වෙන ආකාරය. ඒ නිසා තමයි මගේ මුල් කාලයේ කෘතිවල ලංකාවේ භාෂා ප්‍රශ්නය, භාෂාව සැලසුම් කිරීම ගැන ලිව්වේ. අනෙක දිනපතාම කවුරුන් හෝ භාෂාව පිළිබඳ ඇතිවන ගැටලු මගෙන් විමසනවා. මා ලියූ කෘති බොහොමයක් ලියැවුණෙත් ඒ නිසා. ඒ වගේ භාෂාව ප්‍රායෝගික ලෙසින් හදාරන අයට දැනුම ලබාදීමේ වුවමනාවත් මට මේ විෂයයේ රැඳී ඉන්න හේතුවක්.
මේ කෘතියේ අඩංගු ‘ශබ්දකෝෂකරණය’ ලිපිය කාලීන ලිපියක්. මොකද අද වෙද්දි සිංහල ශබ්දකෝෂයට කර්තෘවරයෙක් නැහැ. අප ඒ ගැන ලිව්වා. මේ වෙද්දි නව කර්තෘවරයෙක් බඳවාගැනීමේ දැන්වීම් පළවෙනවා. ඔබටත් මේ පදවියට යම් ආරාධනා තිබුණා...
ශබ්දකෝෂය බාරගන්න මටත් ආරාධනා කළා. මම තවමත් සේවයේ නිරතව ඉන්න කෙනෙක්. ඒ තනතුරට සුදුසුකම් තියෙන අය ඉන්නවා. නමුත් ඒ තනතුරට අදාළ වටිනාකම ලබාදිය යුතුයි. ඊට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. හැම දේම දේශපාලනයට යටවුණ සමාජයක භාෂාව, සාහිත්‍යය පමණක් දේශපාලනයෙන් තොරව දියුණුවෙන්නෙ නැහැ.
රටක ආර්ථික සංවර්ධනය වගේම මානව ශාස්ත්‍ර, සංස්කෘතිය කඩිනමින් සංවර්ධනය වෙන්න ඕන. ඒ නිසා තමයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වෙ දෙකක් කඩිනම් කළ යුතු බව. එකක් කඩිනම් මහවැලිය. අනෙක කඩිනම් ශබ්දකෝෂය. ඇත්තටම ජනාධිපති අරමුදලෙන් පවා ශබ්දකෝෂ කලාප මුද්‍රණය කරන්න අරමුදල් වෙන්කරල තියෙනවා. පුඤ්චිබණ්ඩාර සන්නස්ගල කර්තෘධුරය දැරූ සමයේ තමයි සිංහල ශබ්දකෝෂයේ වැඩ අවසන් කළේ. එදා හිටපු සංස්කෘතික අමාත්‍යවරයා ඊ. එල්. බී. හුරුල්ලේ. භාෂාව, සාහිත්‍යය ගැන ඔහුට දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඒ කාලයේ තමයි ශබ්දකෝෂයේ කටයුතු කඩිනම් කළේ. පසුකාලයේ ඒ අමාත්‍ය ධුරයට පත්වුණේ වි. ජ. මු. ලොකු බණ්ඩාර. ඔහුට භාෂාව, සාහිත්‍යය ගැන ලොකු දැනුමක් තිබුණා. ඒ නිසා හෙළ හවුලේ අයත් සම්බන්ධකරගෙන දේශපාලන නායකත්වය දීලා ශබ්දකෝෂයේ වැඩ අවසන් කළා. එහෙම නොවුණා නම් අදටත් ශබ්දකෝෂයේ කටයුතු අවසන් කරන්න ලැබෙන්නේ නැහැ.
