lan englan tam

විශේෂාංග

"ඔබ ම ඔසවා ඔබට ම පෙන්වන සිහින රඟහල"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage- 

ධනංජය කරුණාරත්න නම් අපුරු නාට්‍යවේදියාගේ 'සිහින රඟහල' පසුගිය අගෝස්තු මස 14 (බ්‍රහස්පතින්දා) දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරත්චන්ද්‍ර රංගපීඨයේ දී නැවත වේදිකාගත විය.

'සිහින රඟහල' ලාංකේය නාට්‍ය නරඹන ප්‍රේක්ෂකාගාරය අලුත් නාට්‍යයක් නම් නොවේ. නමුත් 'සිහින රඟහල' නොබැලූ නූතන පරම්පරාවට එය අලුත් අත්දැකීමක් ගෙන දෙන්නකි. එකිනෙකට අසම්බන්ධ කෙටි නාට්‍ය පහකින් නිර්මාණය වන මෙහි "වැලන්ටයින් එනකං'', ''චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්'', ''ඔබ සාපේක්ෂයි'', ''දුවන උන් දෙන්නෙක්''සහ ''ලාස්ට් බස් එකේ කතාව'' යන කෙටි නාට්‍ය මෙම ‘ සිහින රඟහලට' ඇතුළත් වේ.

 

ධනංජය කරුණාරත්න

 

"ගාණක් කියපන් ගෑනියේ! මට එළිය වැටෙන්න කලින් ගෙදර යන්න ඕනේ" යැයි කෑ මොර දෙන 'සාගර' නමැති මැදි වයස් ටැක්සි රියදුරා දුම්වැටියන් උරමින් බැණ වදින්නේ චන්ද්‍රාවතී නම් ගණිකාව වෙතයි. සාගරට ලිංගික තෘප්තිය ලැබුණු පසු චන්ද්‍රාවතී සමඟ ගනුදෙනුවක් නැත. ඔහුගේ වචනවලින් පවසනවා නම් ගුබ්බෑයමෙන් පළා ගොස් තම බිරිඳ ළගට ඉක්මනින් යාමට සාගරට අවශ්‍ය ය. නමුත් චන්ද්‍රාවතී විසින් සාගරට පෙම් කරයි. ඔවුන් ගතකළ රාත්‍රි යාමය පිළිබඳ චන්ද්‍රාවතී කාව්‍යමය පෙම් සිතුවිලි සාගරට පවසයි. සාගර ඒවාට කන්දෙන්නේ ද නැත. අදාළ ද නැත. සාගරට අවශ්‍යය වන්නේ චන්ද්‍රාවතීගේ මුදල ගෙවා එතනින් පිටව යාමයි. අනෙක් පසින් චන්ද්‍රාවතී විසින් සාගරට මිලක් නියම කරන්නේ ද නැත. දෙදෙනා අතර සංවාදය ගැටුමකට පෙරළෙයි.

අවසානයේ චන්ද්‍රාවතී තමන් සමඟ නිදි වැදුණු සාගර වෙත මිලියන දහයක මිලක් නියම කරයි. මේ නිසා සාගර දැඩි සේ කෝප වෙයි. මෙතෙක් වේලා කාමරයේ රමණය කළ සයනය මතම මේ දෙපළ ගැටුම් ඇති කර ගන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනහා සයුරේ ගිල්වමිනි. සාගරයේ චරිතය නිරූපණය කරනු ලැබුයේ නළු පාලිත සිල්වා විසිනි. ඔහුගේ රංගය ඉදිරිපත් කිරීම ඇතැම් තැන්වලදී කෘතීම ස්වභාවයක් ගනු ලැබීය. චන්ද්‍රාවතීගේ චරිතය නිරූපණය කළ නිළි සුලෝචනා වීරසිංගේ චරිතය වඩාත් අවධානයක් දිනා ගන්නා රංගයකි.

'වැලන්ටයින් එනකං' වේදිකා නාට්‍ය තුළින් ගෙන එන්නේ 'බගී' නම් තරුණිය විසින් 'ජෝ' නම් තරුණයා අතර ඇතිවන සංවාදයක පිළිබිඹුවකි. මොවුන් දෙපළ කාලයක සිට ප්‍රේම කරයි. නමුත් බගීට වඩා ජෝ මිටි අයෙකි. මොවුන් දෙපළ සිත් තැවුලෙන් ප්‍රේම කරන්නේ මෙම උස - මිටි ප්‍රශ්නය නිසා ය. වැලන්ටයින් දිනයේ දී උද්‍යානයක දී මොවුන් දෙපළ සම්මුඛ වෙයි. ජෝගේ මිටිභාවය නිසාම බගී විසින් ඔහුට අඩි උස සපත්තු ⁣ජෝඩුවක් පළඳවයි. නමුත් එම අඩි උස සපත්තු ජෝඩුවේ බර නිසා ජෝ ඇද වැටෙයි. මොවුන් දෙපළගේ නොගැළපීම නිසාම ගැටුම් ඇති වෙයි. ජෝ විසින් බගීව අතහැර පළා යයි. මිනිස් ගනුදෙනුව අතර ඇති අති සංකීර්ණබව පිළිබඳ සියුම් උපහාසයක් ජනිත කරයි. බගීගේ චරිතය නිරූපණය කළ නිළි අමා විජේසේකර සහ ජෝගේ චරිතය නිරූපණය කළ ප්‍රදිප් රාමව්ක්‍රමගේ රංගන සුසංයෝගය විසින් නාට්‍යය වෙත ආකර්ෂණයක් ඇති කරන්නට සමත් විය.

'දුවන දෙන්නෙක්' කෙටි නාට්‍යය හරහා අධික ලෙස ස්ථුලභාවයට පත් මධ්‍යම පාංතිකයෙකු සහ නිර්ධන පන්තිය නියෝජනය කරන කෙසඟ පුද්ගලයෙකු අතර ඇතිවන දුවමින් කරන සංවාදයක් ගෙන එයි.

 

514343238 2223483714790966 7046735997710611996 n 1

 

ස්ථුලභාවයට පත් තැනැත්තා මැදි වයස ඉක්මවූ අයෙකි. ඔහුගේ සෞඛ්‍ය පිරිහි ඇත්තේ අධික ලෙස ගන්නා ආහාර ප්‍රමාණය නිසාය. එම නිසා ඔහු බර අඩුකර ගැනීමට දුවයි. ඔහු පසුපස දුප්පත් ආවතේවකරුවා හරහා සංකේතවත්වත් ඊට විරුද්ධාර්ථයකි. ඔහු කෑම නොමැති වීම නිසාම ශරීරය දුර්වල වූ අයෙකි. ඉතිහාසයේ ප්‍රථම වරට වර්තමානයේ කෑම බිම අඩුවීම නිසා හෝ හාමත් වීම නිසා මිය යන ප්‍රමාණයට වඩා මිය යන්නේ ආහාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අනුභව කිරීම නිසා ය. මෙම අදහස ගෙන එන්නේ යුවාල් නෝආ හරාරි නම් චින්තකයා විසිනි.

වසංගතයකින් හෝ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයට පත් වීමේ අවදානමට වඩා විසිඑක්වෙනි සියවසේ මානවයා ප්‍රමුඛ වශයෙන් මුහුණ දෙන්නේ මැක්ඩොනල්ඩ් හෝ පීසාහට් අවන්හලකින් කා බී විනෝද වීම හේතුකොටගෙන මියයාමේ අවදානම වැඩි වීම නිසාය. 2014 වසරේ දී බිලියන 2.1 ජනගහනයක් ස්ථුලභාවයට පත්ව සිටියහ. සංසන්දනාත්මකව බලන කල මන්දපෝෂණයෙන් පීඩා විඳිමින් සිටියේ මිලියන 850ක පිරිසකි. 2030 වන විට මනුෂ්‍ය වර්ගයා අතුරින් අඩක් ස්ථුලභාවයට පත්වනු ඇතැයි අපේක්ෂා කරයි. එම නිසා අද වෙඩි බෙහෙත්වලට වඩා සීනි (sugar) බෙහෙවින් අනතුරුදායක වී තිබේ.

''ඔබ සාපේක්ෂයි'' කෙටි නාට්‍යය කමල් සහ විශාකා අතර සංවාදය ප්‍රේම සබඳතා පිළිබඳ කදිම උපහාසයකි.