භාෂාධ්‍යයන සහ වාග්විද්‍යාව පිළිබඳ ලියැවුණු ලිපි විසිහතරක් මෙම කෘතියේ අඩංගුයි. මේ කෘතියෙදි වර්තමානයේ මෙරට පිළිගත් භාෂාඥයන් මෙන්ම නව පරම්පරාවේ නම් කිහිපයකුත් හමුවෙනවා. මේ ලේඛකයන්ට ආරාධනා කිරීමේදී ඔබේ නිර්ණායක වුණේ මොනවා ද?
මෙය භාෂාධ්‍යයනය හා වාග්විද්‍යාව සම්බන්ධ පාඨ ග්‍රන්ථයක්. පාඨ ග්‍රන්ථයක අරමුණ වෙන්නේ ඒ විෂය ගැන අධ්‍යයනය කරන හෝ එම විෂය ගැන උනන්දුවක් දක්වන පොදු පාඨකයාට මූලික හඳුන්වාදීමක් කරන්න. මේ කෘතියේ ‘පද විචාරය’ ලියූ වි. මු. විජේරත්න, ‘අර්ථ විචාරය’ ලියූ ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ, ‘ඓතිහාසික වාග්විද්‍යාව’ ගැන ලියූ මහාචාර්ය අශෝක ප්‍රේමරත්න වැනි විද්වතුන් තෝරගත්තේ ඔවුන්ට විෂය පිළිබඳ තිබුණු ඉගැන්වීමේ පළපුරුද්ද සහ විෂය පිළිබඳ ඇති ශාස්ත්‍රීය ශික්ෂණය නිසා. මාතෘකා තෝරාගත්තේ වාග්විද්‍යාව ගැන පාඨ ග්‍රන්ථයක මූලික වශයෙන් ඇතුළත් විය යුතු අංශ අනුවයි.
ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් ලියූ ‘වාග්මානවවිද්‍යාව’ සහ අචින්ත්‍ය බණ්ඩාර ලියූ ‘මනෝවාග්විද්‍යාව’ ගැන සිංහලයෙන් ලියැවුණේ පළමු වතාවට. ඇත්තටම ලංකාවේ වාග්විද්‍යාව සහ සිංහල භාෂාවට සම්බන්ධ පරම්පරා හතරක් මේ පොත නියෝජනය කරනවා. මුල්ම පරම්පරාව ජේ. බී. දිසානායක, කේ. එන්. ඕ. ධර්මදාස, රත්න විජේතුංග, දයා වික්‍රමසිංහ. දෙවැනි පරම්පරාව තමයි ආර්. එම්. ඩබ්ලිව්. රාජපක්ෂ, වි. මු. විජේරත්න, අශෝක ප්‍රේමරත්න වැනි විද්වතුන්. තෙවැනි පරම්පරාවට අයත් වෙන්නේ මා, රත්නසිරි අරංගල, ශ්‍රීනාත් ගණේවත්ත වැනි අය. සිව්වැනි පරම්පරාව අපෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත්ත ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, අචින්ත්‍ය බණ්ඩාර, රිද්මි හඳපාන්ගොඩ.
‘භාෂාවේ ජීවවිද්‍යාත්මක පදනම’ ලියූ රිද්මි හඳපාන්ගොඩ විශේෂ අවශ්‍යතා සහිත විද්‍යාර්ථිනියක්. ඇය ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තා ඉතා ඉහළ සාමාර්ථයක් සහිතව.
ඔබ කියූ වාග්විද්‍යාව පරම්පරා හතර බිහිවෙන්නේ නැහැ මහාචාර්ය ම. ව. සුගතපාලද සිල්වා නැතිනම්...
ඔව්, ඒ නිසා තමයි මේ කෘතියේ පිදුම මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චිට සහ මහාචාර්ය ම. ව. සුගතපාල ද සිල්වාට කළේ. මේ පරම්පරා හතරේ මුල් පරම්පරාව බිහිවෙන්නේ ඒ මහාචාර්යවරු දෙපළ නිසයි. ම. ව. සුගතපාල ද සිල්වාගෙත් මුල් පසුබිම හෙළ හවුලට යම් පක්ෂපාතීත්වයක් තිබුණා. ඔහු නම ලියූ ආකාරයෙන් ඒක පැහැදිලියි. පස්සෙ ම. ව. කොටස අයින් කරල එම්. ඩබ්ලිව්. සුගතපාල ද සිල්වා කියා ලිව්වා. සුගතපාල ද සිල්වා තමයි මීට අඩසියවසකට පෙර වාග්විද්‍යාව ගැන සිංහලයෙන් පොත්පත් රචනා කළේ. අවාසනාවකට එතුමා අකාලයේ අභාවයට පත්වුණා. ම. ව. සුගතපාල ද සිල්වා තව කාලයක් ජීවත්වුණා නම් ලංකාවේ වාග්විද්‍යාව චින්තනය මීට වඩා බොහෝ සෙයින් වෙනස්වෙන්න තිබුණා. එසේ නම් වාග්විද්‍යාව සම්බන්ධ මහාචාර්ය ජේ. බී. දිසානායක කළ දේට වඩා වෙනස් ස්වභාවයක් ගන්නත් තිබුණා. ලංකාවේ භාෂාව පිළිබඳ මතවාද, පසුබිම වෙනස්වෙන්න තිබුණා. මම බොහෝ විට කල්පනා කරන තව දෙයක් තමයි කුමාරතුංග මුනිදාස තව අවුරුදු දහයක් ජීවත්වුණා නම්...
ඇත්තටම කුමාරතුංගයන් තව වසර දහයක් ජීවත්වුණා නම්...
කුමාරතුංග තව අවුරුදු දහයක් ජීවත්වුණා නම් ලංකාවේ භාෂා ඉතිහාසය පිළිබඳ දැන් තියෙන තත්ත්වය වෙනස්වෙන්න තිබුණා. එකක් එතුමා වාග්විද්‍යාව පැත්තට යොමුවෙන්න තිබුණා. නැත්නම් සිංහල බස් වහර හෙළ බස් වහරකට යොමුවීමක් වෙන්නත් තිබුණා.
වාග්විද්‍යාව සහ ව්‍යාකරණවේදීන් අතර ගැටුම බොහොම ප්‍රසිද්ධයි. හෙළ හවුල විශ්වවිද්‍යාල ඇදුරන් සමඟ ගැටීමට එක හේතුවක් වුණේ වාග්විද්‍යාඥයන් භාෂා ව්‍යාකරණය ගැන කතාකිරීමයි...
වාග්විද්‍යාව ව්‍යාකරණයට පමණක් සීමාවූවක් නෙවෙයි. ව්‍යාකරණය කියන්නේ වාග්විද්‍යාවේ එක කොටසක්. අද වාග්විද්‍යාව ගැන හදාරපු අය රෝහල්වල කථන චිකිත්සකයන් ලෙස සේවය කරනවා. මා සමඟ ආචාර්ය උපාධිය කළ කිහිප දෙනෙක් ඉන්නේ රාගම වෛද්‍ය පීඨයේ. ඒ අය හොයන්නේ භාෂා ආබාධ ගැන. ඒ නිසා වාග්විද්‍යාව ව්‍යාකරණයෙන් ඔබ්බට ගිය වෙනත් අංශ රාශියක් සමඟ සම්බන්ධයි.
වියරණ ඇදුරන්ගේ මූලික අරමුණ ව්‍යාකරණය. ඒ නිසා එක්තරා විදිහකට යම් අවධියක වියරණ ඇදුරන්ට වාග්වේදීන් පෙනුණේ ව්‍යාකරණයේ, භාෂාවේ සතුරන් විදිහට. සම්මත සිංහලයත් එක්ක විශ්වවිද්‍යාල සිංහල අංශ හා හෙළ හවුල අතර තිබුණේ මතවාදී ගැටුමක්. එවැනි ගැටුම් භාෂාවේ දියුණුවට හේතුවක්. අද ඒක සිදුවෙන්නේ නැහැ.