 

492139671 2947920452034078 7095284439838401196 n 1

 

100%ක් ගැළපෙන සහකරුවන් හෝ සහකාරියන් සොයා ගැනීම කිසිවිටෙකත් සිදු කළ නොහැකි ය. සිදුවන්නේ අපි අපිවම බලෙන් මෙන් එකිනෙකා ගළපවා ගැනීම ය. ගළපවා ගත්ත ද විවාහයෙන් පසුව නොගැලපෙන කාරණා මතුව එයි. මානව සබඳතා අතිශය සංකීර්ණ වෙති. ප්‍රේම සබඳතා තුළ ගැළපෙන සහකරුවා හෝ සහකාරිය සොයා ගැනීම තුළ අර්බුදයකට පත්වන්නේ අපමය. දිගු කාලීන ප්‍රේම සබඳතාව ස්ථිර වුවාට පසුව දික්කසාදයෙන් හෝ එකිනෙකා මරණයට පත් කරගැනීමෙන් අවසන් කර ගැනීම තුළ මෙම මානව සබඳතාවෙි අර්බුදය සංකීර්ණත්වය පිළිබඳ හැඩය මවති. එක් පසෙකින් ව්ශාකාගේ චරිතය ඇතැම් ප්‍රේක්ෂකයන්ට ස්ත්‍රීවාදී චරිතයක් වීමට පිලිවන. එය සපුරාම එසේ  වන්නේ නැත. විශාකාගේ චරිතය ඉස්මතු කරන්නේ ස්ත්‍රීකාරක ශක්තිය පිළිබඳවයි. ස්ත්‍රීකාරක ශක්තිය යනු ස්ත්‍රීන්ගේ ආරම්භක ශක්තිය, තීරක ශක්තිය, පෙරලා ප්‍රශ්න කිරීමෙි ශක්තිය, ප්‍රශ්නවලට පිළිතුරුදීම පමණක් නොව තමනුත් ප්‍රශ්න ඇසීමෙි ආරම්භක ශක්තියයි. මෙම නාට්‍ය ප්‍රේක්ෂකාගාරය යළි යළිත් ප්‍රේමය සහ මානව සබඳතා පිළිබඳ බරපතළ ලෙස සිතන්නට පොළඹවනසුළු පිටපතකි. එහි දෙබස් රචනය තාර්කිකය. ප්‍රේක්ෂකාගාරය පවා ඇතැම් දෙබස් ඉදිරියේ වික්ෂිප්ත වීම නොවැළැක්විය හැකි කාරණාවක් බවට පත් වෙයි.

 

484075977 946874527658856 2899726029843979964 n

 

"ලාස්ට් බස් එකේ කතාව'' කෙටි නාට්‍යය ප්‍රේක්ෂකාගාරයට වෙනස්ම ආස්වාසයක් ගෙනදෙන ප්‍රශස්ථ ගණයේ රංගනයක් සහිත අද්විතිය ප්‍රකාශනයකි. නාට්‍ය රංගගත කරන්නට පෙර ප්‍රේක්ෂකාගාරයට එක චුයින්ගම් එකක් බැගින් ලැබේ. නළුවා පවසන්නේ නාට්‍ය අවසන්වනතුරුම චුයින්ගම් එක සපා ඉවතට නොදමන ලෙසිනි. මුළු නාට්‍යය පුරා සිටින්නේ එකම එක නළුවෙකි. එය අභියෝගාත්මක රංගනයකි. විවිධ චරිත වෙත සැණෙකින් මාරු වන අයුරු අපුරු ය. ඔහු බහුවිධ චරිත නිරූපණය කරයි. එහි කතාව සිදුවන්නේ රාත්‍රියේ හොරණ කොළඹ මාර්ග 120 රාත්‍රි බස් රථයක සිටින විවිධ චරිත පිළිබඳ නන්විධ දෘෂ්ටිකෝණය හරහා කරන ඉදිරිපත් කිරීමකි. ලාංකේය සමාජයේ සිදු වූ කටුක දේශපාලන ප්‍රහසනයක් අප හමුවේ තබන්නට සමත් වෙයි. කුරිරු ධනවාදය විසින් නිෂ්පාදනය කරන ලද රසය දියවන බාල චුයින්ගම් එක සපමින් කුරිරුතර දේශපාලන ප්‍රහසනයක් නැරඹු බව නළුවා විසින් අපට රිදෙන ටෙක්කක් හිස වෙත අනින්නේ අප ද එහි ගොදුරක් බව සංඥා කරමිනි.