වාග්විද්‍යාඥයන්ට ව්‍යාකරණය අකැප නැහැ. ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ ජෙෆ්රි ලීච් තමයි ඉංග්‍රීසි භාෂාව ගැන මෑතකදි සවිස්තරාත්මක ව්‍යාකරණයක් ලිව්වේ. ඔහු වාග්විද්‍යාව පුහුණු මහාචාර්යවරයෙක්. ඒ නිසා ඉංග්‍රීසියේ ව්‍යාකරණය ගැන මෑත කාලයේ ලියූ බොහෝ දෙනෙක් වාග්විද්‍යාව ගැන පුහුණුවක් ලැබූ අය. නමුත් ලංකාවේ වාග්විද්‍යාඥයන් ව්‍යාකරණය ගැන පැහැදිලි කිරීමට යෑමේදී යම් විවේචනයක් ආවා. ජේ. බී. දිසානායකට මුල් කාලයේ ආවේ එවැනි විවේචන.
ඒ විවේචන අතර ජේ. බී. ට සිංහල බැහැ කියන විවේචනයත් තිබුණා...
සාමාන්‍ය අදහසක් තිබුණා සිංහල භාෂාවේ ව්‍යාකරණය ගැන දැනගන්න ඕන නම් පාලි සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ දැනගත යුතු බව. වාග්විද්‍යාඥයෙක් වුණත් පාලි සංස්කෘත දැනගෙන තමයි සිංහල ගැන කතා කළ යුත්තේ කියලා. ඒක හරියට ඉංග්‍රීසි ව්‍යාකරණය ගැන දැනගන්න ලතින්, ග්‍රීක දැනගන්න ඕන කියනවා වගේ කතාවක්. ඉංග්‍රීසි භාෂාව ගැන හොයන වාග්විද්‍යාඥයන් කිසිවෙක් ලතින් ඉගෙනගන්නේ නැහැ. භාෂාවේ ව්‍යවහාරය පැහැදිලි කළ යුත්තේ තමන්ගේ භාෂාවේ ව්‍යවහාරය දිහා බලාගෙන මිස, වෙනත් භාෂාවක ව්‍යවහාරය දිහා බලාගෙන නෙවෙයි. කුමාරතුංග පවා එය මතුකර තියෙනවා.
ඔබ බොහොම වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කරන්නේ ශාස්ත්‍රීය කථිකාව, ශාස්ත්‍රීය කියැවීම් ගිලිහුණු සමාජයකට...
පසුගිය අවුරුදු විසිපහ පුරා මම භාෂාව සහ වාග්විද්‍යාව ගැන ලියූ කෘතිවලට ඉතා හොඳ ප්‍රතිචාරයක් තිබුණා. මගේ අක්ෂර වින්‍යාස පොත පිටපත් දහස් ගණනින් අලෙවි වෙමින් තියෙනවා. ‘සිංහල අකුරු පුරාණය’ කෘතියත් එහෙමයි. භාෂාව පමණක් නෙවෙයි අද ලංකාවේ බොහෝ අංශවල සිදුවිය යුතු මූලික කටයුතුවත් තවම සිදුවී නැහැ. ඒ නිසා භාෂාව සම්බන්ධයෙන් විය යුතු මූලික දේවල් තමයි අපි මේ කරමින් ඉන්නේ. මම විශ්වවිද්‍යාලයක ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක්. මේ වගේ කෘතියක් කරලා මට වෙනත් උසස්වීම් වැනි දෙයක අවශ්‍යතාවක් නැහැ. ඇත්තටම මෙය මා කර්තෘ භාගයකින් තොරව කළ කෘතියක්. මේ කෘතියට ලිපි ලියූ විද්වතුන්ට යම් ගෙවීමක් කළා. එතනදි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන සිරිසුමන ගොඩගේ මහතාට.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
(මෙම ලිපිය 2025/08/31 මුල්වරට සති අග අරුණ පුවත්පතේ පළවිය)