මෙම නාට්‍යයේ දී කතා නායකයාගේ චරිතය නිරූපණය කරන සනත් විමලසිරිගේ රංගනය විසින් මුළු ප්‍රේක්ෂකාගාරයම ආධිපත්‍යයට නතු කර ගනියි. නාට්‍යයයේ අනුෂාංගික අංග ලෙස කලා අධ්‍යක්ෂණය සහ වස්ත්‍රාභණ, වෙිෂ නිරූපණය යන අංශය තුළ සියළුම චරිතයට ලැබෙන සහය අද්විතීයයි. නළු නිළියන්ගේ රංගනය, පසුතල නිර්මාණය, වේෂ නිරූපණය, ආලෝකරණය, වැනි ප්‍රධාන පෙළේ නාට්‍ය අංග පිළිබඳ 'සිහින රඟහල' නාට්‍යය පරිසමාප්තබවක් ගෙන එයි. විශේෂයෙන් ''ලාස්ට් බස් එකේ කතාව'' තුළ කතා නායකයාගේ මුහුණේ මතුවන සියුම් ඉංගිතයන් ඔස්සේ ඔහුගේ හැඟීමි ප්‍රකාශන මඟින් බහුවිධ චරිතය පිළිබඳ සියුමි විස්තර පවා සන්නිවේදනය කරන්නට සමත් වෙයි.

ව්වාහ ජීවිතයේ කොටු පවුර, විවාහයෙන් පිට ලිංගික සබඳතා, ප්‍රේමය, කෙළවරක් නැති ගැටුම් නාට්‍යයේ පිරී ඇත. නාට්‍යය පුරා ම අප දකින්නේ නන්පැහැ ජීවිතවල පුනරූපණයන් ය. යමෙකුට මේවා හුදු ප්‍රබන්ධ (Fictions) යැයි කිව හැකි ය. එය එසේ නොවේ. නාට්‍යවෙිදියා විසින් යථාර්ථය පිටපත් කිරීමක් සිදුකර ඇත. ජීවිතය යනු කුමක්දැයි අර්ථකථනය කිරීමට දැරීමේ ප්‍රයත්නයකි. එහි ප්‍රතිඵලයක් ලෙස 'සිහින රඟහල' දෘෂ්ටිවාදී කියවීම (Idealogical Reading) පෙරබිමට කැඳවන්නකි. දෘෂ්ටිවාදී පඨිතයකි. රහස් පරික්ෂක කතාවක මෙන් එකින් එකට සිදුවීමි ඇමුණු මුල සිට අග දක්වා ගලා යන සිදුවීමි ජීවිතවල නැත. කලාව විසින් සිදු කරන්නේ ප්‍රශ්න මතු කිරීම පමණයි. ජීවිතය සහ සම්බන්ධ ගැටලු කෙරෙහි අපේ මනස විවෘත කිරීමයි. ධනංජය කරුණාරත්නගේ 'සිහින රඟහල' ජීවිතය සම්බන්ධ ගැටලු පිළිබඳ යළි යළිත් සිතන්නට අවකාශය සපයයි. ය. නාට්‍ය ගොමුව විසින් නිෂ්පාදනය කරන්නේ මනුෂ්‍යත්වයයේ දුර්වලතා ය. ලාංකේය  නූතන නාට්‍ය කලාව තුළ 'සිහින රඟහල' විසින් ගෙනඑන ප්‍රස්තූත කාලෝචිත ය. එම ප්‍රස්තූත දෙස සිනහවෙන් බලන ප්‍රේක්ෂකයා සිනාසෙන්නේ තමන්ට බව හැඟෙන්නේ නාට්‍ය නරඹා නිවස දක්වා යන මොහොත තුළ පමණී. ලාංකික අපට හොඳින්ම දැනෙන මෙම ප්‍රකාශනය ප්‍රේක්ෂකයා නැරඹිය යුතුය. එය නිසැකවම ඔබගේ චින්තනයේ නිම් වළලු පුළුල් කරනු ඇත.

   

476237625 2101514566935849 5297727973837240105 n 

 

සටහන - මලින්ත විතානගේ

(මෙම ලිපිය 2025 අගෝස්තු 31 ඉරිදා සිළුම්ණ පුවත්පතෙහි පළ විය.)

kemadasa

shungara

Back to top
Go to bottom